බොරලැස්සේ හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී පාසල් සිසුවෙක් මරුට

498

මියගිය දළුවත්තගේ මෙලන් අයේෂ් සිසුවා

වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පිහිනුම් තටාකයක දිය නාමින් සිටි සිසුන් පිරිසක් අතරින් එක් සිසුවකු පසුගිය 2 දා සවස දියේ ගිලී මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.

පන්නල මාකඳුර නගරයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සිසු සිසුවියන්ගේ සුහද හමුවකට සහභාගි වූ සඳලංකාව ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දළුවත්තගේ මෙලන් අයේෂ් පෙරේරා නමැති සඳලංකාව මධ්‍ය විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබන සිසුවකු මෙසේ මියගොස් ඇත. පන්නල මාකඳුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන සිසු දරුවන් 80 ක් පමණ ගුරුවරුන් සමග මෙම සුහද හමුවට සහභාගි වීමට උත්සව ශාලාව වෙත පැමිණ ඇත.

පෙරවරු කාලයේ ක්‍රිකට් තරගයක් පවත්වා අනතුරුව සිසුන් කිහිප දෙනකු එහි පිහිනුම් තටාකයට බැස විනෝද වෙමින් සිටින අතරතුරදී මෙම අනතුර සිදුව ඇති අතර පසුව සිසුවා ලුණුවිල ප්‍රාථමික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මාරවිල අතිරේක මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා ලුණුවිල රෝහලට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමෙන් අනතුරුව සිසුවාගේ සිරුර පශ්චාත් පරීක්‍ෂණය සඳහා හලාවත මහ රෝහලට යැවීමට පොලිසිය කටයුතු කළේය.

වෙන්නප්පුව මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.

සඳලංකාව – ධම්මික රාජපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment