බොරළුගොඩ සිංහ පරපුරේ අයකුට අධ්‍යාපනය පැවරීම ඓතිහාසික සිදුවීමක්.. දොඩම්පහළ රාහුල හිමි

304

කන්නන්ගරයන් නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගත්තේ  එක වැඩි ඡන්දයකින් – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අභියෝග රැසක් මතුව ඇති අවස්ථාවක බොරළුගොඩ සිංහ පරපුරේ සාමාජිකයෙකුට අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම පැවරීම ඓතිහාසික සිදුවීමක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශක දොඩම්පහළ රාහුල හිමියෝ සඳහන් කළහ.

අභිනවයෙන් අධ්‍යාපන අමාත්‍යධුරයට පත් දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රාජකාරි භාර ගැනීම වෙනුවෙන් ආශිර්වාද කරමින් රාහුල හිමියෝ මේ බව සඳහන් කළහ.

මේ අවස්ථාවට නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්, පිරිවෙන් අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද නාහිමියන් ද වැඩම කර සිටියහ.

හිටපු අධ්‍යාපන අමාත්‍යවරු වන ජී.එල්. පීරිස්, බන්ධුල ගුණවර්ධන, සුසිල් පේ‍්‍රමජයන්ත යන මහත්වරු සමග අධ්‍යාපන අමාත්‍යංශයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශය භාරව සිටින විජිත බේරුගොඩ, පියල් නිශාන්ත යන අමාත්‍යවරුන් ද අභිනව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සුබ පැතීම සඳහා එක්ව සිටියහ.

 අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා:

දැනුම තමයි ක්ෂේත‍්‍රයේ උසස්ම සම්පත. සමාජයේ අනෙක් මොන සම්පත් තිබුණත් විනාශ වෙනවා. නමුත් දැනුම නමැති සම්පත විනාශ නොවී දිනෙන් දින අලූත් වෙනවා. මේ නිසයි අධ්‍යාපන අමාත්‍යාංශයට විශාල ගෞරවයක් හිමි වන්නේ. ඩොනමෝර් ආණ්ඩුකාරවරයාගේ කාලයේ අධ්‍යාපනයට බාධා එල්ල වුණා. ඒ සියලූ බාධා ජය ගනිමින් සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා එදා නිදහස් අධ්‍යාපන පනත එක වැඩි ඡුන්දයකින් සම්මත කර ගත්තා. එදා ඒ සම්මත කර ගත් පනත නිසා මේ වනවිට අලූත් අලූත් මාර්ග ඔස්සේ දැනුම බෙදා දෙන ක‍්‍රම බිහිවී තිබෙනවා. අපේ දරුවන් බොහෝ දෙනෙක් අතරමඟ පාසල් හැර යනවා. ඒ අය සමාජයේ ශක්තිමත් පුරවැසියන් බවට පත් කරන්න පශ්චාත් අධ්‍යාපන ආයතන වැඩි වශයෙන් බිහි කළ යුතුයි. ජපානයෙන් රූපවාහිනි යන්ත‍්‍රය අපට දුන්නේ දැනුම දියුණු කරන සම්පතක් කියලයි. නමුත් අපි මේ දක්වා රූපවාහිනි, ගුවන්විදුලි වැනි විද්‍යුත් සන්නිවේදන ක‍්‍රමවේද දැනුම දියුණු කිරීම සඳහා යොදා ගෙන ඇත්දැයි විමසා බැලිය යුතු බව මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment