බොරැල්ල ට්‍රැෆික් ඕඅයිසීගේ මරණයට වරද පිළිගත් එස්.එස්.පී. පුතාගේ පාස්පෝට් උසාවියෙන් ගනී

91

බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්‍ෂක ආනන්ද සාගර සරත්චන්‍ද්‍ර මහතා රිය අනතුරකට ලක්කර මරණයට පත්කිරීමේ චෝදනාවට වරද පිළිගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රත්නායක මහතාගේ පුත්‍රයකු වන නවිදු උමේෂ් රත්නායක නමැත්තාට ලබන 27 වැනිදා දක්වා විදේශගත වීම වළක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (09දා) නියෝගයක් නිකුත් කළේය.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය වහාම අධිකරණයට භාරදෙන ලෙසට ද නියෝග කළ විනිසුරුවරයා එය අධිකරණයට භාරගැනීමෙන් පසු ඔහු මුදාහරින ලෙසට ද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

පෙර දිනයේදී අධිකරණයට එකඟ වූ පරිදි එම විත්තිකරු ඊයේ (09දා) විවෘත අධිකරණය හමුවේදී මරණයට පත් පොලිස් පරීක්‍ෂකවරයාගේ බිරිඳ වන අනෝමා ප්‍රියදර්ශනි මහත්මියට රුපියල් ලක්‍ෂ හයක මුදලක් ගෙවූ අතර අධිකරණය නියම කළ රුපියල් ලක්‍ෂ 11/2ක දඩ මුදල හා පොලිස් දෙපාර්තමේන්තුවට ගෙවීමට නියම කළ රුපියල් ලක්‍ෂ 1 1/2 ක වන්දි මුදල ගෙවා ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක වීරසූරිය මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

වන්දි මුදලේ ඉතිරිය වන රුපියල් ලක්‍ෂ 20 ලබන 27 වැනිදා ගෙවනා බවට ද විත්තිකරු පොරොන්දු වී ඇතැයි ද නීතිඥ අසෝක වීරසූරිය මහතා අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය. එම වන්දි මුදල භාර ගැනීම සඳහා එදින යළි අධිකරණයට පැමිණෙන ලෙසට ද අනෝමා ප්‍රියදර්ශනී මහත්මියට විනිසුරු නවරත්න මාරසිංහ මහතා අවවාද කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment