බොරැල්ල ට්‍රැෆික් ධෂක්‍ගේ මරණයට SSP පුතා වසර දෙකක් හිරේ

3985

දඬුවම වසර 15කට අත්හිටුවයි

ලක්‍ෂ 26ක වන්දියක් හා ලක්‍ෂ 1 1/2ක දඩ මුදලක් නියම වෙයි

සිද්ධිය වුණේ හිටපු ඇමැති පුතා සමග එනවිට

රිය අනතුරකට ලක්කර බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්‍ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා මරණයට පත්කිරීමේ චෝදනාවට වරද පිළිගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ පුත්‍රයකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (08)දා වසර 15කට අත්හිටවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා රුපියල් එක්ලක්‍ෂ පනස්දහසක දඩයක් නියම කළේය.

සිය නීතිඥවරයා මගින් වරද පිළිගත් රත්නායක මුදියන්සේලාගේ නවිඳු උමේෂ් රත්නායක නමැති විත්තිකාර තරුණයා සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විනිසුරුවරයා මරණයට පත්වූ පොලිස් පරීක්‍ෂකවරයාගේ බිරිඳට රුපියල් ලක්‍ෂ 26ක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කළේය.

එයට අමතරව 2019.2.24 වැනිදා අලුයම කොල්ලුපිටිය ඩුෆ්ලිකේෂන් මංසන්දිය අසලදී රාජකාරි කටයුතු සඳහා මියගිය අය භාවිත කළ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් යතුරුපැදියට සිදුවී ඇති අලාභයට රුපියල් එක්ලක්‍ෂ පනස්දහසක වන්දියක් ගෙවන ලෙසට ද විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකරුට නියෝග කළේය.

පෙර නියම කළ දඩය නොගෙවන්නේ නම් මාස හයක සිරදඬුවම් ද වන්දිය නොගෙවෙන්නේ නම් වසර දෙකක සිර දඬුවම් ද විත්තිකරුට ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

තරුණ වියේ පසුවන විත්තිකරු තමන් අතින් සිදුවූ වරදට මනස්තාප වන බවත් එබැවින් වරද පිළිගෙන මියගිය අයගේ පවුලට ප්‍රමාණවත් වන්දියක් ගෙවීමට සූදානම් බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසීය. අධිකරණයේ කාලය නිකරුණේ මිඩංගු නොකර විත්තිකරු වරද පිළිගැනීම කෙරෙහි අවධානය යොමු කර එවැනි අවම දඬුවමක් නියම කරන බව ද විනිසුරුවරයා එම දඬුවම් නියම කරමින් කීවේය.

රජයේ අධිනීතිඥ නිමේෂා ද අල්විස් මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූවාය. 2019.2.24 වැනිදා අලුයම 4.30ට පමණ සිදුවී තිබූ එම අනතුරින් පසුව පලාගොස් තිබූ විත්තිකරු හා ඩිෆෙන්ඩර් රථය සොයාගැනීමට පොලිසිය සමත් වී තිබිණි. එම විත්තිකරු තවත් පිරිසක් සමග රාත්‍රි සමාජශාලාවකට ගොස් පැමිණෙමින් සිටිය දී අලුයම 4.30ට පමණ එම අනතුර සිදුවී ඇති බවත් ඔහු සමග එවකට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයකු හා තරුණියක ඇතුළු පිරිසක් ද වෙනත් ජීප් රථයකින් ගමන් කර ඇති බවත් සී සී ටී වී දර්ශන මගින් අනාවරණය කරගත් පොලිසිය ඔවුන් ඇතුළු හයදෙනකු ද අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

උසස් පොලිස් නිලධාරියකුගේ දැන උගත් දරුවකු වන විත්තිකරු මෙයට වඩා වගකීමකින් කටයුතු කළ යුතුව තිබූ බවත් පොලිස් නිලධාරියකුගේ දරුවකු තවත් පොලිස් නිලධාරියකු රිය අනතුරකට ලක්කර පලා යෑම ඉතා බරපතළ වරදක් බවත් විනිසුරුවරයා සිය තීන්දුව ලබාදෙමින් පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment