බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ 42 ක් නතර කරලා

182

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්

නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාවය හා මුදල් හිඟය මත රසායනික ප්‍රතික්‍රියක මිලදී ගැනීමට නොහැකි වීම හේතුවෙන් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය පීඑස්ඒ, ටීඑස්එච්ටී3/ටී4, වීඑම්ඒ පරීක්ෂාව, හෙපටයිටිස් පරීක්ෂණය ඇතුළු වෛද්‍ය පරීක්ෂණ 42ක් මේවන විට නතර කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

රට පුරා සියළු රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර කිරීම සඳහා සිදු කිරීමට ඉතාමත් අතවශ්‍ය වන මෙම වෛද්‍ය පරීක්ෂණ, අතිශය සුවිශේෂි රෝග රැසක් හඳුනා ගැනීම, වසංගත ඇතුළු රෝග රැසක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා වැදගත් වන බවත් මෙම පරීක්ෂණවලින් බොහොමයක් පෞද්ගලික අංශයේ පවා සිදු නොකරන අතර, එසේ සිදු කළද එම අංශයෙන් ඒවා සිදු කරගන්නේ නම් ඒ වෙනුවෙන් ඉතා විශාල මුදලක් ගෙවීමට සිදු වන බව කුමුදේශ් මහතා කීවේය.

මෙම පරීක්ෂණ ඇන හිටීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය, මුදල් හිඟකම හා ක්‍රමවේදයන්ගේ පවතින අනවශ්‍ය සංකීර්ණ බව යන කරුණු බලපා ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා එම තත්ත්වයන් හිතා මතා ඇති කර ගත් ඒවා නොවන බව අවධාරණය කර සිටී.

බොහෝ වෛද්‍ය පරීක්ෂණ පෞද්ගලික රසායනාගාර වෙත යොමු කිරීමේදී විශාල වාසි සලසා ගන්නා පාර්ශවයන් විසින් අර්බුදය විකුණාගෙන කන තත්ත්වයක් නිර්මාණය කර ඇති බවත් මෙම තත්ත්වය වැළක්වීම සඳහා නිසි මග පෙන්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නොලැබෙන අතර බොහෝ ඉහළ නිලධාරීන්ද මෙම ක්‍රමයේම ඉත්තන් හෝ ගැත්තන් බවට පත්ව සිටීම එයට හේතු වී ඇති බව ඔහු සඳහන් කරයි.

සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය රසායනාගාර ප්‍රතික්‍රීයක මිලදී ගැනීම සඳහා ආධාර ලබාදෙන ආසියානු සංවර්ධන බැංකුව (ADB), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB), ලෝක බැංකුව සහ ඉන්දියන් ණය ආධාර ක්‍රමය (Credit Line) හරහා මුදල් ලබා ගැනීමට හැකියාව පවතින අතර, චීනය වෙනම ආධාර ලබා දේ. නමුත් උක්ත කිසිඳු ආධාරයක් කාර්යක්ෂම ලෙස පරිහරණය කිරීමට නිලධාරීන් අසමත් වීම, මෙම සෞඛ්‍ය අර්බුදයට අදාළ

ප්‍රධානතම හේතුව වී ඇත. බිම් මට්ටමේ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ පැමිණිලි, වෘත්තීය සමිති යෝජනා පසෙකලමින්, තමන්ට පෞද්ගලිකව ලැබෙන ලාභය උදෙසා වැඩ කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පරිපාලන නිලධාරීන් දස දෙනෙකුගේ සේවය ‍රජය විසින් තවත් වසරකින් දිගු කිරීම හරහා රෝගීන් දිනපතා බිළි දෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් පෙනෙන්නට නැතැයිද හෙතෙම අවධාරණය කළේය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment