බොලිවුඩ් ගායක ‘කේ කේ’ ගේ මරණයට අධික උද්වේගය හේතු වෙලා

662

පැය තුනක පමණ කාලයක් පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වීමෙන් පසු හටගත් හදිසි හෘදයාබාධයකින් මියගිය ජනප්‍රිය බොලිවුඩ් ගායක ‘කේකේ’ හෙවත් ක්‍රිෂ්ණ කුමාර් කුන්නත් ගේ මරණයට හේතු වී ඇත්තේ ගායකයා විසින් අධික උද්වේගකර ශෛලියකින් ගායනයන් ඉදිරිපත් කිරීම බවට ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරු පවසති. කොල්කටා නගරයේ පැවති සංගීත ප්‍රසංගයකදී ගායනයන් උද්වේගකර රංගනයකින් ඉදිරිපත් කිරීම හේතුවෙන් ක්‍රිෂ්ණ කුමාර් කුන්නත්ගේ හෘදය වස්තුවට රුධිරය සැපයීම නතර වී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස ඔහුට හෘදයබාධයක් වැළඳී ඇති බව වෛද්‍යවරු සඳහන් කර තිබේ.

කොල්කටා නගරයේ ශ්‍රවණාගාරයක පැවති ‘කේ කේ’ ගේ සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා එම ශ්‍රවණාගාරයේ සිටිය හැකි උපරිම ප්‍රේක්ෂක සංඛ්‍යාව මෙන් දෙගුණයක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණ සිට ඇති අතර එම ප්‍රසංගයෙන් අනතුරුව සිය හෝටලය වෙත ගොස් ඇති ‘කේ කේ’ හදවතේ වේදනාවක් පිළිබඳව පැමිණිලි කර ඇති අතර හෘදයාබාධයකට ලක් වීමෙන් පසු රෝහලක් කරා ගෙන යන අතරතුර මියගොස් තිබේ. ඔහුව රෝහලට ගෙන යන අතරතුර කෘත්‍රිම ශ්වසනය ලබා දුන්නේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට තිබූ බවටද මේ වන විට මත පළ වී තිබේ. විශාල ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පැවති මෙම ප්‍රසංගය පැවති ශ්‍රවණාගාරයේ දුර්වල වාතාශ්‍රයක් පැවතීම ගායකයාගේ මරණයට හේතු වන්නට ඇති බවටද ඇතැමුන් විසින් චෝදනා කර තිබේ. ‘කේ කේ’ ගේ බිරිය මාධ්‍යයට පවසා ඇත්තේ කොල්කටා නගරයට පැමිණීමට පෙර ඔහුගේ දෑත්වල හා උරහිසේ වේදනාවක් තිබී ඇති බවයි. ඔහු ගැස්ට්‍රයිටිස් රෝගයෙන්ද පෙළී තිබේ. දකුණු ඉන්දියාවේ උපත ලැබුවද උතුරු ඉන්දියාවේ හැදී වැඩුණු ‘කේ කේ’ භාෂා 11 කින් ගීත ගායනා කර ඇතත් වැඩි වශයෙන්ම ගීත ගායනා කර ඇත්තේ හින්දි භාෂාවෙනි. ඔහුගේ දේහය මුම්බායි නගරයට ගෙන යෑමට පෙර දේහයට උපහාරයක් වශයෙන් කොල්කටා නගරයේදී වෙඩි උත්තමාචාරයක් ලබා දීමට බටහිර බෙංගාල රජය පියවර ගෙන තිබිණි. ඔහුගේ දේහය පෙරේදා (02දා) මුම්බායි නගරයේදී සිනමා කලාකරුවන් රැසකගේ හා ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් ආදාහනය කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment