බොළඳ ළමා සටන් කවය

1668

මෙයට අවුරුදු 15 කට පෙර වසර 2007 දී බංගලාදේශය තුළ සිවිල් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය. බංගලාදේශය යනු අපට ඉතාම හිතවත් රටකි. මෙයට මාස කිහිපයකට පෙර අපට කන්න නැතුව හිටි අවස්ථාවේදී ඩොලර් මිලියන 250 ක ණයක් අප වෙත දීමට තරම් බංගලාදේශය ත්‍යාගශීලී ද විය. 2007 සිවිල් ගැටුම සිදුවූ අවස්ථාවේදී බංගලාදේශයේ ඩකා නගරය පුරා බෝම්බ පුපුරන්නට පටන් ගත්තේය. ඒ අතර එරට පාර්ලිමේන්තුවට ද බෝම්බ තබන බවට ආරංචි විය. ආණ්ඩුව විසින් වහාම පාර්ලිමේන්තුව වසා දමන ලදී. රටේ අගමැති ද ජනාධිපතිද සමස්ත කැබිනට් මණ්ඩලය ද ෂෙරටන් නමැති හෝටලයක නවත්වන ලද අතර සම්පූර්ණ හෝටලය හමුදා ආරක්ෂාව යටතේ පැවතිණ. ඇතැම් දිනවල ඩකා නගරයේ තත්ත්වය කෙතරම් නරක් වීද යත් කිසිදු කෙනකුට හෝටලෙන් පිටතට යෑමට පවා බැරිවිය. රටේ කැබිනට් රැස්වීම් මෙන්ම පාර්ලිමේන්තුවේ නාමික සැසිවාරයන් ද පවත්වන ලද්දේ ෂෙරටන් හෝටලය තුළය. ඉහත සඳහන් උදාහරණය අපට සිහිපත් වූයේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පසුගියදා මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් බැවිනි.

වැඩ බලන ජනාධිපති ලෙස ඔහු සංවිධානය කළ පළමුවන කැබිනට් රැස්වීම පවත්වන ලද්දේ කොළඹ නිදහස් චතුරස්‍රය කිට්ටුව තිබෙන කුඩා හෝටලයකය. එයට හේතුව අරගලකරුවන් විසින් ජනාධිපති කාර්යාලය කඩා බිඳ දමා තිබීමය. පසුගිය දිනවල රාජපක්ෂ විරෝධී නිරායුධ අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයත් අරලියගහ මන්දිරයත්, ජනාධිපති ලේකම් කාර්යාලයත් අත්පත් කරගන්නා ලදී. මෙය ඉන්දියාව, තායිලන්තය, පාකිස්තානය වැනි රටක සිදුවූයේ නම් අරගලකරුවන්ගේ මළ මිනී එකතු කිරීම සඳහා වෙනම හමුදාවක් යෙදවිය යුතුය. එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තවමත් එවැනි පහත් මට්ටමකට පත්ව නැත. එබැවින් නිරායුධ අරගලකරුවන් රජයේ ගොඩනැඟිලි අත්පත් කරගන්නා විට ආණ්ඩුව පසුබැස්සේය. රනිල්ගේ කැබිනට් රැස්වීම පෙරකී කුඩා හෝටලය තුළ ඉතාම සාර්ථක ලෙස පවත්වන ලදී. එය වෙනම කාරණයකි.

අරගලකරුවන් නිරායුධ වූ බැවින් ඔවුන් ජනාධිපති මන්දිරයටත් අරලියගහ මන්දිරයටත් ජනාධිපති ලේකම් කාර්යාලයටත් අයත් දේපළ විනාශ කරන ලද්දේ ඒ වෙලාවේම සපයාගත් පුටු කකුල් සහ වෙනත් ලී කැබලිවලිනි. ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ බිත්ති හෑරූ අරගලකරුවෝ මහින්ද හා ගෝඨාභය එම බිත්ති තුළ මුදල් සඟවා ඇත්දැයි සෙවූහ. මෙය ප්‍රජාතන්ත්‍රවාදය තුළ ප්‍රජාතන්ත්‍රවාදය විසින්ම අත්දකිනු ලබන කුණුම කුණු ඛේදවාචකයකි. නිරායුධ ලේබලය යටතේ රජයේ දේපළවලට ඇතුළු වූ අරගලකරුවෝ ආයුධවලින් කරනවාට වැඩි විනාශයක් ඒ දේපළවලට කළහ. එයට හේතුව පාලකයන්ගේ වරදය. අරගලකරුවන් මෙපමණ චූන් වූයේ මේ රටේ පාලකයන් කිසිදු වගකීමකින් තොර දූෂිත පුද්ගලයන් වූ නිසාය. යහපාලන ආණ්ඩුව මේ රට කා දමා තිබූ බව පොහොට්ටුවේ සාමාජිකයෝ කියති. ඔවුන් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය මගින් රටේ පාලන බලය ඩැහැගන්නේ මේ බව දැන දැනය.

ගෝඨාභය ජනාධිපති වන විට මේ රටේ භාණ්ඩාගාරය හිස්ව තිබූ බව එකල සිටි ආර්ථික අධිපතියා වූ ජනාධිපති ලේකම් පී. බී. ආටිගල දැන සිටියේය. එසේම මහ බැංකුව ද ඒ බව හොඳින්ම දත්තේය. එසේ දැනගත් පසු ගිය ආණ්ඩුව රට කෑවා යැයි කියමින් විලාප තැබීමේ අයිතියක් පසුව බලයට පත්වූ අයට නැත. ඒ අනුව ආණ්ඩුව දැන දැනම මේ රට ආර්ථික විපතක් කරා මෙහෙයවමින් සිටියේය. ආණ්ඩුව කල්පනා කළේ කොවිඩ් වසංගතය පෙන්වා මේ සියල්ල ගොඩදමා ගතහැකි බවය. එහෙත් සියලු විනාශයන් කොවිඩ් අර්බුදයට බැර කිරීමට ජනතාව සූදානම් නැත. කොවිඩ් විපතින් සිදුවූ හානිය කුමක්ද යන්නත් ආණ්ඩුවේ කොන්ද පණ නැති ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන්නත් මිනිස්සු වෙන වෙනම දැන සිටියහ. එබැවින් රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව විසින් කරනු ලැබිය යුතුව තිබුණේ මහ භාණ්ඩාගාරයට කෙලවී ඇති බව සහ කොවිඩ් වසංගතයෙන් ආර්ථිකය වැනසෙන බව දැනගත් වහාම පුළුවන් එකෙකුට රට භාරදී ඉල්ලා අස්වීමය. එහෙත් බලලෝභී පාලකයෝ එය නොකළහ. ඔවුන් බැලුවේ ජනතාව කෑවා ද නොකෑවාද උන්නාද මළාද යන්න ඉරණමට භාරකර බයිලා කියමින් කාලය ගත කිරීමය.

මේ අතර තවත් වැදගත් ආරංචියක් අපට දැනගැනීමට ලැබී තිබේ. ඒ වූකලී අරගලකරුවන් විසින් ශ්‍රී ලංකාවට මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇති බවය. මේ අරගලය මෙහෙයවන තරුණ පරම්පරාව බෙහෙවින් ලඳ බොළඳ බව පෙනේ. මතවාදී වශයෙන් මේ අරගලය සමග එක්ව සිටින ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක සහ පෙරටුගාමී පක්ෂයේ කුමාර ගුණරත්නම් වැනි පරිණත සටන්කරුවන් මෙවැනි ගොන් ඉල්ලීම් මළාට කරන්නේ නැත. එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ රටක සිවිල් යුද්ධයක් පවතින වෙලාවකය.

දැනට පවතින සිවිල් නොසන්සුන්තාවය මෙන් කෝටි ගුණයකටත් වැඩි බලසම්පන්න බවක් තිබූ ජනවාර්ගික යුද්ධයේදී පවා මෙරටට එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය වූයේ නැත. අනෙක එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් ලංකාවට පැමිණි විට ඔවුන් ආපසු යැවීම සඳහා වෙනම මැදිහත් වීමක් කළ යුතු වේ. එල්.ටී.ටී.ඊ. යුද්ධය තිබූ සමයේදී යාපනයට පැමිණි ඉන්දියන් සාම සාධක හමුදාව ආපසු එරටට තල්ලු කරගත්තේ ඉතා අමාරුවෙනි. ජනාධිපති ආර්. ප්‍රේමදාස නොසිටින්නට ඉන්දියන් හමුදාව තවමත් මේ රටේ සිටීමට ඉඩ තිබෙන අතර ඔවුන් සිය මව් රටේ රස්සාව අතහැර ලංකාවෙන් අවාහ විවාහ කරගෙන මේ රටේ ජනගහණයේම කොටසක් වන්නට ඉඩ තිබිණ. අනෙක බටහිර ලෝකය සමග වැඩිම සම්බන්ධයක් ඇත්තේ රනිල් වික්‍රමසිංහටය. එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් මෙහි එන්නේ ඔහු කීවොත් පමණි. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අරගලය මෙහෙයවන බොළඳ ළමා සටන් කවය මේ බව අවබෝධ කරගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment