බෝගම්බරත් අහවරයි

2107

එකම පාදමක පිහිටි ආසියාවේ දිගම ගොඩනැඟිල්ල මෙයයි…

අවුරුදු 146ක් පැරණි ගැසට් කරන ලද පුරාවිද්‍යා ස්මාරකයක්..

පුරාවිද්‍යා සංරක්ෂිත ස්මාරකයක් සේ නම් කර ඇති නුවර වැදගත්ම ඓතිහාසික ගොඩනැඟිල්ලක් වූ බෝගම්බර බන්ධනාගාරයේ දැවැන්ත පෞරාණික ගොඩනැඟිල්ල පුරාවිද්‍යා ආඥාපනත උල්ලංඝනය කරමින් කඩා දැමීමට ආණ්ඩුව සූදානම්වන බව වාර්තා වේ.

යටත්විජිත යුගය නියෝජනය කරන අතිශය වැදගත් සංස්කෘතික හා වාස්තුවිද්‍යාත්මක උරුමයක් වූ මෙම ගොඩනැඟිල්ල කඩා ඉවත් කර දැමිය යුතු බවට වූ මුල්ම අදහස පැමිණි අවස්ථාව මෙය බව ද වාර්තා වේ.

බි‍්‍රතාන්‍ය යුගයේ දී ඉදි වුණු වසර 146ක් පැරණි මෙම තුන්මහල් ගොඩනැඟිල්ල වෙන් නොවූ එකම පාදමක් මත ගොඩනැ`ගූ අසියාවේ දිගම ගොඩනැඟිල්ලය. මහනුවර නගර සීමාවේ මහනුවර වැව, වේල්ස් උද්‍යානය, තරුණ බෞද්ධ සංගමය, මහනුවර නගර මධ්‍යස්ථානය (KCC) සහ මහජන පුස්තකාලය පෙනෙන මානයේ ඇහැලේපොළ කුමාරිහාමි මාවතේ පිහිටා ඇති අක්කර 11කට ආසන්න භූමියක පැතිරුණු මෙම ගොඩනැඟිල්ල සහිත පරිශ‍්‍රයේ ඉඩම්වල මූල්‍ය වටිනාකම පමණක් ගණනය කර මීට සති තුනකට පෙර මහනුවර සංවර්ධන කමිටුවේ දී ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරුන්වන මහින්දානන්ද අලූත්ගමගේ කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම විසින් රජය වෙනුවෙන් මෙම යෝජනාව ගෙනැවිත් තිබේ.

ඒ අවස්ථාවේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ගොඩනැඟිල්ලේ ඇති පෞරාණික වටිනාකම පිළිබඳව දැන්වූ විට මහින්දානන් අලූත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල අවඥාවයන් යුතුව එය බැහැර කර ඇත. එහෙත් ඒ වනවිට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හර්ෂාන් ද සිල්වා පැහැදිලිව ප‍්‍රකාශ කර ඇත්තේ මෙම ගොඩනැඟිල්ලේ ව්‍යුහය ශක්තිමත් බැවින් එය කඩා ඉවත්කළ යුතු නැති බවය.

අනතුරුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩාමක් පාර්ලිමේන්තුවට ගෙන්වා කළ සාකච්ඡාවල දී දිගින් දිගටම මේ ගොඩනැඟිලි කඩා ඉවත් කිරීමට එළඹ ඇති තමන්ගේ ස්ථාවරය මහින්දානන්ද සහ කෙහෙළිය විසින් දැඩිව දන්වා ඇත. මේ අමනෝඥ තීන්දුවට දිලූම් අමුණුගම හැර නුවර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන පොදුජන පෙරමුණේ එකම තරුණ මන්ත‍්‍රීවරයක්වත් සිය කැමැත්ත පල කර නැති පසුබිමක මේ කටයුත්ත සිදුකිරීමට සූදානම් වේ.

  • බෝගම්බර සිර ගෙදර

බෝගම්බර සිරගෙය ඉදිකරනු ලැබුවේ බි‍්‍රතාන්‍ය – ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ උපදෙස් පරිදි බන්ධනාගාර සහ පොලිසිය පිළිබඳ ඉන්ස්පෙක්ටර් ජෙනරල්, මෙරට ප‍්‍රථම බන්ධනාගාර සහ පොලිස් කොමසාරිස් එන්. ආර්. සෝන්ඩර්ස් විසින් 1876 වසරේ දී ය.

ප‍්‍රංශයේ වැදගත් ඓතිහාසික සටනකට මුල් වූ බැස්ටිල් හිරගෙදර ගෘහනිර්මාණ ශිල්පයට සමානව මෙම බෝගම්බර බන්ධනාගාරය නිර්මාණය කර ඇතැයි පැවසේ. බි‍්‍රතාන්‍ය මහ රැජිණගේ ඔටුන්නට සමාන හැඩයක් සහිතව මෙම ගොඩනැඟිල්ල ඉදිවී ඇත.

  • විශේෂ වැදගත්කම

බෝගම්බර බන්ධනාගාරයේ ඇති විශේෂත්වයක් වන්නේ එය කිසිම තැනකින් වෙන් නොවුණු තනි පාදමක් මත ඉදිකෙරුණු ආසියාවේ දිගම ගොඩනැඟිල්ල වීමයි.

දිගින් අඩි පන්සිය පනස් හයක්ද, පළලින් අඩි එකසිය හතළිස් හතරක්ද, උසින් අඩි එකසිය දෙකක් ද සහිතව එකම අත්තිවාරමේ මේ විශිෂ්ට ගොඩනැඟිල්ල පිහිටුවා ඇත. බන්ධනාගාරය මහල් තුනකින් සහ සිරමැදිරි තුන්සිය විසි අටකින් සමන්විත වේ. ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද්දේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසිනි.

  • මෙතෙක් කළ සංවර්ධනය

2013 වර්ෂයේ දී එනම්, ඉදිකිරීමෙන් වසර 138කට පසු බෝගම්බර සිරගෙදර හිස් විය. සිරකරුවන් අභිනවයෙන් ඉදිකළ පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත මාරුකර යැවිනි. මෙම ස්ථානයේ සංස්කෘතික උද්‍යානයක් නිර්මාණය කිරීමට සැලසුම් විය. 2014 ජනවාරි 01 වන දින සැලසුම් කරන ලද සංස්කෘතික උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සඳහා බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම වසා දැමුණි. එහි පැවති භාණ්ඩ සියල්ලක් ශ‍්‍රී ලංකා රජය වෙත භාර දෙනු ලැබිණි. ඵෙතිහාසික වටිනාකමකින් යුතු මෙම ගොඩනැඟිලි සහ භූමි ප‍්‍රදේශය 2014 ඔක්තොම්බර් මාසයේදී රජය විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භෞතික බුක්තිය හෙවත් නඩත්තු කිරීමේ අයිතිය පවරා දුන්නේය. පාලන භුක්තිය ගඟවට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ විය.

මෙම ගොඩනැඟිල්ලේ පෞරාණිකය හරය දැවැන්ත අර්ථයක් සහිතව ආර්ථික සම්පතකට පරිවර්තනය කර ගත හැකි ආකාරය දකිමින් වර්ෂ 2014 දී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා යටතේ ආරම්භ වූ මෙම සංවර්ධන ව්‍යාපෘතිය පවත්වා ගන්නට 2016 දී පැවති යහපාලනන ආණ්ඩුව කැබිනට් අනුමැතියක් ලබා ගත්තේය.

ඒ කැබිනට් අනුමැතියට අනුව, බෝගම්බර බන්ධනාගාර භූමියේ නඩත්තු සහ ආයෝජන ප‍්‍රවර්ධන කටයුතු ආයෝජන මණ්ඩලය වෙත පැවරිනි. ඒ වන විටත් නාගරික සංවර්ධන අධිකාරිය මෙම භූමිය සඳහා සැලසුම් ව්‍යාපෘති, සහ නඩත්තු පිළිබඳ වාර්තා සියල්ල සකස් කර තිබිණි. භූමියේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීමට ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ සිටි ගෘහනිර්මාණ ශිල්පීන් සිදු කළේය.

  • අදියර තුනේ සංවර්ධන සැලැස්ම
බෝගම්බරත් අහවරයි

අදියර තුනකින් සංවර්ධන කටයුතු නිම කිරීමට සැලසුම් කර තිබිණි. බන්ධනාගාර වට බැම්මට පිටපැත්තෙන් පිහිටි අක්කර 1.5 ක් පමණ වූ ප‍්‍රදේශය හෙවත් ඉදිරිපස අංගනය සංස්කෘතික ප‍්‍රසංග පවත්වන ස්ථානයක් ලෙස සැකසීමට යෝජනා විය. සමරු තිලිණ සහ අනෙකුත් දේශීය නිෂ්පාදන භාණ්ඩ ප‍්‍රදර්ශනය සහ අලෙවි කරන ස්ථාන, සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් ඒ අතර විය.

ව්‍යාපෘතිය යටතේ පොදු විනෝදාත්මක කටයුතු සඳහා වෙන් වූ මහජනතාවට නිදහසේ ගැවසිය හැකි පොදු අංගනයක්ද ස්ථාපිතකොට නිම කළේය. ඉදිරි අංගනයේ පිහිටා ඇති ඵෙතිහාසික ගොඩනැඟිල්ලක් වන බන්ධනාගාර අධිකාරිවරයාගේ බංගලාව මධ්‍යම ඉංජිනේරු පුද්ගලික සමාගම විසින් මහා භාණ්ඩාගාර ප‍්‍රතිපාදන යටතේ රුපියල් මිලියන දෙසීය අනූහතයි දශම හතක් වියදම් කර නිම කළේය.

පැරණි බන්ධනාගාර වට බැම්මට ඇතුළතින් පිහිටා ඇති පරිශ‍්‍රය අක්කර හයයි දශම අටක පිහිටා ඇත. මෙම භූමියේ ඇති රෝහල් පරිශ‍්‍රය අලූත්වැඩියා කොට සෙසු කටයුතු සඳහා යොදා ගැනීමට සැලම් කෙරිණි. පරිශ‍්‍රයේ පෙර කොටසේ තරුපහේ හෝටල් දෙකක් ලෙස අලූතින් ගොඩනැඟිලි දෙකක් ඉදිකිරීමට යෝජනා විය. මේ සඳහා රුපියල් මිලියන හත්සිය පනහක මුදලක් භාණ්ඩාගාරය මගින් අනුමත කර තිබිණි.

කන්ද උඩරට සංස්කෘතික සහ කලාව පිළිබිඹු කරන නිෂ්පාදන සහ සේවාවන් ලබා දෙන ස්ථානයක්, කලා නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා ආසන එකසිය විස්සකින් යුතු රංග ශාලාවක් දේශන ශාලාවක් ඉදිකිරීමට සැලසුම් විය. පළමු අදියරේ වැඩ අවසන් වන්නේ වර්ෂ 2019 අගෝස්තු 24 වන දිනය. දෙවන අදියර එදිනම උත්සවශ‍්‍රීයෙන් ආරම්භ කෙරිණි. බන්ධනාගාර පරිශ‍්‍රයේ කරන මෙම ඉදිකිරීම් කටයුතු සිදුකෙරුණේ රටේ නීතියට අනුවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේය. ඉපැරණි ඉදිකිරීම් කිසිවකට හානි නොවන ලෙසය.

  • නාහිමිවරු…

මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ද ඇතිව මහනුවර නගරයේ සංස්කෘතික ආකර්ශනයට හානියක් නොවන අයුරින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය දියත් විය. මෙම භූමිය පුරාවිද්‍යා වටිනාකමින් අනූන බිමක් බැවින් එහි කිසිදු ගොඩනැඟිල්ලකට හෝ තාප්පයට හානියක් සිදු කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ලෝක උරුම නගරයේ මහනුවර අභිමානයට කැලලක් සිදු නොවිය යුතු බවත්, මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක ස්වාමින්වහන්සේ යහපාලන රජයේ ජනපති සහ අගමැති දැනුවත් කොට තිබිණි. සංවර්ධන යෝජනා සහ සාකච්ඡා පවත්වන සෑම අවස්ථාවකදීම මල්වතු අස්ගිරි පාර්ශ්වයන්හි ස්වාමින්වහන්සේගේ සහභාගිත්වයද ඊට ලබා ගෙන තිබිණි ජනාධිපති ගෝඨාභයගේ ආණ්ඩුවේ මහින්දානන්දලා කඩා දමන්නට හදන්නේ වර්ෂ 2014 දී ආරක්ෂක ලේකම් ගෝඨාභය යටතේ ආරම්භ වී කෝටි ගණන් විදයම්කර සැලසුම් හදා සංරක්ෂණය කළ ලෝකයේ මිල කළ නොහැකි පෞරාණික ගොඩනැඟිලිවලින් එකකි.

මේ විනාශය කිරීමට එක්කෝ මේ ආණ්ඩුව රටේ නීතිය වූ පුරාවිද්‍යා ආඥා පනත වෙනස් කළ යුතුය. නැතිනම් මේ ගොඩනැඟිල්ල ගැසට් කර ඇති පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලයිස්තුවෙන් ඉවත් කළ යුතුය. නැතිනම් රටේ නීතිය බල්ලට දමා මේ ලෝක සම්භාවිත පුරා ස්මාරකය කුඩු කළ යුතුය. අනතුරුව නඩු සැඟවිය යුතුය.

සිදුවන දේ සවිඥානිකව බලාගෙන ඉන්නා ලෙස අප රටට කියන්නේය

ජානක ලියනආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment