බෝට්ටුවකින් ඉන්දියාවට ගෙන යද්දී කෝටි 4 ක  රත්‍රං තොගයක් සමග 3 ක් මාට්ටු

148

බෝට්ටුවකින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 43කට අධික වටිනාකමින් යුත් රත්‍රං කිලෝග්‍රෑම් 1.912ක් සහ සැකකරුවන් තිදෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඉකුත් 28 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තලෙයිමන්නාරම තම්මැන්නා කඳවුරට අනුයුක්ත නැවියන් පිරිසක් විසින් උතුරු මැද නාවික මූලස්ථානයට ලැබුණු තොරතුරක් මත, තලෙයිමන්නාරම දෙවන වැලිපරයට නාවික සැතපුම් 1.2ක් දුරකදී මෙම රත්‍රං තොගය සැකකරුවන් තිදෙනකු සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා රේගුවේ කන්කසන්තුරය උප නිවාරණ කාර්යාලයට භාරදී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

හොර රහසේ ඉන්දියාවට ගෙනයෑමට සැලසුම් කර තිබූ මෙම රත්‍රන් තොගයේ වටිනාකම රුපියල් 43,208,000ක් පමණ වන බව සුදත්ත සිල්වා මහතා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුදුකුඩිරුප්පු සහ පේසාලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර උතුරු පළාත් රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් පවත්වන ලද රේගු පරීක්ෂණයේදී රේගු ආඥා පනතේ 130 සහ 163 වගන්ති යටතේ මෙම සැකකරුවන්ට රුපියල් ලක්ෂ 7.5 ක දඩයක් නියම කර, රේගු ආඥා පනතේ 12, 44 සහ 107 වගන්ති යටතේ රත්‍රං තොගය රාජසන්තක කරන ලදී.

උතුරු පළාත් රේගු අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ කන්කසන්තුරේ රේගු උප නිවාරණ කාර්යාලයට අනුයුක්ත නිලධාරින් විසින් මෙම රේගු විමර්ශනය මෙහෙයවන ලදී.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment