බෝට්ටුවෙන් ඔස්ටේ්‍රලියා යන්න හැදූ පිරිසක් මාරවිලින් අල්ලයි

96

නීති විරෝධී ලෙස ධීවර යාත්‍රාවකින් ඔස්ටේ්‍රලියාවට යෑමට සූදානම්ව සිටි පිරිසක් හා ඔවුන් සඳහා නවාතැන් පහසුකම් ලබාදුන් හෝටලයක හිමිකරුවෙකු මාරවිල පොලිසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන් හා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් මත 02 වෙනි දින සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

බෝට්ටුවෙන් ඔස්ටේ්‍රලියා යන්න හැදූ පිරිසක් මාරවිලින් අල්ලයි

මාරවිල පොලිස් වසමට අයත් තල්විල ප්‍රදේශයේ හෝටලයක මෙම පිරිස නවාතැන් ගෙන තිබේ.

මෙම පිරිස ප්‍රංශය හරහා ඔස්ටේ්‍රලියාවට රැගෙන යෑමට ජාවාරම්කරු සැලසුම් කර තිබිණි.

ඔස්ටේ්‍රලියාව බලා යෑමට එක් අයකුගෙන් ජාවාරම්කරු රුපියල් ලක්ෂ 15 ක මුදලක් අය කරන බවත් අත්තිකාරම් මුදල ලෙස එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාගෙන ඇති බවද මෙම පිරිස පොලිසිය හමුවේ පවසා තිබේ. ඉතිරි මුදල වන රුපියල් ලක්ෂ 13 ප්‍රංශයට ගිය පසු ලබා ගැනීමට සැලසුම් කර ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් එකම පවුලේ අය හා ඥාතීහු වෙති.

ඔස්ටේ්‍රලියාවට යෑමට සූදානම්ව සිටි පිරිස 22 කි. ඔවුන් මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මේ අය අතර දින 22 ක හා මාස 03ක අතදරුවන් දෙදෙනෙක් ඇතුළු අවුරුදු 3, 7, 12. 15, 17 වයස් ඛාණ්ඩ වල දරුවන් 9 දෙනෙක් වේ.

මීට දින හතරකට පෙර තල්විල ප්‍රදේශයේ නවාතැන් ගත් ස්ථානයට ඔවුන් පැමිණි ඇත්තේ වෑන් රථ දෙකකින් බව පොලිසියට විසින් අනාවරණය කරගෙන ඇත. මෙම ජාවාරම සිදු කළ පුද්ගලයා හෝ පුද්ගලයන් සම්බන්ධව මෙතෙක් නිශ්චිත තොරතුරුක් අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබේ. කෙසේ වෙතත් දැනට ලබාගෙන ඇති තොරතුරු අනුව මෙම ජාවාරම මෙහෙය වූ පුද්ගලයා හලාවත ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට තොරතුරු ලැබී ඇති බවත් මේ අය සමග හලාවත ප්‍රදේශයෙන් තවත් කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාව බලා යෑමට සූදානම්ව සිටි බව ද බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කරයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නිමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට කටයුතු කරන බව ද පොලිසිය පැවසීය.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතාගේ උපදෙස් මත නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරි එස්. ඩී. ආර්. ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ මාරවිල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. පී. රත්නායක මහතාගේ මගපෙන්වීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලලිත් සඳසිරි, පොලිස් පරීක්ෂක හේරත්, උප පොලිස් පරීක්ෂක ග්‍රේටන්, පොලිස් සැරයන් 31178 ඥානරත්න, කාන්තා පොලිස් සැරයන් 1493 ස්වේතා, පොලිස් කොස්තාපල් 99339 හපුආරච්චි යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

අමරනන්ද විජේසේකර – මහවැව, නාත්තන්ඩිය – රෙක්ස් හැරිසන්
 

advertistmentadvertistment
advertistmentadvertistment