බෝධි වන්දනාව තුළින් අපල සඵල  වන්නේ කෙසේද ? –  අපල සඵල කරන බොදු පිළිවෙත් 05

303

කේන්ද්‍ර පරීක්ෂා කිරීම්වලදී ද බාර වීම හා බාර කිරීම් ගැන ඇසෙන අවස්ථා ද බොහෝය. ඇතමුන් බොහෝදුරට භාර වීම හා බාරකිරීම කරනුයේ බෝධීන් වහන්සේලා උදෙසාය. බෝධි වන්දනාව ගැන අවස්ථා කිහිපයක අප සාකච්ඡා කළ අතර මෙම ලිපිය තුළින් බාර වීම හා බාර කිරීම් ගැන විමසීම බොහෝ පිරිසකට වැදගත් වනු ඇත.

 කේන්ද්‍ර පරීක්ෂා කිරීමක දී ජන්මියාට බෝධියට බාරයක් වන ලෙස පැවසූ විට ඇතැමුන් එම බාරය බඳින්නේ බෝ අතුවලය. බෝ අතුවල භාර බැඳීම කිසිසේත් උචිත නොවන දෙයකි. බෝධියට අගෞරව කිරීමකි. මිලිදු රාජ ප්‍රශ්නයට අනුව බෝධියෙන් වැටුණු එක් පත්‍රයක් අහුලන පුද්ගලයාට පවා දිව්‍ය සැප ලැබේ නම් ඔබ මදක් සිතන්න, බෝ අතු පහත් කර බෝ කොළ වැටෙන පරිදි බෝධියට අගෞරව කරන්නාට කුමක් නම් සිදුවේ ද?

 බෝධියට බාරයක් වන විට පන්සලට ගොසින් පඬුරක් බැඳීම පමණක් ප්‍රමාණවත් නොවේ. බෝධියට බාරයක් වන්නට පෙර ඔබ පළමුව අවම දින තුනක් හෝ ආජීව අෂ්ටමක සීලය සමාදන් විය යුතුය. ඊට හේතුව ඔබගේ අරමුණු ඉටු වීම සඳහා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ බැල්ම ලැබීම තුළින් විශාල උපකාරයක් වන හෙයිනි. නමුත් ඒ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ උපකාර ලැබෙනුයේ සිල්වතුන්ට පමණි. එම නිසා ඔබ අනිවාර්යෙන්ම සිල්වත් විය යුතුය.

 අනතුරුව නිවසේ දී කාසියක් කහ වතුරෙන් සෝදා සුදු රෙදි කඩක ඔතා ගෙන විහාරයට රැගෙන යා යුතුය. බෝධි වන්දනාවට පෙර බෝධිය අවට පිරිසිදු කිරීම එහි දී ඔබගේ පළමු පියවර ද විය යුතුය. පෙර දැක්වූ ලෙසින් එහිදී කිසිලෙසකින්වත් ඔබ බෝධියේ අතු පහත් කර බෝධියේ එම පඬුර බැඳීම නොකළ යුතුමය. එවිට වනුයේ බෝධියට අපහාස කිරීමේ පව ඔබට අත්වීම වේ. එහි දී ඔබ කළ යුතු සුදුසුම ක්‍රමය වනුයේ ඔබ බෝධි වන්දනාව සඳහා මල් බුලත්වලින් සැරසූ මල් ආසනය මතම එම පඬුර බුලත් කොළයක් මත තැබීම වේ. බෝධි වන්දනාව අවසන් වන තෙක්ම එය මල් ආසනය මතම තබන්න. දෙවියන්ට පින් දීමට පෙර එම ස්ථානයෙන් එම පඬුර බුලත් කොළය ද සමග අතට ගන්න. අනතුරුව තමන් දින කිහිපයක් තුළ හොඳින් ආරක්ෂා කළ සීලය ගැන සිතමින් එය සත්‍යයක් ක්‍රියා කරමින් තමන්ගේ යහපත් අරමුණ තමන් රැකි සීලයේ බලය හා තමන් කළ යම් තාක් කුසල ශක්තීන්ගේ බලයෙන් එම අරමුණ ඉටු වේවායි! දැඩිව අධිෂ්ඨාන කළ යුතුය. ඉන් පසු දෙවියන්ට පින් දීම සඳහා සම්‍යක් දෘෂ්ටික දේව මණ්ඩලයට ඔබ ආරාධනා කළ යුතුය. සම්‍යක් දෘෂ්ටික දේව මණ්ඩලයට සිදු කරන ආරාධනාව අප ඉදිරි කලාපයක පිළිවෙලට පෙළ ගස්වනු ඇත. දෙවියන්ට පින් දීමෙන් පසු ද නැවත ඔබගේ ඉටු කර ගත යුතු අරමුණ මතක් කළ යුතුය. ඉන්පසු අදාළ අරමුණ ඉටු වූ පසු ඔබ ත්‍රිවිධ රත්නය උදෙසා සිදු කරන වත් පිළිවෙත් හෝ පුණ්‍යකර්මය පැහැදිලිව සඳහන් කළ යුතු ද වේ.

 උදාහරණයක් ලෙස බලාපොරොත්තු වන “රැකියාව ඉටු වූ පසු එහි පළමු පඩියෙන් විහාරස්ථානයේ චෛත්‍යයේ තීන්ත ගෑම සඳහා මම යම් දායකත්වයක් දෙනවා”. “…අසවල් පුණ්‍ය කර්මය සිදු කරනවා”

 යනුවෙන් සඳහන් කොට ඔබගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ද, ආරක්ෂක දේවතාවුන් වහන්සේලාට ද පින් අනුමෝදන් කර ටික වේලාවක් නැවත එම මල් ආසනය මතම එම පඬුර තබන්න. නැවත ඔබ නිවස බලා යන විට එම බුලත් කොළය සමඟ එම පඬුර ද රැගෙන යන්න. ඉන්පසු නිවසේ බුදුන් වඳින ස්ථානයේ සුදුසු තැනක එය තැන්පත් කරන්න. අදාළ කාරණය ඉටු වූ පසු බාරය නිදහස් කරන දින එම පඬුර එතු රෙදි කඩ ඉවත් කර අදාළ විහාරයේ පඬුරු පෙට්ටියට දමන්න. එහි දී ඔබ වැඩි කාලයක් යන්නට පෙර බෝධි වන්දනාවක් එම විහාරයේ සිදු කර අදාළ බාරයෙන් නිදහස් වන්නට කිසිසේත් අමතක නොකළ යුතුම වේ.

 බෞද්ධයකුට ඒ ආකාරයෙන් භාරවීමෙන් ලෙඩ දුක් ආදියේදී සහනයක් මෙන්ම විවාහ, දරු උපත්,

 රැකියා, ඉදිකිරීම් විදේශ ගමන් යනාදී කරුණු ඉටුකර ගැනීමේදී ද ඉතා යහපත් ප්‍රතිඵල ලැබිය හැකි බැව් අප බොහෝ අත්දැකීමෙන්ම දනියි. එසේම බාර කිරීම යන්නෙන් අදහස් වන දෙයක්ද ඇත. බාර කිරීම්ද කොටස් කිහිපයකින් අපට විද්‍යමාන වේ.

 1). දරුවන් කුඩා කාලයේ දී බාර කිරීම

 2). ලෙඩදුක්වල දී වැඩිහිටියන් බාර කිරීම

 3). මිනිසකුට එල්ලවන අයහපත් අමනුෂ්‍ය බැල්මක දී අදාළ කරදරකාරී අමනුෂ්‍යයාව බාර කිරීම.

 බොහෝ පිරිස් මෙම බාර කිරීම සඳහා මිථ්‍යා දෘෂ්ටික බලවේග පසුපස ගොස් අමාරුවේ වැටෙන අවස්ථා ද අනන්තය. එක් අවස්ථාවක යම් දරුවකුගේ අපලයකට ඔහුගේ මවුපියන් කුඩා කාලයේ දී යම් දේවාලයකට ගොස් මිථ්‍යා දෘෂ්ටික බලවේගයකට දරුවා බාර කළ අතර තරුණ වියේ දී බයිසිකල් අනතුරකින් ඔහු මියගියේය. මියගිය පසුව එම ආත්මය නිවසේ සිටින කෙනකුට වරක් ආරූඪ වී පවසන ලද්දේ අදාළ අසවල් කාලයේ ගොස් තමාව බාර කළ දේවාලයෙන් තමාව භාරගත් යක්ෂ ආත්මයක් විසින් තමන්ව බිලිගත් බව ය. එවිට ඔහු එම යක්ෂ පිරිසේම ග්‍රහණයට දැන් නතු වී ඇත. සතර අපායටම දැන් ඔහුගේ දොරගුළු ද විවර වී ඇත.

 බෞද්ධයකු ඉහත තුන් ආකාර බාර කිරීම් කළ යුතු අවස්ථාවල දී කළ යුතු සුදුසුම දේ වනුයේ සෑ රජාණන් වහන්සේලා හෝ බෝධීන් වහන්සේලා උදෙසා බාර කිරීම් සිදු කිරීම ය.

 රෝගාතුර වී ඉතා අසාධ්‍යව සිටි පුද්ගලයකුගේ ඥාති ස්වාමීන් වහන්සේ නමක් ඔහුව බෝධියට බාර කරන ලදී. ඒ ඔහුට ශල්‍යකර්මයක් කරන දිනයේමය. එහි දී අදාළ පුද්ගලයාව සිහිසුන්ව සිටි විට ඔහුට සිහිනෙන් මෙන් පෙනී ඇත්තේ ඉතා බියකරු පෙනුමක් ඇති උස මහත පිරිසක් ඔහු කළුවර බියකරු යම් තැනකට රැගෙන ගොස් ඇති බව ය. අදාළ ස්ථානයේ උස පුටුවක සිටි පුද්ගලයකු ඔවුන්ට කියා ඇත්තේ මේ මිනිහව දැන් හාමුදුරුවෝ කෙනෙක් බෝධියට බාර කරනවා. මේ මනුස්සයන්ට තව අවස්ථාවක් දැන් තියෙනවා. ඉන් පසුව ඔහුට සිහිය ඇවිත් ඇත. පසුව දින කිහිපයකින් සුව වී නිවසට ගොස් ද ඇත. එය ස්වාමීන් වහන්සේ නමක් විසින් අප හට පැවසූ සත්‍යම පුවතකි. තවද ලෙඩ දුක්වලින් පීඩාවට පත්ව සිටින අයගේ කේන්ද්‍ර ගෙන ද අප වෙත බොහෝ දෙනෙක් නිති පැමිණෙයි. කේන්ද්‍රයේ අදාළ ග්‍රහ තත්ත්වයන් ද විමසා ජන්මියාට අදාළ සුභ දින හා සුභ හෝරා තෝරා එම දිනවල, අනිටු ග්‍රහ තත්ත්වයන් සමනය වන පරිදි හා පංච භූත තත්ත්වයන් සමබර වන ආකාරයට අදාළ පූජා ද්‍රව්‍ය ද යොදා ගනිමින් බෝධින් වහන්සේලා උදෙසා බාර කිරීමෙන් හෝ බාරවීමෙන් බොහෝ පිරිසකට යහපත් ප්‍රතිඵල ලැබූ බව ද වසර ගණනාවක අපගේ අත්දැකීමයි.

 (සම්‍යක් දෘෂ්ටික දේව මණ්ඩලයට සිදු කරන දේව ආරාධනාව මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න).

 ජ්‍යොතිෂවේදී, මනෝවිද්‍යා උපදේශක
 ශාස්ත්‍රපති, නුවන්තික බුලත්සිංහල
 දම්හිරු ජ්‍යොතිෂ උපදේශන සේවය
 දු.අංකය – 070 618 1000/ 0777 95 7700

advertistmentadvertistment
advertistmentadvertistment