බෝන් අගේන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට බලපෑමක්

1066

පාස්ටර් ජෙරම්ගේ සාක්ෂි පරස්පරයි
අයවැය වාර්තාවත් බොරුවක්ලු
ක්‍රීඩකයින් ඇතුළු 8 ක් බෝන් අගේන් අනුගාමිකයෝ
පංච පුද්ගල වාර්තාව කියයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට “බෝන් අගේන්” නමැති අන්‍යාගමික කල්ලියේ බලපෑම් එල්ල වූයේ දැනට වසර කිහිපයකට පමණ ඉහතදීය. ඒ පිළිබඳව විටින් විට සාක්ෂි සහිතව අපි ඉදිරිපත් කළෙමු. එලෙස සාක්ෂි සහිතව ඉදිරිපත් කළත් එම ආගමට සම්බන්ධ පිරිස් පුන පුනා පැවසුවේ “බෝන් අගේන්” හරහා ශ්‍රී ලංකා කිකට්වලට කිසිදු බලපෑමක් එල්ලවී නොමැති බවයි.

● බෝන් අගේන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ….

“බෝන් අගේන්” යනු ක්‍රිස්තියානි ආගමට අයත් නිකායකි. දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේද මෙම කල්ලිය සූක්ෂමව ක්‍රියාත්මක වේ. මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩි කර ගැනීමයි.

එකල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාලනය කළේ මෙම “බෝන් අගේන්” (Born Again) කල්ලියයි. එකල සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ආදී ඉහළම නිලධාරීන් සියලුම දෙනා මේ “බෝන් අගේන්” නිකායේ පිරිස් ය. එකල එම පිරිස ක්‍රිකට් ආධිපත්‍ය රැක ගැනීමට ඉතාමත් සැලසුම් සහගතව කල්ලි ගැසී කටයුතු කරමින් සිටියේය. 2007 වසරේදි සිය බිරිඳගේ බලපෑමට බුද්ධාගම අතහැර “බෝන් අගේන්” ආගම වැළඳගත් හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම කල්ලියේ ප්‍රධානම
පෙරගමන්කරුවෙක් වී සිටියේය.

● පාස්ටර් ජෙරම්…

එම කාල වකවානුව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කළ නිලධාරීන් බහුතරයක්ම මෙම කල්ලියේ ප්‍රධානම සාමාජිකයන්ය. මෙම කල්ලියේ න්‍යායාචාර්යවරයා “බෝන් අගේන්” (Born Again) පල්ලියේ පාදිලියෙකි. රාගම ක්‍රීඩා සමාජයට සම්බන්ධ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයෙක් වන ‘පාස්ටර් ජෙරම්’ ලෙස ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ඔහු (ජෙරම් ප්‍රනාන්දු) ක්‍රිකට් “බෝන් අගේන්” කල්ලියේ න්‍යායාචාර්යවරයාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වසා ගත් “බෝන් අගේන්” (Born Again) කල්ලිය ඉතා සූක්ෂමව ක්‍රිකට් ක්‍රීඩාව තුළ සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටියේය. එකල කොතරම් දක්ෂතා දැක්වූවත් සිංහල බෞද්ධ ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීය. එතරම්ම ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළ මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප්‍රබලය විය.

එකල ක්‍රීඩකයන්ට “බෝන් අගේන්” නිකායට එක්වන ලෙසට බලපෑම එල්ල වන්නේ ප්‍රධාන තේරීම් කමිටු සභාපති වරයාගෙනි. ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ සැණින් එම ක්‍රීඩකයා එළියේය. “බෝන් අගේන්” නිකායේ ක්‍රීඩකයන්ට දක්ෂතා නොදැක්වුවත් කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමිවීමේ රහස එයයි. පසුව මෙම “බෝන් අගේන්” ආගමික නිකායට සම්බන්ධ නිලධාරීන් රැසක්ම අයින් කළ පසු එහි බලපෑම ක්‍රම ක්‍රමයෙන් අඩු වන්නට පටන් ගත්තේය.

● “බොන් අගේන්” නැවතත් කරළියට පැමිණීම….

නැවත වරක් පසුගිය ආසියානු කුසලානය දිනා ගැනීමත් සමග ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළ ආගම්වාදය පතුරුවාලීමට “බෝන් අගෙන්” නමැති ආගමික නිකායේ ජෙරම් ප්‍රනාන්දු උත්සාහ කළේය. එහිදී ඔහු පවසා සිටියේ ආසියානු කුසලානය දිනා ගැනීම සඳහා තමන්ද දායක වූ බවයි. ඒ බව ඔහු පැවසුවේ භානුක රාජපක්ෂ සමඟ පැවති ආගමික සැසිවාරයකදීය. එයට අමතරව ඔහු පැවසුවේ භානුක රාජපක්ෂ ගේ ඇමරිකන් ගමන පවා නැවැත්තුවේ තමන් බවයි.

එතැනින් නොනැවතුණු ජෙරම් ප්‍රනාන්දු ඔස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලානය ගැන ද අනාවැකි පළ කරමින් යළිත් කරළියට පැමිණීමට උත්සාහ කළේය.

“මිරකල් ඩෝම්” නමැති ශාලාවකදී සිය බැතිමතුන් ඉදිරියේ පසුගිය වසරේ ඔක්තෝබර් 23 වන දා ඔහු කළ දේශනය ඇතුළත් වීඩියෝවක් ඔහුගේ ම නිල ෆේස්බුක් පිටුවෙන් ප්‍රචාරය කළේ කල්තියාම ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වන ආකාරය ගැන තමා අනාවැකි කී හැටි හුවා දක්වමිනි. තවද චාමික කරුණාරත්නව ද ඉතා සූක්ෂම ලෙස ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් අයින්කර දැමීමට මෙම ආගමික කල්ලිය සැලසුම් කළහ.

● ක්‍රිකට් පිළිබඳ සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක්….

මෙවැනි කරුණු කාරණා සැලකිල්ලට ගත් ක්‍රීඩා සහ යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ ඔස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට නැගුණු විවිධ චෝදනා සහ බෝන් අගේන් ආගමෙන් එල්ලවන බලපෑම් පිළිබඳව සොයා බැලීමට පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කළේය. එම පරීක්ෂණ මණ්ඩලයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මිය, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා, විශ්‍රාමක නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සහ විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩක නලින් ද අල්විස් මහතා ඇතුළත් විය. මීට අමතරව නීතිඥ ශලිනි රොෂානා ප්‍රනාන්දු මෙනවිය කමිටුවේ ලේකම්වරිය වශයෙන් කටයුතු කළේය.

ඒ අනුව එම පංච පුද්ගල කමිටුවට පැවරුණේ 2022 විස්සයි විස්ස ලෝක කුසලාන සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කිකට් කණ්ඩායම සම්බන්ධයෙන් මතු වූ විවිධාකාර චෝදනාවන් සම්බන්ධයෙන් සහ එවන් සිදුවීම් මින් අනාගතයේ දී නැවතත් ඇති නොවීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව මෙන්ම බෝන් අගේන් ආගමික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් ට වඩා වැඩි අනුග්‍රහයක් දක්වන බවට පළවූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකර නිර්දේශ ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් සැපයීමයි. එලෙසම මෙම කමිටුවට අවශ්‍ය පුද්ගලයන්ගෙන් සාක්ෂි විමසා තොරතුරු ලබා ගැනීමට සම්පූර්ණ බලය පවරන ලදී. ඒ අනුව විමර්ශන පවත්වාගෙන යෑම සඳහා ජාතික ක්‍රීඩා සභාවේ රැස්වීම් ශාලාව යොදා ගන්නා ලදී.

එහිදී එම කමිටුව විසින් විමර්ශන කටයුතු සඳහා ධනිෂ්ක ගුණතිලක විසින් ඔස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම, චාමික කරුණාරත්න විසින් ඔස්ට්‍රේලියාවේ නවාතැන් ගත් හෝටල් කාමරය තුළ පහනක් දැල්වීම සහ පුද්ගලයෙකු සමග ආරවුල් ඇතිකර ගැනීම සහ ලබා දුන් දඬුවම, ක්‍රීඩකයන් කැසිනෝ ශාලා වලට ගොස් තිබීම, “බෝන් අගේන්” ආගමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනිසි බලපෑම් සිදුවන බව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලධාරීන් විසින් ආයතනයේ අර මුදල් අවභාවිතා කර ඇති බව යන්න පිළිබඳව විශේෂයෙන් අවධාරණය කරන ලදී.

● ධනිෂ්ක ගුණතිලකගේ සිද්ධිය…

එම විමර්ශනවලට අනුව ධනිෂ්ක ගුණතිලක විසින් ඔස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවකට ලක් වීම මත එරට අධිකරණ නියෝගයක් මත එරට රඳවාගෙන ඇති බව අනාවරණය විය. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කරන මහින්ද හලංගොඩ මහතාගේ ප්‍රකාශයකට අනුව ක්‍රීඩකයන් රාත්‍රි 11. 45 නවාතැනට පැමිණිය යුතුව තිබුණද, තරග නිමවා ආපසු හෝටලයට පැමිණීම ප්‍රමාද වූ හෙයින් ප්‍රමාද වී පැමිණීම ට අවස්ථා දෙකක් ලබා දී ඇත. එහිදී මෙම කාලය රාත්‍රී 2 දක්වා දීර්ඝ කර ඇත. එම කාලය තුළදී ධනිෂ්ක ගුණතිලක තනියම ගොස් මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති බව දැනගන්නට ලැබී ඇත.

● චාමික කරුණාරත්නගේ සිද්ධිය…

චාමික කරුණාරත්න ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීම සඳහා නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරගයට පිටත්ව යෑමට සුළු මොහොතකට පෙර තරගයේ ජයග්‍රහණය පතා ඔස්ට්‍රේලියාවේ නවාතැන් ගත් හෝටල් කාමරය තුළ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චාමික කරුණාරත්න විසින් පහනක් දල්වා ඇත. ඔහු විසින් එසේ එම පහන දල්වා තිබුණේ, පෙරදිනයක දල්වා තිබූ පහනක් සහ වෙනත් ස්ථානවල විසිකර දැමූ දුම්වැටිවල කොටස් දුටු හෝටලයේ කළමනාකරු විසින් එම ක්‍රියාවන් අන්තරාදායක බවට ලිඛිතව කර තිබූ දැනුම්දීමකට අනුව, කිකට් කළමනාකරු විසින් පහන් නොදල්වන ලෙස අවවාද කිරීමක් සිදුකර තිබූ අවස්ථාවකදීය.

කෙසේ වුවද චාමික කරුණාරත්න ගේ හිතේ තිබූ තදබල විශ්වාසය සහ පහන නිවුවොත් තරගය පැරදෙයි කියා ඇති වූ බයට “do not disturb” යන පුවරුව දොරේ එල්ලා ඇත. පහන නිසා අනතුරක් වීම වළක්වා ගැනීම පිණිස තෙත තුවායක් මත එම පහන තබා තිබූ බවටද චාමික කරුණාරත්න විසින් පවසා ඇත. මෙම අවස්ථාවේදී කළමනාකරු විසින් කාමරය පරීක්ෂා කර, පහන දැල්වීමේ වරදට දඬුවමක් ලෙස ඔස්ට්‍රේලියානු ඩොලර් දහසක දඩයක් චාමික කරුණාරත්න ට ඔස්ට්‍රේලියාවේදීම ගෙවීමට නියම කර ඇත.

කෙසේ වුවද චාමික කරුණාරත්න ශ්‍රී ලංකාවට පැමිණි පසුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හෝටල් කාමරය තුළ අන්තරාදායක ලෙස පහනක් දල්වා තිබීමත්, කැසිනෝ ශාලාවකට ගොස් වෙනත් පුද්ගලයකු සමගින් සිදු කළ බහින් බස් වීම සම්බන්ධයෙනුත් පරීක්ෂණයක් පැවැත්විය. එම පරීක්ෂණයට අනුව ඔහු වරදකරු කරමින් වසරක අත්හිටුවූ තරග තහනමක් සහ ඇමරිකානු ඩොලර් 5000 දඩ මුදලක් ගෙවීමට නියම කර ඇත.

එහිදී තවත් විමතියට දනවන කරුණ වන්නේ චාමික කරුණාරත්න කැසිනෝ ශාලාවක් තුළ දී පුද්ගලයෙකු සමඟ බහින්බස් වීමක් ඇති කර ගත්තේ එම ස්ථානයේදී එම පුද්ගලයා ලබාගත් ඡායාරූපය එම මොහොතේ දී කැසිනෝ ශාලාවේ සිටි අනෙක් ක්‍රීඩකයන් පිළිබඳ විමසීමක් සිදු කළ බව හෝ ඊට අදාළව යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබූ බවට කිසිදු කරුණක් අනාවරණය නොවීය.

● බොන් අගේන් ආගමෙන් ක්‍රිකට් වලට වන බලපෑම…

“බොන් අගේන්” අනුගාමිකයන් ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුල්වි හානි සිදුවන බවටද, ෆාස්ටර් කෙනෙක් විසින් ක්‍රීඩකයෙක් තුවාල වී ක්‍රීඩා පිටියෙන් ඉවතට යන බවට පවසා තිබියදී, බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයා ඒ ආකාරයෙන්ම කකුල අල්ලා ක්‍රීඩා පිටියෙන් ඉවත් වී තිබූ බවද, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඇතුල් වීමට ඇති පහසුම ක්‍රමය මෙම ආගම වැළඳ ගැනීම බවට මතයක් පවතින බවටද නිහඬව හිටියොත් තවත් පුළුල් විය හැකි බවටද අර්ජුන රණතුංග මහතා පවසා ඇත.

පෙඩ්රික් කිස්ටෝපර් ජෙරම් ප්‍රනාන්දු නමැති “බෝන් අගේන්” ආගමික නායකවරයා විසින් මෙම මණ්ඩලය ඉදිරියේ ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු දිවැසිවරයෙකු වන බවත්, “ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ” විසින් ලබාදුන් ආත්මයක් උපයෝගි කරගෙන දුකට සහ ආබාධයන්ට පත්වූ බොහෝ පිරිසකට කායික සහ මානසික සුවය ලබා දෙමින් කටයුතු කරන බවටත්, එනමුදු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන්ගෙන් යමෙකු අනුගාමිකයන් වශයෙන් ඔහුට මුහුණට මුහුණ හමු වී නැති බවත් , ශ්‍රී ලංකා කිකට් ආයතනයත් සමග හෝ කිකට් ආයතනයේ නිලධාරීන් සමග කිසිම සම්බන්ධතාවක් නොමැති මුත් දේව යාඥා වලට ඔවුන් පැමිණි සිටියාද කියා නොදන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සම්බන්ධ කිසිවෙකු සත්‍ය වශයෙන්ම ඔහුගේ පිහිට පතා පැමිණ නොමැති බවටත් පවසා ඇත.

එහෙත් තවත් වරෙක, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව තම දේවස්ථානයේ සාමාජිකත්වය ගත් අනුගාමිකයන් හත් දෙනෙක් පමණ සිටින බවටත්, රුවන් කල්පගේ, භානුක රාජපක්ෂ, ජෙෆ්රි වැන්ඩසේ, ලින්ඩන් හැනිබල්, රොෂාන් අබේසිංහ වගේ අය එහි සාමාජිකයන් වන බවටත් කුමාර් සංගක්කාර මුලින් සිටියද දැන් නොමැති බවටත් පැහැදිලිවම පවසා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සම්බන්ධ අයවලුන් ඔහුගේ පිහිට පතා පැමිණ නොමැති බවට කරනු ලබන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධීය. මේ අනුව ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ “බෝන් අගේන්” අනුගාමිකයන් සම්බන්ධව මෙම සාක්ෂිකරු සත්‍ය කරුණු වසන් කරමින් සාක්ෂි ලබා දෙන බවට පැහැදිලිවම අනාවරණය වන හෙයින් මෙම ආගමික නායකවරයා ක්‍රියාකරන්නේ තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ අනුගාමිකයින්ම තම වසඟයේ තබා ගනිමින් ආරක්ෂා කර ගැනීම සඳහා බව සාධාරණව සිතන යමෙකුට නිගමනය කළ හැක.

තවද ශ්‍රී ලංකා ජාතික කිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තුවාල සිදුවන බවට අනාවැකි පළ කර ඇති බවත්, එසේ අනාවැකි පළ කිරීමට ශක්තිය ලැබුණේ දිවැසිවරයෙක් හැටියට ඔහුට දේව හඬ ඇසෙන නිසා බවටත් පවසා සිටියද, “ ඔබතුමාට තිබෙන ආත්මික බලයත් සමග මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිනවිමට හැකියාවක් පවතිනවා ද” යනුවෙන් කමිටුව විමසූ ප්‍රශ්නයට “මම දිවැසි වාක්‍යයක් කියනකොට එහි මූලාශ්‍රය මම නොවන නිසාත්, මට හම්බවෙන්නේත් පණිවුඩයක් නිසාත් මට ලැබෙන දේව අණ අනුව පමණක් මම ක්‍රියාත්මක වන නිසා මට ස්වාධීනව ක්‍රියා කළ නොහැකියි” යනුවෙන් පමණක් නොව, දෙවියන් වහන්සේ විසින් පණිවුඩයක් ලබාදුනහොත් පමණක් පුද්ගලයකුට උදව්වක් කරන්න හැකි බවත්, ඒ අනුව දෙවියන් වහන්සේ විසින් යමෙකුට උදව්වක් කරන ලෙසට පණිවුඩයක් නොදුන්නොත් ඒ පුද්ගලයාට උදව්වක් කිරීමට හැකියාවක් නොමැති බවටත් එබඳු අවස්ථාවක යමෙකුට පිහිටවන්නේ ඔහු වටා සිටින පිරිසගෙන් උදව් ලබා ගනිමින් යැයි බවටත් පැහැදිලිවම පවසා ඇත.

ෆාස්ටර් ජෙරම්ගේ ඒ ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ “බෝන් අගේන්” සාමාජිකයෙකු හෝ අනුගාමිකයෙකු වීම/ ඇදහීම තුළින් යම් තැනැත්තෙකුට නියත වශයෙන්ම කායික සහ මානසික සුවය අත්පත් කරගත නොහැකි බවයි.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා විසින් ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වූ දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් දෙදෙනාට අවුරුදු දෙකක කාලයක් තිස්සේ බරපතළ ආබාධ තිබී ඇති මුත් ශාරීරික යෝග්‍යතා කළමනාකරණය කරමින් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි කළ බවට පවසා ඇත. ඒ අනුව බිනර ප්‍රනාන්දු යන ක්‍රීඩකයා ක්‍රීඩා පිටියේදී තුවාල වන බවට කරනු ලබන අනාවැකිය පුදුමයට කරුණක් නොවේ.

“බෝන් අගේන්” ආගමේ ෆාස්ටර් ටෙරී, “චාමික කරුණාරත්න” ක්‍රීඩකයාව මුණ ගැසී ආගමේ වැදගත්කම පවසා තිබූ බවට අනාවරණය විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ලබාදුන් ප්‍රකාශයෙන් “බෝන් අගේන්” ආගමට සම්බන්ධ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සිටින බව පිළිගනී. තවද “ෆාස්ටර් ජෙරම්” විසින් ආසියානු කුසලානය දිනන බවට සහ ඊට විශේෂ දායකත්වයක් භානුකගෙන් ලැබෙන බවටත්, ක්‍රීඩකයන් ක්‍රීඩා කරන අවස්ථාවේදී ඇතිවන ආබාධ පිළිබඳව පුරෝකථනයක් කර ඇති බවටත්, වන කරුණු මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත බවටත් කරුණු අනාවරණය විය.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ ධනිෂ්ක ගුණතිලක “බෝන් අගේන්” ආගමේ එක ක්‍රීඩකයෙක් සම්බන්ධවත් ඔහුට දැනීමක් නොමැති බවට පවසද්දී, භානුක රාජපක්ෂ නමැති ක්‍රීඩකයා විසින් නොබියවම උපතින්ම බුද්ධාගම වැළඳ ගෙන සිටියද 2015 අවසාන භාගයේ සිට තමන් බෝන් අගේන් ආගමේ අනුගාමිකයෙක් බවට පවසා ඇත.

මේ හැරෙන්නට ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ, සදීර සමරවික්‍රම, ක්‍රිකට් පුහුණුකරු රුවන් කල්පගේ, ක්‍රිකට් විනිසුරු ලැන්ඩන් හැනිබල් සහ ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහද “බෝන් අගේන්” ආගම වැළඳගත් අයවලුන් වන බවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් වූ ඈෂ්ලි ද සිල්වා, ජෙරම් ජයරත්න “බෝන් අගේන්” අනුගාමිකයන් බවට ප්‍රසිද්ධ කරුණක් වන බවට ද, ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට යම් ආකාරයක බලපෑමක් සිදු වූවා ද යන්න නොදන්නා මුත්, ප්‍රශ්න තියෙන අය සොයා බලා උපකාර කිරීමේ මුවාවෙන් ඒ අයව අනුගාමිකයන් බවට පත්කර ගැනීමට උත්සාහ දරන බවට ද සාක්ෂි ඉදිරිපත් වී ඇත.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළ සිටින “බෝන් එගේන්” සාමාජිකයන් සහ/හෝ අනුගාමිකයින් සම්බන්ධව සාක්ෂිකරුවන්, සත්‍ය සාක්ෂි ලබාදීම සහ/හෝ නිවැරදි කරුණු අනාවරණය කිරීම සිදු නොකළ බවත්, විශේෂයෙන්ම තම අනාගතයට යම් බලපෑමක් වෙතැයි යන බිය මත, මීට අදාළව ඇතැම් ක්‍රීඩකයන් සාක්ෂි දීමෙන් වැළකී සිටි බවත්, එබැවින් “බෝන් අගේන්” ආගම හේතුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යම් බලපෑමක් සිදුවී ඇත්ද යන්න නිශ්චිතවම නිගමනය කළ නොහැකි වුවද, ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවටත්, එසේ සිදු නොකළහොත් ඉදිරියේදී බලපෑම් සිදු වීමට ඉඩ ඇති බවටත් නිරීක්ෂණයය කරන ලදී.

● ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතය…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් විස්සයි විස්ස ලෝක කුසලාන කිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරය කරන එම ආයතනයේ නිලධාරීන් 16 දෙනාගේ වියදම් අවම මට්ටමකින් පවත්වන ලෙසට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් වරයාට දැනුම් දී තිබූ අවස්ථාවක දී ගුවන් ගමන් ටිකට් පත්‍ර මිලදී ගැනීම සඳහා රුපියල් 25,687,498/- ක් ද (ජෙරම් ජයරත්න ගේ වියදම හැර) අනෙකුත් වියදම් සඳහා ඇමෙරිකානු ඩොලර් 107 800ක් ද, වැය කර තිබූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති විසින් මෙම මණ්ඩලයට ලබාදුන් කරුණු අනුව අනාවරණය වී ඇත.

එමෙන්ම එලෙස ලබා දුන් තොරතුරු අසත්‍ය බවටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් ආයතනයේ අරමුදල් අවභාවිත කර ඇති අන්දම මෙම මණ්ඩලයට වසන් කිරීම පිණිස සකසන ලද ලේඛනයක් පමණක් වන බවට පෙනී යන බවත් එම කමිටුවේ සාමාජිකයන් සඳහන් කළේය.

ජෙරොම් ජයරත්න ගියේ ඔස්ට්‍රේලියාවේ උසස් කාර්ය සාධන මධ්‍යස්ථානය ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම සහ තරග නැරඹීම සඳහා යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසා තිබුණද ජෙරොම් ජයරත්න ශ්‍රී ලංකා කිකට් ආයතනයේ එම තනතුරු නොදැරූ බවට පමණක් නොව, ඔහු කිසිදු හෝ කාර්යයකට සම්බන්ධ නොවී ඔහුගේ සොහොයුරියගේ නිවසේ රැඳී සිට ඇති බවටත්, තවත් නිලධාරීන් කිහිප දෙනකු යම් යම් තරග නැරඹුවා යැයි පැවසුව ද, එසේ පවසා ඇති දිනවල එම තරග නැරඹීමේ හැකියාව තිබී නොමැති බවටද අනාවරණය වී තිබේ.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ පසුගිය වසරේ අයවැය ලේඛනය මෙම කමිටුව සඳහා ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත. මේ අනුව බලන කල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මුදල් අවභාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය විය.

අවසානයේ දී එම කමිටුව තීරණය කළේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සංචාරයේ ආදායම් සහ වියදම් පිළිබඳ වහාම ස්වාධීන විගණනයක් සිදු කරන ලෙසයි. එසේ විගණනය සිදු කිරීමට පෙර අදාළ ලේඛන වෙනස් කිරීමට හෝ සැඟවීම වළක්වාලීමට පියවර ගන්නා ලෙසටද අදාළ බලගතු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මෙම කමිටු වාර්තාව අනුව පැහැදිලිව පෙනී යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් “බෝන් අගේන්” ආගමෙන් පමණක් නොව තවත් පැතිකඩවල් කිහිපයකින්ද බේරා ගත යුතු බවයි. වගකිව යුතු නිලධාරිනි, වහාම ඒ පිළිබඳව සොයා බලා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනු. එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් වළ පල්ලට යෑම කිසිවෙකුටත් නවතාලිය නොහැක.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment