බෝවන රෝගවලින් ආරක්‍ෂාවට ‘සිස්ටම් චේන්ජ් එකක්’

121

මේ වනවිට ඉතා වේගයෙන් පැතිර යන බෝවන රෝගයක් දකින්නට ලැබේ. ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන මෙම රෝගය වැළඳුන විට ඇඟපතේ දැඩි වේදනාවක් මතු වේ. එය දින කිහිපයක් පමණ පවතී.

 ඇතැම් දෙනා මෙම බෝවන රෝගය හමුවේ එය ඩෙංගු යැයි කියා සැක කරති. ඩෙංගු රෝගයේදී දැකිය හැකි ප්‍රධානම රෝග ලක්‍ෂණය අධික උණ ඇතිවීමය. නමුත් මෙම රෝගයේදී එලෙස අධික උණක් ඇති නොවේ.

 අතීතයේද මෙවැනි බෝවන රෝග මතුවූ විට මහා සෘෂි නාඩි වෛද්‍යවරු එය ජනතාව අතර පැතිරයෑම පාලනය සඳහා සිදු කළේ සිරුරට ශක්ති ජනක ආහාර පාන ලබාදීම සහ සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට අවශ්‍ය ඖෂධ ලබාදීමය.

 එහිදී දිනපතා කොත්තමල්ලි සහ වෙනිවැල්ගැට තම්බා සාදාගත් පානයක් උදේ සවස ගැනීමට ජනතාව උනන්දු කළහ. මෙම ඖෂධ දෙකෙහි වෛරස සහ බැක්ටීරියා නසන ගුණය ඇත. එනිසා කොත්තමල්ලි සහ වෙනිවැල්ගැට පානයක් ගත්විට අපට ඇතිවන වෛරස සහ බැක්ටීරියා ආසාදන වළක්වා ගත හැකිය.

 එසේම ආහාර ලෙස නෙලුම් අල, කොහිළ දළු, කොස් දලු, කතුරුමුරුංගා කොළ, තෝර කොළ, මුරුංගා දලු ආදිය ව්‍යාංජන ලෙස සකස් කර ආහාරයට ගැනීමට දිනපතා උපදෙස් දුන්නේය.

 මේ දිනවල රට තුළ පවතින ඉන්ධන, පෝලිම් හමුවේ පැය ගණනක් පිරිස එක්රැස්වන තැන්වල සිටීමට සිදුව ඇති නිසා මෙම බෝවන රෝගය ඉතා වේගයෙන් සමාජය තුළ පැතිර යා හැකිය. එබැවින් මෙවැනි පෝලිම් වෙත යන අය කොත්තමල්ලි සහ වෙනිවැල්ගැට තම්බා එම වතුර ලීටරයක් පමණ රැගෙන ගොස් තිබහ ඇතිවන විට ජලය වෙනුවට පානය කරනවා නම් මෙම රෝගයෙන් ආරක්‍ෂා වීමට මෙන්ම විජලනය නිසා ඇතිවන ක්ලාන්තය, විඩාව, මුත්‍රා ආසාදන ආදියෙන් වැළකී සිටිය හැකිය.

 පැය ගණනක් ජලය නොමැතිව තිබහෙන් සිටින විට සිරුරේ ඉන්ද්‍රයයන් රැසකට හානි සිදු වේ. විශේෂයෙන්ම වකුගඩුවලට හානි කරයි. මුත්‍රා ආසාදන ඇති වේ.

 මලබද්දය, අධිරුධිර පීඩනය ආදිය ඇති වේ. එසේම පවතින ආර්ථික ගැටලු සහ ඉන්ධන හිඟය, ගෑස් හිඟය ආහාර හිඟය හමුවේ පීඩාවට පත්ව සිටීම නිසා මානසික පීඩාවද ඉහළ ගොස් තිබේ. එයද සිරුර ඉතා ඉක්මනින් විඩාවට පත්කිරීමට හේතු වේ. එනිසා අප සමාජයේ ආකල්ප වෙනසක් කිරීම හෙවත් ‘සිස්ටම් චේන්ජ්’ කිරීමට සැරසෙනවානම් එය දේශපාලනමය වශයෙන් පමණක් නොව සෞඛ්‍යමය වශයෙන්ද සිදුකළ යුතුය.

 බොහෝ දෙනා රට තුළ පවතින පෝලිම්වලට යන්නේ පැණිබීම බෝතල් රැගෙන, රසකාරක යෙදූ කෙටි ආහාර වර්ග රැගෙනය. අප දැන් එයද වෙනස් කළ යුතුය. එහි යනවිට කොත්තමල්ලි, වෙනිවැල්ගැට පානයක් සහ මඤ්ඤොක්කා අල, බතල ආදී පිටි වලින් සකස් කරගත් රොටියක් හෝ එම අල වර්ග තම්බා ආහාරයක් ලෙස රැගෙන යා හැකිය. එහිදී අබ, ගම්මිරිස්, කරපිංචා, උලුහාල්, කහ ආදී කුළුබඩු යොදා එම ආහාරය රසවත් කර ගැනීමට කටයුතු කරන්නේ නම් ඒවා මගින් සිරුරට තවත් ශක්තිය ලබාගැනීමට හැකියාව ලැබෙන සේම සිරුරේ ප්‍රතිශක්තියද වර්ධනය වේ. මහා සෘෂි නාඩි වෛද්‍යවරු දිගුකලක් නීරෝගීව සිටියේද අතීතයේ ජනතාව යෝධ බල ශක්තියෙන් යුතුව නීරෝගීව දිවි ගෙව්වේද දූ දරුවන් හයහතක් හදා ගැනීමට ප්‍රජනන ශක්තිය වැඩිකරගත්තේද මෙවැනි ආහාර වර්ග ගැනීමෙනි.

බෝවන රෝගවලින් ආරක්‍ෂාවට 'සිස්ටම් චේන්ජ් එකක්'

සෘෂිනාඩි වෛද්‍ය මහාචාර්ය පිළිකා, ආතරයිටීස්,  සෙම් රෝග විශේෂ වෛද්‍ය ජිනසිරි ලියන්වෙල

advertistmentadvertistment
advertistmentadvertistment