බෞද්ධ විශ්වාසයේ ජනප්‍රිය ඉගැන්වීම් අධ්‍යයනය කිරීම

331

“මහණෙනි, මේ මාහැඟි වස්ත්‍ර යුගළයෙකින් බුදුරදුන් පිදූ මේ භික්ෂුව දෙස බලව්. මේ තෙමේ මතු මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රෙය නම් සම්‍යක් සම්බුද්ධ වන්නේ ය. එකල බරණැස් නුවර කේතුමතී නම් රාජධානියක් වෙයි.
එහි සංඛ නම් සක්විති රජෙක් වෙයි. ඔහුගේ පුරෝහිත බ්‍රහ්ම නම් බමුනා මෛත්‍රෙය බුදුන්ගේ පියා වෙයි. ඒ පෙරෙවි බමුණුහු ගේ භාර්යාව වූ බ්‍රහ්මවතී නම් බැමිණිය මවු වෙයි.

වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුන් පොහොය යි. එය ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රේෂ්ඨ දිනයකි. මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව් බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනයකර්මය කළ හැකි අවසාන දිනය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම යනාදී කරුණු රැසක්ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක් පොහොය දිනය සලකනු ලැබේ. බුදුන් වහන්සේ මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වෙත විවරණ දුන්නේ මෙසේය. “මහණෙනි, මේ මාහැඟි වස්ත්‍ර යුගළයෙකින් බුදුරදුන් පිදූ මේ භික්ෂුව දෙස බලව්. මේ තෙමේ මතු මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රෙය නම් සම්‍යක් සම්බුද්ධ වන්නේ ය. එකල බරණැස් නුවර කේතුමතී නම් රාජධානියක් වෙයි. එහි සංඛ නම් සක්විති රජෙක් වෙයි. ඔහුගේ පුරෝහිත බ්‍රහ්ම නම් බමුනා මෛත්‍රෙය බුදුන්ගේ පියා වෙයි. ඒ පෙරෙවි බමුණුහු ගේ භාර්යාව වූ බ්‍රහ්මවතී නම් බැමිණිය මවු වෙයි. නා රුකෙක් ඒ මෛත්‍රෙය බුදුහු ගේ “බෝරදුන් වෙයි” බුද්ධාංකුරයාණන් වහන්සේ මේ විවරණ දොහොත් මුදුන් මහත් බැතියෙන් අසා සිටි බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. සම්බුද්ධ ශාසනය තුළ පස් නමකගෙන් ඇරැඹි භික්ෂු සමාජය පසුව පැවිද්ද ලබා ගත් යසකුල පුත්‍රයා ප්‍රමුඛ යහළුවන් පනස් හතර දෙනා ද එකතුව රහතන් වහන්සේලා සැට නමක් බවට පත්වුණි. බරණැස ඉසිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිමවීමෙන් පසුව ඉල් පොහොය දිනෙක එකී රහතන් වහන්සේලා සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළ හ. මහණෙනි, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස, දියුණුව පිණිස චාරිකාවෙහි හැසිරෙන්න. දෙදෙනකු එක මඟ නො යන්න. මෙම දහම මුල, මැද, අග යහපත් වූවකි. අර්ථ සහිත වූ, හාත්පසින් සම්පූර්ණ වූ, පිරිසිදු වූ, සසුන් බඹසර ලොවට ප්‍රකාශ කරන්න. මෙසේ ප්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත චාරිකාවෙහි පිටත් කොට බුදුරජාණන් වහන්සේ උරුවේලාවට වැඩම කළහ. තමාගේ ආයුසංස්කාරය තවත් සතියකින් අවසන් බැව් දැන අන්‍ය ආගම් ලබ්ධිකයෙක් වූ තම මෑණියන් වහන්සේ මාර්ගඵලාවබෝධයට පත්කරනු පිණිස, තමන්ගේ මව්තුමිය හමුවන්න යෑමට පෙර තථාගත බුදුරජාණන් වහන්සේ හමුවීමට සැරියුත් හිමියෝ වැඩියහ. “ස්වාමීනි මගේ සම්බුදු පියාණෙනි, මාගේ පරිනිර්වාණ කාලය ළඟාවී ඇත. මා විසින් ආයු සංස්කාරය අවසන් කොට තිබේ.

බෞද්ධ විශ්වාසයේ ජනප්‍රිය ඉගැන්වීම් අධ්‍යයනය කිරීම

“මෙසේ පවසා, මගධ ජනපදයේ නාලක ගම තමන් උපත ලද නිවසට ගොස්, සැරියුත් හිමියෝ සිය මෑණියන් වහන්සේ වන රූපසාරි බැමිනියට දහම් දෙසූ සේක. ඉන් අනතුරුව, රූපසාරි බැමිනිය සෝවාන් මාර්ගඵලය ලබාගත්තාය. ඇත්තෙන්ම මෙරට බෞද්ධ ශාසන ඉතිහාසයේ ඉල් පොහොය ආශ්‍රිත සිදුවුණු වැදගත් සිදුවීමක් ලෙස බුදුන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ මිහින්තලාවේ සිට අනුරපුරයට වැඩමවා ශ්‍රී ලංකාවේ මුල්ම චෛත්‍යය වන ථූපාරාම චෛත්‍යයේ නිධන් කරන ලද්දේ ද අද වැනි පොහොය දිනයේ දීය.

දිනයෙන් පිරිසිදුවන සිල් බුද්ධාගමේ නැත. දිනයෙන් උසස් වන පින්කම් බුද්ධාගමයෙහි නැත. එහෙයින් පොහොය නො වන දිනයන්හි ද පන්සල් යෑමට, බණ ඇසීමට, සිල් සමාදන් වීමට කිසිදු බාධාවක් නැත. එහෙත් භික්ෂූන් ගේ පාමොක් උදෙසීම නම් තුදුස්වක් පසළොස්වක් දිනයන්හි හැර අන් දිනයන් හි නො කළ හැකි මැ යි. ඒ අතර ම පොහෝ දිනයන් හි ආගමික කටයුතු සම්මතය පිළිබඳව ද නුවණින් සිතා බැලිය යුතු ය. පොහොය ආගමික දින වශයෙන් කොතරම් දුරට තහවුරු වූවා දැයි කිවහොත් ශක්‍ර දෙවියන් පවා මනුෂ්‍යයන් පින් කරන හැටි බලන්නට පොහෙය දිනයන් හි මිනිස් ලොවට පැමිණෙන සැටි බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබේ.

ලංකාවේ අවුරුදු දෙදහසකට අධික කාලයක් තිබුණු පොහොය නිවාඩුව නැති කළේ 1770 වැන්නෙහි පෝක් නම් වූ ඕලන්ද ආණ්ඩුකාරයා විසිනි. මෙසේ පොහොය නිවාඩුව වෙනස් කොට ඉරිදා නිවාඩුව ඇති කෙළේ වී නමුත් බොහෝ කාලයක් බෞද්ධයන් තුළ මුල් බැස ගෙනැ තිබුණු නිවාඩුව ජනතාවගේ සිත්වලින් අස් කරන්නට ඉතා අපහසු විය. එහෙත් 1817 වැන්නෙහි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් නව පනතක් ඇති කොට දඬුවම් ද නියම කොට පොහොය නිවාඩු වෙනස් කරන ලද බව අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන් වහන්සේ විසින් සටහන් කර ඇත්තේ පොහොය වර්ණනාව පොතට ප්‍රස්තාවනාවක් ලියමිනි. කවර බාධාවක් ඇති වුවද බෞද්ධයෝ පන්සල අත්හරින්නේ නැත. වර්තමානයේද භික්ෂුන් නිග්‍රහයට ලක්කිරීමේ කූට උපක්‍රම සිදුවෙමින් පවතී. එසේම සමහර චීවරධාරීන් සිදුකරන ක්‍රියා නිසාද බෞද්ධයෝ විපිළිසර වෙති. එය නොකියාම බැරිය. බුද්ධ ශාසනය වසර 5000 ක් කල් නොනැසී පවත්නා බවට අදහසක් සමාජගතව තිබේ. කෙබඳු මූලාශ්‍රයක් පදනම් කරගෙන එබඳු මතයක් නිර්මාණය වී ඇතිදැයි පැහැදිලි නැතත්, ත්‍රිපිටකයේ කොතැනකවත් එවැන්නක් සඳහන් වන්නේ නැත. භික්ෂුවක විසින් පිරිය යුතු වත් රාශියක් ධර්මයෙහි සඳහන් වෙයි. ආචරිය – උපජ්ඣාය වත, විහාර වත, ආගන්තුක වත, සද්ධි විහාරික වත, පොහොය කිරීම, කඨිනය, ධර්ම දේශනා, පිරිත් දේශනා, වෙනත් ආගමික කර්තව්‍යයන් ආදියෙහි දී අනුගමනය කළයුතු වත්, ආදී වශයෙන් ඒවා විවිධ වන්නේ ය. ඒ සියලුම වත් භික්ෂුවකගේ චරිත පාරිශුද්ධියට ඉවහල් වේ. “න මුණ්ඩකේන සමණෝ” යන්නෙන් පැහැදිලි කෙරෙන ආකාරයට යමෙක් හිස මුඩු කළ පමණින් හෝ කසාවතක් දැරූ පමණින් හෝ භික්ෂුවක් වන්නේ නැත. එබඳු තැනැත්තා චීවරධාරියකු පමණි. බුදු දහම අපේක්ෂා කරන්නේ චීවරධාරීන් තැනීම නොව භික්ෂූන් තැනීම ය. එය වර්තමානයට වඩා වැදගත්ය. හික්මවන ලද සිත – කය – වචනය යන තුන් දොර ඇත්තාවූ ද බැහැර කරන ලද කම්සුව ඇත්තාවූ ද තැනැත්තා භික්ෂුව නම් වන්නේය යනුවෙන් ධර්මයේ සඳහන් වේ. අතීතයේ විසූ ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා ජීවිතය පරදුවට තබා ඉතා සුළු විනය ශික්ෂාපද පවා ආරක්ෂා කළහ. සුපේශල ශික්ෂාකාමී එක් භික්ෂුවක් සැඩ පහරකට හසුවී ගසාගෙන යන්නට විය. එබඳු අවස්ථාවක දී ඕනෑම අයකු කරන්නේ අතට හසුවන ඕනෑම දෙයක් තරයේ අල්ලා ගැනීම ය. අර භික්ෂුව අල්ලා ගත්තේ ගං ඉවුරෙහි වූ තණ පඳුරකි. පස බුරුල් වී තිබීම නිසා තණ පඳුර ගැලවී එන බව දුටු උන්වහන්සේ වහාම තණ පඳුර අත් හැරියේ ය. මක්නිසාද යත් උපසම්පන්න භික්ෂුවක් පණ ඇති තණ පඳුරක් ගැලවීමෙන් පාචිත්තිය ඇවතකට පත්වන බැවිනි. විනයානුකූලව එය ඉතා ම සුළු වරදක් වුණත්, තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට හෝ එබඳු වරදක් කිරීමට පවා උන්වහන්සේ අකැමැති වූහ. ඒ එදා ය. ශාසන ඉතිහාසය පරීක්ෂා කිරීමේ දී එබඳු සිදුවීම් ඕනෑ තරම් හමුවෙයි. වර්තමානයේ එසේ කරන්නට අපහසු වුවත් භික්ෂුව සැබවින්ම ක්‍රියා කළ යුත්තේ සමාජයට ආදර්ශයක් ලබාගත හැකි ආකරයෙන් නොවන්නේද?

ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ සහය මාහාචාර්ය ජෙසී බාර්කර් මහතා විසින් මෑතදී ලියන ලද ලිපියක් පිළිබඳ මගේ අවධානය යොමු විය. එය බුද්ධාගම ගැන රචනා වූවකි. එයත් මේ පොහොය ලිපියට ඇතුළත් කිරීම වැදගත් බව මගේ අදහසයි. Has the modern world discovered the ancient truths of Buddhism or simply invented a new version? මැයෙන් වූ එම ලිපියේ සඳහන් වන්නේ බොහෝ මිනිසුන් සඳහා, බුදුදහම නවීන ජීවන රටාවන් සහ ලෝක දෘෂ්ටිය සමඟ අද්විතීය ලෙස අනුකූල වන බව පෙනේ. එය දැඩි අදේවවාදීන්ට – කිසිම දෙවි කෙනකුගේ පැවැත්ම විශ්වාස නොකරන අයට – අද්භූත ජීවීන් කෙරෙහි විශ්වාසයක් අවශ්‍ය නොවන ආගමික අත්දැකීමක් ලබා දෙයි. අනෙක් අතට, එය නව යුගයේ අධ්‍යාත්මිකවාදීන්ට එදිනෙදා නිරීක්ෂණ සහ විද්‍යාත්මක දැනුමේ සීමාවෙන් ඔබ්බට ගැඹුරු යථාර්ථයකට සම්බන්ධයක් සපයන බව ජෙසී බාර්කර් සටහන් කර ඇත. මීට වසර කිහිපයකට පෙර, මම භාවනා කිරීමට සහ බෞද්ධ විශ්වාසයේ ජනප්‍රිය ඉගැන්වීම් අධ්‍යයනය කිරීමට පටන් ගත් විට, වසර 2,500 ක් පැරණි ආගමක් මෙතරම් අද්විතීය ලෙස නවීන වන්නේ කෙසේදැයි මම කල්පනා කළෙමි. හැකි පිළිතුරු දෙකක් ඇති බව පෙනෙන්නට තිබුණි. එකක් නම් බුදුන් වහන්සේ භාවනාව තුළින් සදාකාලික සත්‍යයන් සොයාගත් බව වර්තමාන දර්ශනයෙන් සහ විද්‍යාවෙන් දැන් තහවුරු වී ඇත. එය කදිම පිළිතුරක් විය, මක්නිසාද යත්, බුදුන් සෑම දෙයක් ගැනම නිවැරදි විය හැකි බවත්, එබැවින් එතුමාගේ මාර්ගය අනුගමනය කිරීමෙන් අපට නිර්වාණය (දුක් නැතිකම) සාක්ෂාත් කරගත හැකි බවත් එයින් අදහස් වූ බැවිනි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment