භාණ්ඩ ගණනාවක ආනයන සීමා ලිහිල් වෙයි

728

වාහන බැටරි, පෙට්‍රල් සහ ඩීසල් එන්ජිනුත් ඒ අතරට

පසුගිය මාසයේ ආනයනය සීමා කළ භාණ්ඩ වර්ගවලින් භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කර ඇත.

මේ අනුව නව ගැසට් නිවේදනයක් මගින් එම ආනයනය තහනම් කළ භාණ්ඩ ලැයිස්තුවෙන් භාණ්ඩ ගණනාවක් ඉවත් කර තිබේ.

මෙම භාණ්ඩ අතරට සුවඳ විලවුන්, කාන්තා පිරිමි සහ ළමා ඇඳුම්, සපත්තු, ඔරලෝසු, පිහි, රේසර් සහ රැවුල බෑමේ උපකරණ, තුනී ලෑලි, බැටරි, වාහන බැටරි, ඇඳ ඇතිරිලි, පෙට්‍රල් සහ ඩීසල් එන්ජින්, පරිගණක සහ අස්වනු නෙළීමේ උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග 40ක් පමණ ඇතුළත් වනු ඇත.

මේ නව රෙගුලාසි අනුව අවම වශයෙන් 20% ක දේශීය අගය එකතු කිරීමකින් දේශීයව නිෂ්පාදනය කරන, ඕනෑම නිෂ්පාදනයක් සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් ලෙස දේශීයව ලබාගත නොහැකි අමුද්‍රව්‍ය හෝ අතරමැදි භාණ්ඩ එවැනි ආනයනය කිරීමට කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයාගේ නිර්දේශය මත ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් අවසර ලබාදිය හැකිය.

මේ නව ගැසට් නිවේදනය ඉකුත් සැප්තැම්බර් 09 දින නිකුත් කර තිබේ.

එසේම මෙයට අනුව ආනයනය තහනම් කළ එහෙත් අගෝස්තු 23 දිනට පෙර නැව්ගත කළ භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීමට දී තිබූ කාලය සැප්තැම්බර් 30 දින දක්වා තවදුරටත් දීර්ඝ කර තිබේ. එසේම අගෝස්තු 23 දිනට පෙර ණයවර ලිපියක් මත ආනයනය කළ භාණ්ඩවලට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු රේගුවෙන් නිදහස් කර ගැනීම කරගත හැකි බව ද එම ගැසට් නිවේදනයේ සඳහන්ව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment