භාණ්ඩ 367ක ආනයන සීමා නිසා ඇපල් වෙළෙන්දාගේත් රැකියා අර්බුදයක  

176

ඩොලර් අර්බුදය හමුවේ මුදල් ඇමැතිවරයා භාණ්ඩ වර්ග 367කට ආනයන සීමා පැනවීම නිසා ඇපල්, දොඩම්, මිදි විකුණනන වෙළෙන්දන් පමණක් නොව වෙළෙඳපොළේ පනා, රේසර් විකුණපු කඩ හිමියාගේ පවා රැකියා අර්බුදයකට ලක් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රුවන් විජයවර්ධන මහතා එසේ පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (09 දා) පැවැති පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ඩොලර් අර්බුදය හමුවේ මුදල් ඇමැතිවරයා භාණ්ඩ වර්ග 367කට ආනයන සීමා පනවලා තියෙනවා. ආර්ථික අර්බුදයක් පැමිණියාම යම් යම් සීමා පනවනවා තමයි. හැබැයි ඒවා පනවන්න ඕනේ ප‍්‍රායෝගික මට්ටමේ ඉඳලා. අද ඇපල්, දොඩම්, මිදි විකුණන්නේ කවුද? බොහොමයක් මේවා විකුණන්නේ පදික වෙළෙන්දෝ. දැන් ඒ අයගේ රැකියාවලට මොකද වෙන්නේ. මේ අය ජීවත් වෙන්නේ කොහොමද? අද රටේ ප‍්‍රධාන බස් නැවතුම්පළවල මේ අය තමන්ගේ වෙළෙඳාම් කරනවා. අනෙක් පැත්තෙන් කොණ්ඬේ පීරන පනා, රේසර්, කුඩ වගේ දේවල්වලට පවා සීමා පනවලා. මේ නිසා මේ සෑම භාණ්ඩයකම මිල ඉහළ යනවා.

ඩොලර් හොයන්න කියලා මෙහෙම දේවල් කරලා හරියන්නේ නෑ. ඩොලර් හොයා ගන්න ක‍්‍රම තමයි ක‍්‍රියාත්මක කරන්න ඕනේ. අයි. එම්. එෆ්. යන්නේ නැතුව කරන වැඩවලින් හැම පැත්තෙන්ම අමාරුවේ වැටෙන්නේ අපේ මිනිස්සු.

රට ආර්ථිකමය වශයෙන් දිනෙන් දින පසු පසට යනවා. එක දවසක කිරි පිටි පෝලිම. කිරි පිටි පෝලිම ඉවර වෙනකොට ඉන්ධන පෝලිම. ඉන්ධන පෝලිම ඉවර වෙනකොට ගෑස් පෝලිම. ජනතාවට හැමදාම මොකක් හරි පෝලිමක ඉන්න සිද්ධ වෙලා. පහුගිය කාලයේ ඉන්ධන පෝලිම්වල දිවා ? හිටියේ පිරිමි පුද්ගලයෝ. දැන් ගෑස් පෝලිමේ ඉන්නේ කාන්තාවෝ.

අම්මා පෝලිමේ නිසා ගෙදර ඉන්න දරුවෝ අසරණ වෙලා. බොහෝමයක් ගෙවල්වල අද ආහාර පිසින්නේ භූමිතෙල් ළිපේ. ඒ තෙල් ටික ගන්නත් අද පෝලිමට යන්න වෙලා. ජනතාව නොමරා මරණ ආණ්ඩුවක් අද බිහි වෙලා තියෙන්නේ.

පාන් ගෙඩියක් රුපියල් 100ක් කරන්න වෙයි කියලා බේකරි හිමියෝ කියනවා. දැන් මිනිස්සුන්ට පාන් කියා ගන්න බැරිව ඉන්නේ. ආණ්ඩුවට නම් වගේ වගක් නෑ. ගෑස් නැතුව රටේ ආපන ශාලා 3000ක් වැහිලා. කොළඹ 1500 ක් විතර වැහිලා. ගෙදර ගෑස් නැති නිසා කඩෙන් කන්න ගිය මනුස්සයට දැන් කඩෙන් කන්න විදියකුත් නෑ. මොකද ගෑස් නැතුව කඩත් වහලා. පුදුම වැඩක් ලංකාවට වුණේ.

ජනතාවගේ දුක නිවන්න මේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු තමයි හැමදාම ජනතාවගේ අතට මුදල් ලබා දුන්නේ. කන්න බොන්න අවස්ථාව උදාකරලා දුන්නේ. ගැබිනි මව්වරුන්ට රුපියල් 20,000 ක පෝෂණ මල්ලක් අපි දුන්නා. මේ ආණ්ඩුව ඒකත් නැවැත්තුවා. දරුවන්ට ටැබ් දෙනකොට ඒකටත් විරුද්ධ වුණා.

අද රටේ තියෙන්නේ ඩොලර් නැති අර්බුදයක්. මේ ඩොලර් අර්බුදය විසඳන්න පුළුවන් ජාත්‍යන්තරය විශ්වාස කරන, ජාත්‍යන්තරය පිළිගන්න නායකයෙකුට පමණයි. ඒ නායකයා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේයි. රනිල් වික‍්‍රමසිංහ මහත්තයට විතරයි මේ ප‍්‍රශ්නය විසඳන්න පුළුවන්.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment