භානුක – ධවාන් සුසංයෝගය පන්ජාබ් පිලට ජය ගෙනෙති

414

භානුක රාජපක්ෂ සහ ෂිකර් ධවාන්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් ගුජරාට් ටයිටෑන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට පෙරේදා (03 වැනිදා) පැවැති තරගයේදී පන්ජාබ් කිංග්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ මෙවර අයි.පී.එල් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගුජරාට් ටයිටෑන්ස් කණ්ඩායමට සිය දෙවැනි පරාජය උරුම කර දෙමිනි.

 ලකුණු 143 ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 16කදී කඩුලු 2ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත් විය.

 මුළු ලකුණු 10දී පළමු කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරුව පිටියට එක් වූ භානුක රාජපක්ෂ සහ ෂිකර් ධවාන් පන්ජාබ් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. පන්දු 28කදී හයේ පහර එකක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 40ක් වාර්තා කිරීමට භානුක රාජපක්ෂ සමත් වෙද්දී එක් හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 62ක් ලබා ගත් ෂිකර් ධවාන් පන්දු 53කදී නොදැවී පිටියේ රැඳී සිටියේය.

 කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටෑන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 143ක් රැස් කළේය.

 සායි සුදර්ශන් පන්දු 50කදී හයේ පහර 1ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 65ක් සහ රිද්දිමින් ෂා පන්දු 17කදී ලකුණු 21ක් රැස් කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගිනි.

 පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා ලකුණු 33කට ටයිටෑන්ස් ඉනිමේ කඩුලු 4ක් බිඳ දැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment