භානුක විකුණමින් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට යළි රිංගන බෝන් අගේන්…

8521

භානුක රාජපක්ෂ යනු ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පිතිකරුවෙකි. ලොව ඕනෑම පන්දු යවන්නෙකුට කිසිදු බියක් සැකක් නොමැතිව මුහුණ දී පන්දුව පිටියෙන් එපිටට යැවිය හැකි ක‍්‍රීඩකයකු ලෙසටද ඔහු නම් දරා සිටී. ඒ තරම්ම ඔහුගේ හයේ පහර මනරම් වේ. දර්ශනීය වේ. ක‍්‍රිකට් රසිකයන්ගේ සිත් ඇදගන්නා සුළුවේ. එම නිසා පේ‍්‍රක්ෂකයෝ දැඩි ලෙස භානුක රාජපක්ෂ යන ක‍්‍රීඩකයාට ආදරය කළහ.

පේ‍්‍රක්ෂකයන්ගේ සිත් දිනාගත් මෙම ක‍්‍රීඩකයාට සමහර ක‍්‍රිකට් බලධාරීන්ගෙන් විශාල කැපිලි කෙටිලි තිබූ බව වාර්තා විය. විශේෂයෙන්ම ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ප‍්‍රධාන පුහුණුකරු ඉන් එක් අයෙක් බව සමහරු පැවසූහ. එලෙසම තවත් නිලධාරීන්ගේ කැපිලි කෙටිලි මැද ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වූ මොහු තරග කිහිපයකදී තම දක්ෂතා මනාව පෙන්නුවේය. ඒ අතර ඔහු කාගෙත් කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක ක‍්‍රීඩකයෙක් බවටද පත්විය.

එලෙස දක්ෂතා අතර සිටි මෙම තරුණ ක‍්‍රීඩකයා දැනට මාසයකට පමණ ඉහතදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දන්වා සිටියේ තමන් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගන්නා බවයි. එයට ප‍්‍රධාන හේතුව වශයෙන් ඔහු පවසා තිබුණේ පෞද්ගලික හේතූන් මත තමන් කි‍්‍රකට් ක‍්‍රීඩාවෙන් සමුගන්නා බවයි.

භානුක රාජපක්ෂගේ එම ඉල්ලා අස්වීම දැනගත් සමහරු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔහුට පක්ෂපාතීව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සහ සමහර නිලධාරීන්ට විරුද්ධව විවිධ උද්ඝෝෂණ සිදු කර ගෙන ගියහ. ඒ භානුක රාජපක්ෂව වහාම යළි ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්කර ගත යුතු බව පවසමින්ය. එලෙස සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සතියක් පමණ එම පිරිස් භානුක රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටියහ. එය කොතරම් දුරදිග ගියාද කිවහොත් පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු පවා ඒ පිළිබඳව කතාබස් කළහ. පසුව ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ පවා එම ප‍්‍රශ්නයට මැදිහත් විය. අවසානයේදී භානුක රාජපක්ෂ තම තීරණය වෙනස් කර යළි ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන බව පැවසුවේය. එම ගැටලූව එලෙස අවසන් විය.

යළි ජාතික කණ්ඩායමට එක් වුවත් ඔහුට පසුගිය දින නිමාවූ ඔස්ටේ‍්‍රලියානු සංචාරයට සහභාගි වීමට නොහැකි විය. ඉන්පසු පැවැත්වෙන ඉන්දීය සංචාරය සඳහා ද ඔහුව තෝරා ගෙන නොතිබුණි. එම තරගාවලිය සඳහා ජෛව බුබුළට එක් කළ කණ්ඩායමට පවා ඔහු සහභාගි වී තිබුණි. කිලෝ මීටර් 2 ක ශරීර යෝග්‍යතා පරීක්ෂණය භානුක රාජපක්ෂ සම්පූර්ණ කර තිබුණත් ස්කීන් ෆෝල්ඞ් පරීක්ෂණයෙන් ඔහු අසමත් වීම නිසා ඉන්දීය සංචාරය සඳහා ඔහුව තෝරා නොගත් බව අදාළ බලධාරීහු පැවසූහ.

එලෙස එය නිවේදනය කිරීමත් සමග යළිත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ භානුක රාජපක්ෂ වෙනුවෙන් රැල්ලක් නිර්මාණය වීමට පටන් ගත්තේය. එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි පිරිස් කිසිදු සොයා බැලීමකින් තොරව තේරීම් කමිටු නිලධාරීන් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැඩි ලෙස විවේචනය කළේය.

‘‘භානු නැති ක‍්‍රිකට් අපිට එපා යන” සටන් පාඨය මුල්කර ගනිමින් එම පිරිස දින කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ නිලධාරීන් විවේචනය කරමින් භානුක රාජපක්ෂ ඉන්දීය තරගාවලිය සඳහා ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් බලපෑම් කළහ. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කොතරම් බලපෑම් කළත් එම නිලධාරීහු ගත් තීරණය වෙනස් නොකළහ. එයින් තවත් කුපිත වූ පිරිස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉදිරිපිට දී භානුක රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිමින් උද්ඝෝෂණයක් පවා සංවිධානය කළහ. ඒ සඳහා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල ප‍්‍රචාරයක් ද ලබා දුන්නේය.

එම උද්ඝෝෂණය පැවතියේ පසුගිය විසි දෙවෙනි දින අඟහරුවාදාය. එදින දහවල් 12.00 ට පමණ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉදිරිපිට ඉතා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් එම උද්ඝෝෂණය පැවැත්වූහ. එහිදී විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨවලින් යුතු නාම පුවරු ප‍්‍රදර්ශනය කරමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ නිලධාරීන් දැඩි ලෙස විවේචනය කළහ. අවසානයේ කිසිදු සොයා බැලීමක් නොකර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සහ එම නිලධාරීන්ට විරුද්ධව පැවැත්වූ උද්ඝෝෂණය හරහා ඔවුන්ගේ බලාපොරොත්තු සඵල කර ගැනීමට නොහැකි විය.

මෙම සිද්ධියත් සමග අපට ප‍්‍රධාන ගැටලූවක් මතුවේ. ඒ කිසිදු අසාධාරණයක් සිදු නොවී ස්කීන් ෆෝල්ඞ් පරීක්ෂණය අසමත් වීම නිසා ඉන්දීය සංචාරය අහිමිවූ භානුක රාජපක්ෂ වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ යම් පිරිසක් මෙතරම් පෙනී සිටින්නේ ඇයිද යන්න කියා පිළිබඳවයි. ඒ පිළිබඳව සොයා බැලීමේදී අපට හෙළි වූයේ මෙය පිටුපස සිටින්නේ බෝන් එගේන් නැමැති ආගම අදහන පිරිසක් බවයි.

”බෝර්න් අගේන්” යනු ක‍්‍රිස්තියානි ආගමට අයත් නිකායකි. දේශපාලන ක්ෂේත‍්‍රයේ මෙන්ම ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේද මෙම කල්ලිය සූක්ෂමව ක‍්‍රියාත්මක වේ. මොවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩි කර ගැනීමයි.

පසුගිය කාලයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පාලනය කළේ ‘‘බෝර්න් අගේන්” (Born Again) ආගමික අන්තවාදයයි. දක්ෂතා තිබුණත් නැතත් එම ආගමට බැඳුණු ක‍්‍රීඩකයන්ට විශේෂ වරප‍්‍රසාද හිමි විය. ඔවුන් කොතරම් අසාර්ථක වුවත් දිගින් දිගටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථා උදා විය. ක‍්‍රීඩකයන් මෙන්ම මෙම ආගමට බැඳුණු නිලධාරීන්ටද විශේෂ වරප‍්‍රසාද හිමි විය. ඒ අනුව පසුගිය කාලසීමාව තුළදී එම ආගමට නොබැඳුණු දක්ෂය ක‍්‍රීඩකයන්ට මෙන්ම නිලධාරීන්ටද සිදුවූයේ පැත්තකටවී සිටීමටයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කලක් එලෙස පැවතියත් වර්තමානය වන විට එය වෙනස්ව තිබේ. බෝන් එගේන් නැමැති එම ආගමික අන්තවාදීන්ට දැන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තුළ ලොකු ලොකු සෙල්ලම් දැමීමට බැරිය. එහෙත් ඔහුන් තම ආගම ව්‍යාප්ත කිරීමේ උත්සාහය අත්හැර නොමැත. එය මනාව පැහැදිලි වනුයේ භානුක රාජපක්ෂ වෙනුවෙන් ඔහුන් පෙනී සිටින ආකාරය අනුවයි.

වරක් මාධ්‍යවල වාර්තා වූයේ භානුක රාජපක්ෂ යනු බෝන් එගේන් නැමැති ආගමේ ප‍්‍රබල සමාජිකයකු බවයි. එහෙත් පසුව එය අසත්‍යක් බව පවසමින් ඔහු පැවසුවේ තමන් කිසි දිනක එවැනි ආගමක් සමග සම්බන්ධතාවයක් නොපැවැත්වූ බවයි. භානුක රාජපක්ෂ එලෙස පැවසුවත් එම ආගමේ නායකයන් සමග ඔහු එක්ව සිටින පින්තූර පවා දැකගන්නට හැකි විය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලට දැඩි ලෙස ආදරය කරනවා යැයි පවසමින් භානුක රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින මෙම පිරිස පසුගිය කාලවලදී යෝග්‍යතා පරීක්ෂණ අසමත් වූ කුසල් ජනිත් පෙරේරා, දනුශ්ක ගුණතිලක, ළහිරු කුමාර සහ මහේෂ් තීක්ෂණ යන ක‍්‍රීඩකයන් වෙනුවෙන් පෙනී නොසිටියේ ඇයි ද යන්න පිළිබඳවත් අපට නැගෙන්නේ ඉමහත් ගැටලූවකි. එයින්ම හැඟී යනුයේ මෙම පිරිස් උදව් උපකාර කරුණුයේ තම ආගමට සම්බන්ධ අයට පමණක් බවයි.

යෝග්‍යතා පරීක්ෂණ අද ඊයේ පැමිණි එකක් නොවේ. 1993 වර්ෂයේදී මෙරටින් බිහි වූ සුපිරිම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනකු වන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වාට ද මෙම ගැටලූව බලපෑවේය. එහිදී අරවින්ද සිල්වා යළි කණ්ඩායමට එක් වූයේ යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමෙන් පසුවයි. ඉන්දීය සුපිරි පිතිකරුවන් වන විරාත් කෝලි සහ රොහිත් ෂර්මලාද යෝග්‍යතා පරීක්ෂණවලට පෙනී සිටිති. එපමණක් නොව අනෙක් රටවල ක‍්‍රීඩකයන්ද යෝග්‍යතා පරීක්ෂණවලට පෙනී සිටිති. එම නිසා කොතරම් දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වුවද යෝග්‍යතා පරීක්ෂණවලින්ද සමත් විය යුතුය.

භානුක රාජපක්ෂ යනු දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකි. රට වෙනුවෙන් විශාල දෙයක් කළ හැකි අයෙකි. එම නිසා අප ඔහුගෙන් ඉල්ලා සිටිනුයේ මෙවැනි අන්තවාදී ආගම්වල අනුගාමිකයන්ට නොරැවටී ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නියැළෙමින් රට වෙනුවෙන් කළ හැකි උපරිම සේවය කරන ලෙසයි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment