භානුක සහ ධවාන් පන්ජාබ් දිනවති

423

ෂිකර් ධවාන් සහ භානුක රාජපක්ෂ එක්ව දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ශතක සම්බන්ධතාව හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පෙරේදා (25 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 11ක ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය.

 තරගාවලියේ 38 වැනි තරගය ලෙසින් පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණඩායම සිය පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 187ක් රැස් කළේය. ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 176කට සීමා විය.

 පන්ජාබ් පළමු කඩුල්ල මුලු ලකුණු 37 දී දැවී යෑමෙන් පසු පිටියට එක් වූ භානුක රාජපක්ෂ සහ නායක ෂිකර් ධවාන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත් විය. භානුක රාජපක්ෂ පන්දු 32කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 42ක් ලබා සිටියදී බ්‍රාවෝගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

 සිය 200 වැනි අයි.පී.එල්. තරගයට ක්‍රීඩා කළ ෂිකර් ධවාන් පන්දු 59කදී නොදැවී ලකුණු 88ක් රැස් කළේ හයේ පහර දෙකක් සහ හතරේ පහර 9ක් සමගිනි.

 චෙන්නායි වෙනුවෙන් සටන්කාමි ඉනිමක් දියත් කළ අම්බති රයිදු පන්දු 39 කදී ලකුණු 78ක් වාර්තා කළේය. හයේ පහර 6කින් සහ හතරේ පහර 7කින් එම ඉනිම සරසා ගැනීමට ද ඔහු වගබලා ගත්තේය.

 ලකුණු සාරාංශය

 පන්ජාබ් කිංග්ස් පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 187යි

 චෙන්නායි සුපර් කිංගස් පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 176යි

advertistmentadvertistment
advertistmentadvertistment