භික්‍ෂුවට අත තියන්න ආණ්ඩුවට ඉඩදෙන්නේ නෑ අපි තාම නැගිට්ටේ නෑ : අපිව නැගිට්ටුවන්න එපා

388

ඇල්ලේ හිමිගෙන් සැර කතාවක්

විවිධ පනත් කෙටුම්පත් ගෙන එමින් භික්‍ෂුවට අත තැබීමට සහ භික්‍ෂුව නිහඬ කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට කිසිලෙස ඉඩ නොතබන බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

අගමැති, දිනේෂ් ගුණවර්ධන මහතාද සහභාගි වූ කෝට්ටේ නාග විහාරයේ පෙරේදා 26දා පැවැති උත්සවයකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

භික්‍ෂුවට නොගැළපෙන නීතිවලට තමන් අකමැති බවත් උන්වහන්සේලාට සරිලන නීති සම්බුද්ධ ශාසනය තුළ පවතින බවත් පැවසූ ඇල්ලේ ගුණවංශ හිමියෝ ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ අසාධාරණයට සහ අභියෝගාත්මක අවස්ථාවලදී පෙරට එන භික්‍ෂුව මර්දනය කිරීම සඳහා අණ පනත් ක්‍රියාත්මක කිරීමට බවද පැවසූහ.

ඇල්ලේ ගුණවංශ හිමියෝ වැඩිදුරටත් මෙසේද කියා සිටියහ.

භික්‍ෂුව එක් තැනකට කොටුකර තැබීමට තමයි මේ ආණ්ඩුව උත්සාහ දරන්නේ. කවුරුන් රට පාලනය කළත් භික්‍ෂුවට අත තියන්න එන්න එපා කියලා අපි කියනවා. මහණ කරන්න හිස රැවුල බානකොට ඔළුව බාපු අයත් ඉන්නවා. ඒ අය අතින් පොඩි පොඩි දේවල් වෙනවා. නමුත් ඒකට සියලු ස්වාමීන් වහන්සේලා වගකිව යුතු නැහැ.

අති පණ්ඩිත ගොං ඇමැතිවරුන් බොහොම උද්දච්ජ අහංකාර විදිහට කතා කරනවා. ඒ අය බුද්ධාගම පෝෂණය කරනවා කියලා අපේ පන්සල්වල විදුලිය කපනවා. ආණ්ඩුව කියන අටමගල කරගෙන යන්න බැරිව පන්සල කන්න හදනවා. අපිට අත තියන්න උත්සාහ කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. අපි තාම නැගිට්ටේ නැහැ. අපි නැගිට්ටවන්න එපා කියලත් කියනවා.

දැන් අපිට වටිං ගොඩිං ඇහෙනවා උතුරු නැගෙනහිර පිළිබඳව අලුත් කතා. කරුණාකරලා ප්‍රශ්න ඇති කරන්න එපා කියලාත් අපි ආණ්ඩුවට මතක් කරනවා. රටේ ජනතාවට ජීවත් වෙන්න අමාරුකම් තියෙද්දී ජාතික ප්‍රශ්නයක් උග්‍ර විදිහට ඇති කරලා ජාතීන් අතර ගැටුම් ඇති කරන්න උත්සාහ ගන්න එපා කියා අපි ආණ්ඩුවට කියනවා.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment