භික්ෂු ගිලානෝපස්ථානයට දොර ඇරෙන පුදබිමක්!

133

සියනෑ කෝරලයේ ගම්පහ දිස්ත්‍රික්කයේ බැලුම්මහර – කඩුවෙල නව නුවර මාර්ගයේ නාරන්වල හන්දියෙන් හැරී කිලෝ මීටර් භාගයක් පමණ දුරක් ගෙවා පැමිණෙන විට නාරන්වල ග්‍රාමයේ නිහඬ පරිසරයක රමණීය වෙල් යායක් අසබඩ පින් බිමක පිහිටා තිබෙන නාරන්වල ශ්‍රී සුමනකීර්ති මහා පිරිවෙන් විහාරස්ථානය මේ වනවිට දිවයින පුරා ආගමික, ශාසනික හා සමාජීය සේවාවන් රැසක් සිදු කරන ඵෙතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත් වී ඇත.

එහි පරිවේණාධිපති හා විහාරාධිපති ඌරුවල විනීත නාහිමියන්ගේ නායකත්වය යටතේ මෙහි අද වනවිට සාමනේර හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේ 100 නමකට අධික සංඛ්‍යාවක් නේවාසිකව වැඩ වසමින් අධ්‍යාපනය ලබති.

ඌරුවල විනීත නාහිමියන් මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කැලණිය ප්‍රාදේශික සංඝ සභාවේ ලේඛකාධිකාරී තනතුර වසර 07 ක් දැරීමෙන් අනතුරුව උන්වහන්සේ සිදු කරන ආගමික, ශාසනික හා සමාජීය කටයුතු අගයමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් “සුමනකීර්ති ශ්‍රී ධම්මාලෝක වංසාවතංස සංඝ සෝභන” යන ගෞරව නාමය සමගින් එම නිකායේ කාරක සංඝ සභික ධුරයක් ද උන්වහන්සේට පිරිනමන ලදී. එසේම මහර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දෙවන කලාපයේ ප්‍රධාන ලේඛකාධිකාරී තනතුර දැනට වසර ගණනාවක සිටම දරන්නේ ද උන්වහන්සේ විසිනි.

ශත වර්ෂයකට වඩා ඈත ඉතිහාසයකට උරුමකම් කියන මේ විහාරස්ථානය 1872 වසරේදී නාරන්වල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය නමින් ආරම්භ කෙරිණි. එවකට පැවති ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ මේ විහාරස්ථානය පිහිටි භූමිය වෙන්ව තිබූ අතර මේ භූමියේ බෝ ගසක් හා නුග ගසක් තිබූ හෙයින් මේ විහාරස්ථානය බෝධිරුක්ඛාරාමය නමින් හඳුන්වා ඇත. තවද එම කාලයේ මේ අවට ප්‍රදේශය කැලෑ රොදකින් වට වී තිබූ හෙයින් ඇතැමුන් මේ විහාරස්ථානය “එදා කැලෑ පන්සල” නමින් ද හඳුන්වා තිබේ.

එවකට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කැලණි ප්‍රාදේශික සංඝ සභාවේ සභාපතිව සිටි බොල්ලැගල ශ්‍රී විජයාරාමාධිපතිව වැඩ විසූ බෙම්මුල්ලේ ශ්‍රී විනයාලෝක නාහිමියන් විසින් එම සංඝ සභාවේ දිසා පාලකව සිටි ඇකිරියගල ධම්මාලෝක නාහිමියන්ට මේ විහාරස්ථානය ආරම්භ කිරීමට උපදෙස් දී තිබිණි.

ඒ අනුව කුඩා බිම්කඩක කටු මැටි ගසා පොල් අතු සෙවිලි කොට ඉදි කළ කුඩා ආවාසයකින් යුක්ත වූ මේ විහාරස්ථානයට වත්මන් විහාරාධිපති ඌරුවල විනීත නාහිමියන් වැඩම කිරීමෙන් පසුව විහාරස්ථානයට නවෝදයක් උදාවිය.

භික්ෂු ගිලානෝපස්ථානයට දොර ඇරෙන පුදබිමක්!
විහාරාධිපති ඌරුවල විනීත නාහිමි

වර්ෂ 1987 වසරේදී උසස් අධ්‍යාපන කටයුතු සඳහා දෙල්ගොඩ කල්‍යාණි ප්‍රදීප විද්‍යායතන පිරිවෙනට යෑමේ බලාපොරොත්තුවෙන් වැඩම කළ වීනීත නාහිමියන් ඒ වනවිට දෑස් අන්ධව වයෝවෘද්ධව වැඩ සිටි සාහිත්‍යාචාර්ය පෝහද්දරමුල්ලේ ජිනෝරස නාහිමියන්ට මහත් ශක්තියක් වෙමින් උන්වහන්සේද රැක බලා ගනිමින් විහාරස්ථානයේ කටයුතු ද නො පිරිහෙළා ඉටු කළහ.

බලගල සඟ පරපුරට අයත් ඌරුවල ශ්‍රී විවේකාරාමාධිපතිව වැඩ විසූ දොඩම්පේ සුමනකීර්ති හිමියන් විසින් පැවිදි බිමට පත් කළ ඌරුවල විනීත නාහිමියන්ගේ උපසම්පදාවේදී ආචාර්යයන් වහන්සේ බවට පත් වූයේ කැලණිය ප්‍රාදේශීය සංඝ සභාවේ දිසා පාලකව සිටි ඇකිරියගල ධම්මාලෝක හා පෝහද්දරමුල්ලේ ජිනෝරස යන නාහිමිවරුන් වෙති.

ඉකුත් 2000 වසරේදී ඇකිරියගල ධම්මාලෝක නාහිමියන්ගේ අපවත්වීමෙන් පසුව විනීත නාහිමියෝ නාරන්වල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ හා ඇඹරලුව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ උභය විහාරාධිපතින් වහන්සේ ලෙස පත් වූහ.

විනීත නාහිමියෝ 1991 වසරේදි කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත් වී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. ඉන් අනතුරුව උන්වහන්සේගේ එකම බලාපොරොත්තුව වූයේ ශාසනික, ආගමික හා සමාජීය කටයුතු කර ගෙන යෑම සඳහා පිරිවෙනක් ආරම්භ කිරීමය.

ඒ අනුව විනීත නාහිමියන් විසින් 1996 වසරේ ජනවාරි මස 01 වැනිදා එම විහාරස්ථාන භූමියේම නාරන්වල ශ්‍රී සුමනකීර්ති මූලික පිරිවෙන පොල් අතු සෙවිලි කළ කුඩා මඩුවකින් ආරම්භ කරන ලදී එම පිරිවෙනට “සුමනකීර්ති පිරිවෙන” ලෙස නම තැබුවේ විනීත නාහිමියන් පැවිදි කළ දොඩම්පේ සුමනකීර්ති නාහිමියන්ට කෘතගුණ සැලකීමක් වශයෙනි. එමෙන්ම පිරිවෙනේ ආරම්භක කෘත්‍යාධිකාරී ලෙස ද දොඩම්පේ සුමනකීර්ති නාභිමියන් පත් කර ගනු ලැබූහ. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව කෘත්‍යාධිකාරී ලෙස පත් වූ විනීත නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත ඌරුවල සුමනරංසි හිමියන් මේ දක්වාම එම තනතුරෙහි කටයුතු කරති.

එදින පැවිදි ගිහි සිසු පිරිසට අත්පොත් තැබීම සිදු කරනු ලැබුවේ දෙල්ගොඩ කල්‍යාණි ප්‍රදීප විද්‍යායතන පිරිවෙනේ විහාරාධිපති හා පරිවේණාධිපතිව වැඩ සිටි දරණාගම සුගතපාල නාහිමියන් විසිනි. එදා මේ පිරිවෙන අවම පහසුකම් මත පැවිදි සිසුන් 18 නමකින් හා ගිහි සිසුන් 08 දෙනකුගෙන් ආරම්භ කොට පවත්වා ගෙන යන ලදී. මෙහි ආරම්භක පරිවේණාධිපති ලෙස කිරිඳිවැල සුමනානන්ද නාහිමියන් පත් වු අතර නියෝජ්‍ය පරිවේණාධිපති ලෙස ඌරුවල විනීත නාහිමියන් පත් වූහ.

ඉකුත් 1999 වසරේදී කිරිඳිවැල සුමනානන්ද නාහිමියන් ඉවත් වීමෙන් පසුව සුමනකීර්ති පිරිවෙනෙහි නව පරිවේණාධිපති ලෙස විනීත නාහිමියන් පත්විණි. එතැන් සිට මේ දක්වාම විනීත නාහිමියන් පරිවේණාධිපති ලෙස කටයුතු කරනු ලබති.

මේ පිරිවෙනට අවට ප්‍රදේශවල විහාරස්ථානවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ අධ්‍යාපන කටයුතු සඳහා සම්බන්ධ වූහ. තවද පිරිවෙනෙහි අභිවෘද්ධිය මෙන්ම ජාතික ආගමික, ශාසනික හා සමාජීය පොදු කටයුතු නිසි වේලාවට නියමානුකූලව සාර්ථකව කර ගැනීමේ අරමුණින් වසරින් වසර පිරිවෙන් විහාරස්ථානය තුළ කුල දරුවන් පැවිදි බිමට ඇතුළත් කරන්නට ද පියවර ගත්හ.

භික්ෂු ගිලානෝපස්ථානයට දොර ඇරෙන පුදබිමක්!

මෙලෙස දිනෙන් දිනම කැපී පෙනෙන වර්ධනයක් ලැබූ මේ පිරිවෙන ශිෂ්‍ය පිරිසේ සීග්‍ර වර්ධනයක් සමග 2001 වසරේ ජනවාරි මස 01 වැනි දින පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය මගින් මහ පිරිවෙනක් ලෙස උසස් කරනු ලැබීය. එතැන් සිට මූලික පිරිවෙන් විෂය මාලාවට අමතරව ප්‍රාචීන විභාග පන්ති මෙන්ම අ.පො.ස. උසස් පෙළ පන්ති ද ආරම්භ කළහ.

මේ පිරිවෙනේ ප්‍රාචීන අවසාන සහ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිධාරී උන්වහන්සේගේම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ බොහෝ පිරිසක් නේවාසිකව වැඩ සිටින අතර එය පිරිවෙනට විශාල ශක්තියක් වෙති. මෙහි නේවාසික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වැඩි වනවිට අවශ්‍යතා දැඩි විය. ඉඩකඩ ප්‍රමාණවත් නොවීය. මේ නිසා ප්‍රදේශවාසී මහා සඟරුවනේ ආශීර්වාදයෙන් දානපතියන්ගේ පරිත්‍යාග තුළින් පිරිවෙනට යාබද ඉඩම් කොටස් කීපයක් මිලදී ගැනීමට හැකි විය. එහි නව සුවිශාල නේවාසිකාගාරයක් මෙන්ම පිරිවෙන් අධ්‍යාපන ශාලා ඉදි කරන ලදී.

මේ වනවිට සියනමකට අධික පිරිසකට එකවර දන් වැළදිය හැකි දාන ශාලාව, සම්මන්ත්‍රණ ශාලාව මෙන්ම අලුතෙන්ම ඉදි කර ගෙන යන තෙමහල් පිරිවෙන් ශාලාව සුවිශේෂී වේ. අවශ්‍ය යටිතල පහසුකම් ද විවිධ අභියෝග මැද සපුරාලීමට පියවර ගෙන තිබේ.

මේ පිරිවෙනෙන් ඉටු වන ශාසනික මෙහෙය අති විශාල වේ. නිකාය භේදයකින් තොරව සියලු ආගමික වතාවත් ඉටු කර ගැනීමට ප්‍රදේශය හා අවට සඟරුවනට නිතරම සභාය ලබා දෙන පිරිවෙනක් වේ.

ඉකුත් 1987 වසරේදී පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන ශ්‍රී සුමනකීර්ති දහම් පාසල නමින් දහම් පාසලක් ආරම්භ කළ අතර එහි සිසු දරු දැරියන් 500 ක් පමණ දෙනෙකු මේ වනවිට දහම් අධ්‍යාපනය ලබති.

තවද මේ පිරිවෙන් විහාරස්ථාන භූමියේ ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරීට, සමෘද්ධි සංවර්ධන නිලධාරීට, කෘෂි පර්යේෂණ නිලධාරීට හා පවුල් සෞඛ්‍ය සේවිකාවට සිය කාර්යාල පවත්වා ගෙන යෑම සඳහා විනීත නාහිමියන්ගේ මූලිකත්වයෙන් පුද්ගලිකවම අංග සම්පූර්ණ පහසුකම් සහිතව සේවා පියසක් ඉදි කර දී ඇත. ඒ වගේම මේ පිරිවෙන තුළ ප්‍රදේශයේ පොදු සමිති සමාගම්වල රැස්වීම් පැවැත්වීමට අවස්ථාව සලසා තිබේ. ඒ නිසාම පිරිවෙන් විහාරස්ථානයත් ගමත් අතර පවතින්නේ ඉතාමත්ම සමීප සම්බන්ධතාවකි.

විනීත නාහිමියන් බෙහෙවින්ම සුහදශීලීය. කාහටත් ළෙන්ගතුය. උන්වහන්සේගෙන් පිහිටක් උපකාරයක් බලාපොරොත්තුවෙන් පැමිණෙන කිසිවෙක් හිස් අතින් නොයවති. කෙසේ හෝ එම කාර්ය ඉටු කර දීම උන්වහන්සේගේ සිරිත වූහ. විනීත නාහිමියන් සතු තවත් සුවිශේෂීම ගුණයක් වන්නේ දන් දීමෙහි ඇති කැමැත්තයි. එය උන්වහන්සේ සතු බෝසත් ගුණයකි.

මේ වනවිට නාරන්වල ශ්‍රී බෝධිරුක්ඛාරාම මූල මහා විහාරය මුල් කර ගෙන තවත් විහාරස්ථාන 12 ක ආධිපත්‍යය හොබවනු ලබන්නේ ද විනීත නාහිමියන් විසිනි.

ඉකුත් 2022 වසරේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 72 වන ද්වි වාර්ෂික ජාතික උපසම්පදා මහෝත්සවය විනීත නාහිමියන්ගේ මූලිකත්වයෙන් මේ පිරිවෙන කේන්ද්‍ර කර ගෙන පවත්වන වන ලද අතර එහිදී එම නිකායේ සාමනේර හිමිවරුන් 500 නමක් පමණ උපසම්පදා ශීලයෙහි පිහිටුවූහ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment