භික්‍ෂු රෝහලක් ඉදිකිරීම අගය කළ යුතුයි – බෞද්ධාගමට ප්‍රමුඛතාව ලබාදීම විධායකයේ ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ වගකීමක්

54

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොහුවල ගුරුදෙව් සුවඅරණ විවෘත කරමින් කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයටද පැවරෙන බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ කිසිවෙකුට විවාද කළ නොහැකි බව ද පැවසීය.

එය වෙනස් කිරීමට කිසිවෙකුට අවශ්‍ය නම් වහාම ගොස් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස තමා ඔවුන්ට දැනුම් දෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ හෝමාගමකිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කිරීමේ අවස්ථාවට ඉකුත් (01)දා පස්වරුවේ එක් වෙමිනි.

කොහුවල ශ්‍රී ධාතුමළු විහාරාධිපතිව වැඩ විසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අපවත් වී වදාළ ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත පූජ්‍ය මාපලගම සිරි සෝමිස්සර නායක හිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව කොහුවල ශ්‍රී ධාතුමළු වත්මන් විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකාවේ සහ විදෙස්හි සිට මෙරටට පැමිණ වැඩවසන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මෙම “ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය” ඉදි කර තිබේ. දෙස් විදෙස් දායකකාරකාදීන්ගේ සහයෝගයෙන් යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකර ඇති මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ වෛද්‍ය උපකරණ සඳහා දකුණු කොරියාවේ හේතු නුවර ශ්‍රී ලංකාරාමාධිපති දකුණු කොරියාවේ සංඝනායක පූජ්‍ය කටුවන විජිතවංශ හිමිපාණන් වහන්සේ අරාධනයෙන් දකුණු කොරියාවේ උල්සාන් නුවර බෞද්ධ රෝහලේ ප්‍රධානී ගරු Neunghaeng භික්ෂුණියගේ සහ තායිවානයේ කෞෂොන් භික්ෂුණියගේ දායකත්වය ලබාදී තිබේ.

කොහුවල ශ්‍රී ධාතුමළු වත්මන් විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායකහිමිපාණන් වහන්සේ ඉටුකරන විශිෂ්ඨ ජාතික, ආගමික සහ ශාසනික සේවාව සහ දෙස් විදෙස් භික්ෂුන් වහන්සේ වෙනුවෙන් මෙම ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය ඉදිකරමින් සිදු කළ මෙහෙවර උදෙසා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රසාදය උන්වහන්සේ වෙත පළ කරමින් සිරි සෝමේස්වර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී ලෝකත්ථකාරී යන සම්මානෝපාධි ගෞරව නාමයට අදාළ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානයෙන් පසු උන්වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ඉදිකර තිබෙන පළමු රෝහල මෙයයි. අපේ රටේ රෝහල්වල භික්ෂු වාට්ටු පැවතුණා. නමුත් මෙය භික්ෂු වාට්ටුවක් නොවෙයි. රෝගාතුරුව වැඩවසන භික්ෂුන්වහන්සේ වෙනුවෙන් මෙම රෝහල වෙන් කර තිබෙනවා. මේ සඳහා සහයෝගය ලබාදුන් ආධාර උපකාර කළ දකුණු කොරියාවේ භැමබටය්ැබට භික්ෂුණින් වහන්සේ ප්‍රමුඛ සියලු‍දෙනාට රජයේ ස්තුතිය පිරිනමනවා.

ආණ්ඩුවයි, බුද්ධාගමයි වෙන් කිරීමට අවශ්‍යයි කියා දැන් එක් තර්කයක් ඉදිරිපත් වී තිබෙනවා. එහි නීතිමය තත්ත්වය පිළිබඳව සඳහන් කළහොත් අපේ රටේ සෑම පුරවැසියෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමට අයිතිය තිබෙනවා. ඒ වගේම ආගමක් අදහන්නේ නැතිව සිටීමටත් අයිතිය තිබෙනවා. ඊට අමතරව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා ඕනෑම රජයක් බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි කියලා. එම වගකීම ආණ්ඩුවට පමණක් නොවෙයි රාජ්‍යයටත් පැවරෙනවා. එසේනම් රාජ්‍යයට අයත් අංශ තුන වන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වූ විධායකය, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් වූ පාර්ලිමේන්තුව සහ අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් වූ අධිකරණය යන ආයතන තුනේම සහයෝගය මේ සඳහා හිමි විය යුතුයි. මෙම සහයෝගය ලබා නොදී සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. මන්ත්‍රීවරු ලෙස අප සියලු‍දෙනා ව්‍යවස්ථාව අනුගමනය කිරීමට දිවුරුම් දී තිබෙනවා. එසේනම් අප සියලු‍දෙනා එම ව්‍යවස්ථාව අනුගමනය කළ යුතුයි. මේ රටේ යුද්ධය තිබුණත් කිසිවිටෙක මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණේ නැහැ. ඒ ගැන සාකච්ඡා කළේද නැහැ.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානයක් ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍යයි. ලබාදෙන ප්‍රතිපාදන පිළිබඳ අපට වාද විවාද කළ හැකියි. නමුත් මුලධර්මය ගැන අපට විවාද කරන්න බැහැ. ආණ්ඩුවක් ලෙස අප එය පිළිපැදිය යුතුයි. කිසිවෙකුට මෙය වෙනස් කිරීමට අවශ්‍යනම් ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. ජනතා පරමාධිපත්‍ය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ රට බෙදිය නොහැකි බව එනම් භෞමික අඛණ්ඩතාව අපේ ව්‍යවස්ථාවේ සඳහන් වන මූලික කරුණු තුනයි. අප මෙය පදනම් කරගෙන ඉදිරියට යා යුතුයි. මේ එකකට හෝ විරුද්ධව කථා කිරීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් ලෙස සැලකෙනවා.

අද මෙම රෝහලේ රෝගීන් ගණනාවක් සිටිනවා වගේම එක රෝගියෙකු සුව කිරීමේ වගකීම මට පැවරී තිබෙනවා. මරණාසන්නව සිටි රෝගියාව අප දැන් ටිකෙන් ටික සුව කරගෙන යනවා. නිරන්තරයෙන් අප ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ලෝකයේ කිසිදු

රෝගියෙකු එකවර සුව වෙන්නේ නැහැ. මෙම රෝගියා සුව කිරීමට තව වසර තුන හතරක් ගත වෙනවා. නමුත් මෙම වැඩකටයුතු කරගෙන යාමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. එම වැඩපිළිවෙළ වෙනුවෙන් ගෞරවණීය මහා සංඝරත්නයෙන් ලැබෙන සහයෝගය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සහිත ස්තුතිය පිළිගැන්විමටද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

කොහුවල ශ්‍රී ධාතුමළු වත්මන් විහරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නාහිමියන් අනුශාසනාවක් සිදුකළ අතර ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද සබාව අමතා කතා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment