භූත නෞකා

1003

මේ වෙලාවේදී මේ රට තුළ විසඳී නැති ප‍්‍රශ්න බොහොමයක් අතුරින් එකක් ලෙස චීන පොහොර ප‍්‍රශ්නය හඳුනාගනු ලැබේ. චීන පොහොර ප‍්‍රශ්නය කර තබාගෙන ඉස්සරහට යන්නෝ ගොවීහු සහ විපක්ෂය ය. එය ඔවුන්ගේ කර පිට මත තබන ලද්දේ ආණ්ඩුවය. මේ ප‍්‍රශ්නය දිගින් දිගටම ඇදෙමින් පවතින අතර ශ‍්‍රී ලංකාව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද පොහොර තොගයක් සහිත චීන නැවක් ශ‍්‍රී ලංකාව බලා එන බව පසුගියදා ආරංචි විය. එකල්හි මේ නැව ගිල්වා දැමීමට තරම් වේග සිතක් පහළ කරගත් අපේ ගොවි ජනතාව සහ ප‍්‍රගතිශීලී විපක්ෂය ඔළුවෙන් සිටගෙන විරෝධය පෑමට පටන් ගත්හ. මේ විරෝධය තුළ කිසියම් තාක්ෂණික ගැටලූවක් තිබේ. එනම් ගොවි ජනතාව ඔළුවෙන් හිටගත්තේ අමුඩය පිටින්ය. විපක්ෂය ඔළුවෙන් හිටගත්තේ සරම පිටින්ය. කෙනෙක් අමුඩය පිටින් ඔළුවෙන් හිටගත්තාට සදාචාරය පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතිවන්නේ නැත. එහෙත් දෙපතුල දක්වා සරම ඇඳි මහත්වරුන් ඔළුවෙන් සිටගන්නා විට සරම නවතිනු ඇත්තේ කොතැනදැයි ඔබට සිතාගත හැකිය. මේ කතාව තවදුර ගෙන යෑමට අපි අපේක්ෂා නොකරමු. දේශපාලනය වෙනුවෙන් හෙලූවෙන් හිටගැනීමේ අයිතියක් කාටවත් නැත.

චීනය සහ ශ‍්‍රී ලංකාව අතර සහස‍්‍ර එකහමාරකට වැඩි කාලයක් දිවෙන සම්බන්ධතාවක් තිබේ. වැඩිදෙනා කියන්නේ චීනුන් වෙළෙඳාම සඳහා මුල් වරට මෙහි පැමිණි බවය. එහෙත් ඇත්තම කතාව නම් චීනුන් මුල් වරට මෙහි එන්නේ වෙළෙඳාමට නොව බුදුන් වැඳීමට ය. මෙයට අවුරුදු 1500 ට පෙර චීන ජාතික ෆාහියන් (Faxian) භික්ෂුව ලංකාවට වැඩමකොට බෞද්ධ ධර්ම ග‍්‍රන්ථ සොයාගැනීම පිණිස අනුරාධපුරයේ මහා විහාරය අසල ගැවසෙමින් සිටියහ. එකල මහා විහාර භූමියෙහි බුදුන් වහන්සේගේ පද්මාසන ප‍්‍රතිමාවක් විය. රියන් 18 ක් උස ඒ ප‍්‍රතිමාව කොළපාට Jade ගලින් එක එල්ලේ නෙළන ලද්දකි. දිනක් ෆාහියන් භික්ෂුව මේ ප‍්‍රතිමාව අසල හිඳ සිටින විට චීන ජාතික සංචාරකයෙක් පැමිණ ප‍්‍රතිමාවට සේද රෙද්දක් පූජා කළේය. ෆාහියන් ගේ දේශාටන වාර්තාවෙහි මේ කතන්දරය එහෙම පිටින්ම තිබේ. Jade යනු චීනයට ආවේණික අර්ධ මැණික් පාෂණයකි. එසේ නම් එදා මහා විහාරයේ තිබූ බුද්ධ ප‍්‍රතිමාව ස්ථිර වශයෙන්ම ලංකාවට ලැබුණේ චීනයෙනි. 1952 දී ලංකාව, චීනයට ස්වභාවික රබර් යවන ලද අතර ඒ වෙනුවට චීනයෙන් අපට සුදු හාල් ලැබිණ. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව අපට සාදාදෙන ලද්දේ චීනයයි. එය ඒ රට විසින් බණ්ඩාරනායක මැතිනියට දෙන ලද පුද්ගලික තෑග්ගකි. මේ ආකාරයෙන් චීනය සහ ශ‍්‍රී ලංකාව අතර ඇති බන්ධනය ඉතා විශාලය. එය කොතරම් දුරට වර්ධනය වී ඇත්ද යත් ලංකාව විසින් මුහුද ගොඩකර සාදන ලද අලූත්ම ඉඩම වූ පෝර්ට් සිටිය ද චීන භාණ්ඩයකි. ඒ කෙසේ හෝ වේවා පොහොර ප‍්‍රශ්නයේදී චීනය ක‍්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ගැටලූවක් පැන නඟී. ඇත්තම කිව්වොත් චීනය පමණක් නොව අපේ ආණ්ඩුව වැඩ කළ ආකාරය සම්බන්ධයෙනුත් ගැටලූවක් තිබේ. උදාහරණයක් වශයෙන් චීනයෙන් මෙහි ගෙන්වීමට නියමිත වූ ඩොලර් මිලියන 68 ක් වටිනා කාබනික පොහොර තොගයෙහි මනුෂ්‍ය ශරීරයට හානිකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බව හඳුනාගන්නා ලද කල්හි මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිතුමා එම පොහොර වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු පෙනී සිටියේ පොහොර වෙනුවෙන් නොව එහි සිටින ක්ෂුද්‍ර ජීවීන් වෙනුවෙන් බව අපගේ හැඟීමය. චීන පොහොරවල සිටින ක්ෂුද්‍ර ජීවීන් මනුෂ්‍ය ශරීරයට අහිතකරය යන අපගේ කියමන මෙසේ විග‍්‍රහ කරමු. මිනිස්සු පොහොර නොකති. ඔවුන් කන්නේ පොහොර දමා වගා කළ සහල් සහ එළවළුය. එවිට පොහොරවල සිටින ක්ෂුද්‍ර ජීවීන් සහල් සහ එළවළු ඔස්සේ මනුෂ්‍ය ශරීරයට ඇතුළු විය හැකිය. මෙවැනි අවස්ථාවකදී, එළවළු කන්නේ උයලා යනුවෙන් ද උයන විට ක්ෂුද්‍ර ජීවීන් මැරෙන බවද අපගේ පඬි නැට්ටන් (මෙය මහාචාර්ය නලින් ද සිල්වා ගේ යෙදුමකි.) කියනවා ඇත. එබැවින් පාඨකයාගේ දැනගැනීම පිණිස අපි තවත් කාරණයක් කියමු. ඉස්සන්ගේ සුදු පුල්ලි රෝගය ගැන ඔබ දන්නවා විය යුතුය. සුදු පුල්ලි රෝගී ඉස්සන් හොඳින් පිසූ විට එම රෝගය ඇති කරන විෂබීජය මැරී යයි. සූකර මාංශවල ද මෙවැනිම ක්ෂුද්‍ර ජීවියෙක් වෙසෙයි. ඌරු මස් කොහොම තැම්බුවත් ඒ ජීවියා මැරෙන්නේ නැත. ඌ ඝාතනය කිරීමට නම් සූකර මාංශය පැය 48 ක් එක දිගට අධි ශීත කළ යුතුය. මෙවැනි තාක්ෂණික කරුණු පාඨකයාට නීරස වීමට ඉඩ තිබේ. එහෙත් තිත්ත බෙහෙත් ඉතා ගුණදායකය.

ප‍්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය අඩංගු චීන නැව ලංකාවට පැමිණෙතැයි පසුගියදා දැනගන්නට ලැබිණ. මෙවැනි නැවක් චීනයේ සිට ලංකාවට එන අතර වෙනත් වරායන්වල ද නවතින බැවින් මෙහි ඒමට දින 5 ක් ගතවේ. පොහොර නැව එන බව ආරංචි වූ සැණින්ම එම නැවේ පොහොරවලට මුදල් නොගෙවිය යුතු බවට උසාවි නියෝගයක් ජාතික පැළෑටි නිරෝධායන ආයතනය මගින් ලබාගන්නා ලදී. ඒ අතර එම නැව කොළඹ වරායට ඇතුළු කිරීමට ඉඩ නොදෙන බව හාබර් මාස්ටර් පවසා තිබිණ. එසැනින්ම පොහොර නැව අතුරුදන් විය. එය ඉන්දියානු සාගරයේ කිසිම තැනක නැති බව මේ වනවිට සොයාගෙන තිබේ. මෙහිදී අපට කාරණා දෙකකට අනුව තර්ක ඉදිරිපත් කළ හැකිය. එක්කෝ මේ ආවේ පොහොර නැවක් නොව පොහොර සබ්මැරීනයකි. නොඑසේ නම් මෙය භූත නෞකාවකි. භූත නෞකා යනු මධ්‍යකාලීන යුගයේදී යුරෝපයේ මුහුදුවල සැරිසැරූ නෞකා වර්ගයකි. මේවා හිටිගමන් පෙනෙන අතර හිටිගමන් නොපෙනී යයි. මේ නැව් භෞතික වශයෙන් පවතින නෞකා නොව භූත බලවේග මගින් මවා පෙන්වන ඉන්ද්‍රජාල බවට පිළිගැනීමක් මධ්‍යකාලීන යුගයේදී තිබිණ. චීන පොහොර නැව භූත නැවක්ම වේවා! එය අපේ පැතුමයි.

advertistmentadvertistment
advertistmentadvertistment