භූමිතෙල් පෝලිමේ සිටියදී ඇද වැටී මිය යාම :

73

උදේ ඉඳලාම අපි භූමිතෙල් පෝලිමේ හිටියා
ක්ලාන්තය වගේ කියලා මාමා බිම වාඩි වුණා

අපි උදේ ඉඳලාම පෙට්ට්‍රල් ෂෙඩ් එක ළඟ භූමිතෙල් පෝලිමේ හිටියා. මට ක්ලාන්තය වගේ කියලා මාමා එක වරම බිම වාඩි වුණා. උතුරු කළුතර ඉන්ධන පිරවුම් හලක් අසල භූමිතෙල් පෝලිමේ සිටියදී ඇද වැටී මිය ගිය තිදරු පියකුගේ මරණයට අදාල මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මොහොමඩ් මුබාරක් මොහොමඩ් ජහුමීන් (46) යන අය කීය.

මෙසේ මිය ගොස් ඇත්තේ උතුරු කළුතර වත්තමුල්ලේ පදිංචිව සිටි අබ්දුල් කපූර් මොහොමඩ් සාලි සාදික්ත් නම් වූ 65 හැවිරිදි අයකි. කළුතර සහ බේරුවල මුස්ලිම් හදිසි මරණ පරීක්ෂක එම්.එන්.ඒ.ආර්. සිද්ධික් මහතා ඉදිරියේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී තව දුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු, මියගොස් සිටින්නේ මගේ බිරිඳගේ පියා. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ අධික රුධිර පීඩනයට ප්‍රතිකාර ලබමින් සිටියා.

සිද්ධිය වූ දින වන විට රාමසාන් උත්සව සතියේ අප “නෝම්බි’‘ අල්ලමින් සිටියේ. ගෙදර භූමිතෙල් තිබුණේ නැති නිසා උදේ පාන්දරින්ම උතුරු කළුතර ෂෙඩ් එකට තෙල් එනවා කියලා ලැබුණු පණිවුඩය අනුව අපි පෝලිමට ගියා. ඒත් සවස් වන තුරුම තෙල් ආවේ නෑ. සවස 3.30 විතර ක්ලාන්තය වගේ කියලා බිම වාඩි වුණු මාමාව 1990 ගිලන් රථයක් ගෙන්වා ගෙන රෝහලට ගෙන ගියා. ඒ යනවිටත් මාමා මිය ගොස් තිබුණා. ඊට පෙර දිනයේ මාමා පපුවේ අමාරුවකට බෙහෙත් ගෙන තිබුණා. මෙහිදී ඉඳිරිපත් වූ සාක්ෂි සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මෙය හෘදයාබාධයක් හේතුවෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කළේය. දකුණු කළුතර පොලිසියේ සැරයන් (55318) සිල්වා මහතා මෙහි සාක්ෂි මෙහෙය වීය.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment