භූමිතෙල් වෙනුවට ගුවන්යානා තෙල් විකුණුවොත් දිනක පාඩුව කෝටි 2 පනී

398

භූමිතෙල් වෙනුවට විදේශ රටවලින් ගුවන්යානා තෙල් ගෙන්වා අලෙවි කළහොත් එම වෙළෙඳාමෙන් දිනකට රටට සිදුවන අමතර පාඩුව රුපියල් කෝටි දෙක ඉක්මවා යනු ඇතැයි තෙල් සංස්ථාව ගණන් බලා තිබේ.

සපුගස්කන්ද පිරිපහදුවෙන් නිෂ්පාදනය කළ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 30ක පමණ සහනයක් දී තිබූ අතර භූමිතෙල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 87.00 කට ය.

ඒ අනුව පිටරටින් ගුවන්යානා තෙල් ආනයනය කර භූමිතෙල් ලෙස ඒවා අලෙවි කිරීමේදී දැනට සිදුවන පාඩුවට අමතරව අලූතින් දිනකට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් ඉන් සිදුවන බවට තෙල් සංස්ථාව ගණන් බලා තිබේ.

මේ වනවිට දවසකට මෙරටට අවශ්‍යව තිබූ භූමිතෙල් ලීටර් 65,000 ඉල්ලූම ලීටර් 84500 පමණ දක්වා ඉහළ ගොස් ඇත.

දැනට ගබඩාවල තිබෙන ගුවන්යානා තෙල් සංචිත අවසන් වූ පසු මෙරටට ගෙන එන ගුවන්යානා තෙල් භූමිතෙල් ලෙස අලෙවි කිරීමෙන් මෙම පාඩුව තව තවත් ඉහළ යන බවද ගණන් බලා ඇත.

බොරතෙල් ආනයනයට ඩොලර් නොමැති නිසා දෙවන වරටත් සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමීමෙන් ඇතිවන භූමිතෙල් හිඟයට පිළියමක් ලෙස ගබඩාවල තිබෙන ගුවන්යානා තෙල්වල පාට වෙනස් කර භූමිතෙල් ලෙස අලෙවි කිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ තීරණයට අනුව අමාත්‍යාංශයේ ලේකම්වරිය සඳහන් කර ඇත්තේ විදේශ රටවලින් ගුවන්යානා තෙල් ආනයනය කර භූමිතෙල් ලෙස අලෙවි කරන බවයි.

මේ ආකාරයට පිරිපහදු කළ භූමිතෙල් ගුවන්යානා තෙල්, පෙට‍්‍රල්, ඞීසල් ආදිය මෙරටට ගෙන ඒමෙන් දිනකට රටට සිදුවන පාඩුව රුපියල් කෝටි දහයක් වන බවට වෘත්තීය සමිති ද මීට පෙර ප‍්‍රකාශ කර තිබිණි. ඒ අනුව දැනට තිබෙන ගුවන්යානා තෙල් සංචිත අවසන් වූ පසු භූමිතෙල් ලෙස දැවිතෙල් අලෙවි කිරීමෙන් පමණක් දිනකට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදුවීම වැළැක්විය නොහැකි දෙයකැයි සංස්ථාවේ ගිණුම් අංශ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment