මංගල ගමනට සැරසුණු මනාළියට පැරණි පෙම්වතා ඇසිඩ් ගහලා

1019

සිද්ධිය වනවිට මංගල උත්සවයට 400කට කෑමත් පිසලා

මංගල ගමනට යාමට සූදානම් වෙමින් සිටි මනාලියට පරණ පෙම්වතා විසින් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූ තුවාල හේතුවෙන් ඇය රෝහල් ගත කර ඇති බව වැලිගම පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ඇසිඩ් පහරට ලක්වී ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක තරුණියකි.

පොලිසිය පවසන අන්දමට මෙම තරුණිය එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙක් සමග වසර එකහමාරක් පමණ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත. පසුව එම සම්බන්ධය අතරමගදී නවතා තිබෙන අතර ඉන්පසුව තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත.

කාලයක් ගත වීමෙන් පසුව තරුණිය සිය දෙමාපියන්ගේ කැමැත්ත පරිදි ඔවුන් ගෙන ආ මංගල යෝජනාවක් සඳහා කැමැත්ත පළකිරීමෙන් අනතුරුව පසුගිය 27 වන සෙනසුරාදා දින ඔවුන්ගේ මංගල්‍යය කිරීමට සියලු‍ කටයුතු සූදානම් කර ඇත. එම දින පාන්දර තුනට ආසන්න ව තිබියදී සිය දියණිය සිටින කාමරයේ ඇය කෑගසන ශබ්දයක් ඇසී දිවගොස් බලනවිට ඇයගේ පැරැණි පෙම්වතා දියණිය ගේ කාමරයේ සිට පැමිණ නිවසේ පිටුපස දොරෙන් පිටව යන අයුරු දැක ඇත. එම මොහොතේ දෙමාපියන් විසින් දියණිය සිටින කාමරයට ගොස් බලනවිට ඇයගේ මුහුණ බෙල්ල සහ පිටකොන්ද දෙසට ඇසිඩ් ගසා ඇති බව දැක තිබේ. පසුව ඔවුන් විසින් සිය දියණිය මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැලිගම පොලිසියට පැමිණ පැමිණිල්ලක් දමා ඇත. පසුව වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්. අබේසේකර මහතා ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපුල් කුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම නිවසට ගොස් කරන ලද විමර්ශනවලින් අනතුරුව එම ඇසිඩ් ප්‍රහාරය එල්ල කලා යැයි සැකකරන තරුණියගේ පැරණි පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත.

ඇසිඩ් පහරින් තුවාල ලත් තරුණිය මේ වනවිට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිදු කිරීමට නියමිතව තිබූ මංගල්‍යය අතරමග නවතා දමා ඇත. මෙම සිද්ධිය වන අවස්ථාවේ විවාහ මංගල්‍යය වෙනුවෙන් සහභාගි වීමට නියමිත හාරසීයක පමණ පිරිසකට ආහාර පිළියෙල කරමින් තිබූ බව ද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්. අබේසේකර මහතා ගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපුල් කුමාර මහතා ඇතුළු නිලධාරින් විසින් සිදු කරයි.
මාතර අතිරේක ලලිත් පත්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment