මංගල තම මතවාදය උදෙසා නිරතුරුවම සටන් කළ දේශපාලනඥයෙක්… අගමැතිගෙන් ශෝක පණිවුඩයක්

195

මංගල සමරවීර මහතා අභියෝග හමුවේ තම මතයෙන් බැහැරව නොගොස්, සිය මතවාදය උදෙසා නිරතුරුවම සටන් කළ දේශපාලඥයෙක් යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍යවරයකු වූ මංගල සමරවීර මහතා වෙනුවෙන් ශෝක ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම ශෝක ප‍්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

 ශ‍්‍රී ලාංකේය දේශපාලනයේ නොමැකෙන මතකයන් ඉතිරි කළ සටන්කාමී දේශපාලනඥයකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය අසා මම බලවත් ශෝකයට පත්වූයෙමි.

 ලන්ඩන් නුවර ශාන්ත මාටිනස් විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබා 1983 දී නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙන මංගල සමරවීර මහතා දේශපාලනයට අත්පොත් තැබූ මුල් වකවානුවේ පටන් මාගේ මිත‍්‍රයෙකි. 1988 වසරේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ආසන සංවිධායකවරයා ලෙස පත්වූ මංගල සමරවීර මහතා 1989 මහ මැතිවරණය විශිෂ්ට ලෙස ජයග‍්‍රහණය කර පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

 යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සටන් කරන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නියෝජනය කරන්නෙකු ලෙස එකල මංගල සමරවීර මහතා පෙරට ආවේය. 88-89 භීෂණ සමයේ ඝාතන හා පැහැරගැනීම්වලට එරෙහිව මංගල සමරවීර මහතා පිහිටුවූ ”මව් පෙරමුණ’’ සංවිධානයේ අපි සම කැඳවුම්කරුවන් ලෙස කටයුතු කළෙමු. දාහත් වසරක දුර්දාන්ත පාලනයට එරෙහිව අප මෙහෙයවූ පාද යාත‍්‍රාව සාර්ථක කර ගැනීමට මාතර සංවිධායක ලෙස එදා මංගල සමරවීර මහතා කළ මෙහෙවර ද කිසිදා අමතක කළ නොහැකිය.

 සිංහල දෙමළ මුස්ලිම් සියලූ ජන කොටස් නියෝජනය කරන ලිබරල් මතධාරියකු ලෙස සිය දේශපාලනය පෙරට ගෙන ආ මංගල සමරවීර මහතා, 1994 වර්ෂයේදී පළමු කැබිනට් ඇමැති ධුරයට පත්වූ දා සිට විවිධ ආණ්ඩුවල වගකිවයුතු අමාත්‍ය ධුර රැුසක් හෙබවීය. තැපැල් හා විදුලි සංදේශ, නාගරික සංවර්ධන, වරාය, ගුවන් සේවා, ජනමාධ්‍ය, විදේශ කටයුතු සහ මුදල් අමාත්‍ය ධුර දරමින් තමන්ට පැවරුණු අදාළ විෂය පථ නව මාවතකින් ඉදිරියට ගෙන යෑමට මංගල සමරවීර මහතා උත්සාහ දැරීය. සංහිඳියාව පිළිබඳව විශ්වාසය තැබූ මංගල සමරවීර මහතා දේශපාලනයේදී නිර්මාණශීලී මිනිසෙකි. අභියෝග හමුවේ තම මතයෙන් බැහැරව නොගිය ඔහු සිය මතවාදය උදෙසා නිරතුරුවම සටන් කළේය. පසුකාලීනව මතවාදී වශයෙන් වෙනස් දේශපාලන කඳවුරු නියෝජනය කළද මියයනතුරුම මංගල සමරවීර මහතා මාගේ පෞද්ගලික මිත‍්‍රයෙකි. 2005 ජනාධිපතිවරණයේදී මාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මංගල සමරවීර මහතා කළ කැපකිරීම නොමියෙන මතකයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයේ නොමැකෙන ලකුණක් වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට නිවන් සුව අත්වේවා! යැයි ප‍්‍රාර්ථනා කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment