මංගල සිහිනය කඩාවැටෙද්දී යෝජිත මනාලයාගෙන් මනාලියට යකාගේ බිලක්

1042

පුවත්පතක පළවූ මංගල දැන්වීමකට අදාළව සහකාරිය බැලීමට ඇගේ නිවසට පැමිණි අවස්ථාවේ රැගෙන ආ කේක් සහ කෙසෙල්ගෙඩි ඇතුළු භාණ්ඩ වලට වැයවූ මුදල ලබාදෙන ලෙස ඉල්ලා සහකරුවකු මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි.

පැමිණිලිකාර සහකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකි. සහකාරිය මිනුවන්ගොඩ පොලිස් වසමේ පදිංචි 43 හැවිරිදි තරුණියකි. තරුණියගේ දෙමව්පියන් විසින් තම දියණියට සුදුසු සහකරුවෙකු සොයා ගැනීම සඳහා පුවත්පතක මංගල දැන්වීමක් පළකර තිබේ.

එම මංගල දැන්වීමට අදාළව පැමිණිලිකාර සහකරු ඥාතීන් පිරිසක්ද පිරිවරාගෙන තරුණියගේ නිවසට පැමිණ ඇති බව පොලිසිය කියයි. නිවසට පැමිණි එම පිරිසට තේ පැන් සංග්‍රහයක් සහ දිවා ආහාරය සැපයීමට තරුණියගේ පාර්ශ්වය කටයුතු කර ඇති බව පොලිසිය පැවසීය. පැමිණිලිකාර සහකරු නැවත අවස්ථා 04 කදී තරුණියගේ නිවසට කේක් ගෙඩියක් සහ කෙසෙල් ඇවරියක් රැගෙන පැමිණ ඇතත් තරුණිය ඔහුට ප්‍රියමනාප නොමැති බව තරුණියගේ දෙමාපියන් සහකරුට දන්වා ඇති බව පොලිසිය කීය.

ඊට උරණ වූ සහකරු තමන් එම නිවසට යන විට රැගෙන ගිය කේක් සහ කෙසෙල් ඇවරිවලට වැය වූ මුදල් ඉල්ලා මෙසේ මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි (උ.පො.ප.) එම්. කේ. රමණී නිලධාරිනිය එම පැමිණිල්ලට අදාළව තරුණියගේ පාර්ශ්වයද පොලිසියට කැඳවා කළ විමර්ශනයේදී පැමිණිළිකරුට ගිය වියදමට වැඩි වියදමක් ඔහුට සහ ඔහුගේ ඥාතීන්ට සැලකීමට වියදම් වූ බව තරුණියගේ පාර්ශ්වය පවසා තිබේ. පැමිණිලිකරු ඉල්ලා සිටින මුදල් ලබාදීමට තරුණිය ගේ පාර්ශ්වය පොලිසියේදී එකඟ නොවුණ හෙයින් සිවිල් නඩුවක් පවරා තරුණියගේ පාර්ශ්වයෙන් කේක් සහ කෙසෙල් ගෙඩිවලට වැය වූ මුදල් අයකර ගන්නා බවට පැමිණිලිකරු පොලිස් පොතේ අත්සන් තැබීමෙන් අනතුරුව දෙපාර්ශ්වය සාමයෙන් පොලිසියෙන් පිටව ගිය බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment