මංතීරු හතරයි… අතුරුගිරියේ සිට කැලණි පාලම දක්වා පළල්ම අධිවේගි මාර්ගය මෙන්න..

691

රුවන් ජයවර්ධන
 
” සංවර්ධනය” යනු වචනයෙන් එහා අවකාශය තුළ පවතින ඇත්ත ක‍්‍රියාවලියක්ය. එය මැතිවරණ වේදිකා දෙවනත් කරන ”වචනයක්” පමණක් නොවිය යුතුය. එහි ඇත්ත ප‍්‍රතිලාභ ජනතාවට හිමි විය යුතුය. එය වටහාගත් වත්මන් රජය මේ වන විට ඒ බව ප‍්‍රායෝගිකව ඔප්පු කරමින් ඇත. පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ පවා රට සංවර්ධනය කරා මෙහෙයවීම පිණිස අවශ්‍ය දැවැන්ත ව්‍යාපෘති ක‍්‍රියාත්මකය. එය කටවුට්වලින් තොර ඉලක්කගත සංවර්ධනයක්ය. රටක් සංවර්ධනය කරා යන ගමනේදී වැදගත්ම සාධකයක් ලෙස ගැනෙන දියුණු, විධිමත් මාර්ග පද්ධතියක අවශ්‍යතාවය හඳුනා ගන්නා රජය කඩිනමින් එය ක‍්‍රියාත්මක කිරීම පිණිස කටයුතු කරමින් සිටින අතර නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා ඉදිවන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මහ පොළොව මත සැබෑවක් බවට පත් වීමට නියමිතව ඇත්තේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. මංතීරු හතරකින් සමන්විත ව කුලූනු මත ඉදිවන මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හරහා දැනට කොළඹ නගරය තුළ පවතින මාර්ග තදබදය අවම කරගැනීම රජයේ අපේක්ෂාව බවට පත්ව ඇත. ඒ හරහා වාහන පිරිවැය පිණිස දැනට වැයවන අධික මුදලක් ඉතිරි වන අතර දැනට ගමනා ගමනයේදී නිකරුණේ වැය වන කාලයට වටිනාකමක් එකතු වීමට ද නියමිතය. ඒ අනුව වර්ෂ 2025 දී නිම වීමට නියමිත මෙම අධිවේගී මාර්ගය ජනතා අයිතියට පැවරීමෙන් අනතුරුව රුපියල් මිලියන 6060 ක වාර්ෂික ඉතිරියක් සිදුවන අතර එම මුදල තවත් වසර 25ක් ගත වීමෙන් අනතුරුව එනම් 2050 වර්ෂය වන විට රුපියල් මිලියන 19300ක් දක්වා ඉහළ යනු ඇතැයි ගණනය කොට ඇත. ඊට අමතරව මෙම නව අධිවේගී මාර්ගයෙන් හේතුවෙන් හිමිවීමට නියමිත ආර්ථික සහ මූල්‍යමය ප‍්‍රතිලාභ ගත්කල 2025 වර්ෂය දී රුපියල් මිලියන 6080 ක වාර්ෂික ආදායමක් අපේක්ෂා කරන අතර 2050 වර්ෂය වන විට එම වාර්ෂික ආදායම රුපියල් මිලියන 30100ක් දක්වා ඉහළ අගයක් ගනු ඇත.
 
 ප‍්‍රවාහන අමාත්‍යංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව සිදු කරනු ලබන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සැබෑවක් බවට පත්වීමත් සමඟ මේ වන විට අතුරුගිරිය සිට නව කැලණි පාලම දක්වා වැයවන පැයක ධාවන කාලය මිනිත්තු 15කට ආසන්න කාලයක් දක්වා අඩුවන අතර අතුරුගිරිය සිට රාජගිරිය දක්වා මාර්ගයේ දැනට ධාවනය වන රථවාහන ප‍්‍රමාණයෙන් අඩක් යෝජිත මාර්ගයට යොමු කිරීමට නියමිතය. ඒ අනුව මාලබේ, අතුරුගිරිය, රාජගිරිය සහ බත්තරමුල්ල යන නගරවල දැනට පවතින වාහන තදබදය විශාල වශයෙන් අවම වීමක්ද දැක ගත හැක. ”සෞභාග්‍යයේ ඉදිරි දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් ”භෞතික අවකාශ භාවිතයේ නව ප‍්‍රවේශය” තුළ සඳහන් ”ගොඩබිම් ප‍්‍රවාහනය” අංශය යටතේ ඉදිවන මෙම නව අධිවේගී මාර්ගය ට අයත් ප‍්‍රධාන මාර්ගය කි.මී. 16.4 දිගකින් යුක්ත වන අතර ඊට අයත් පිවිසුම් මාර්ග කිලෝමීටර 15.3 දිගකින් යුක්තය. එහි ඉදිකිරීම් වසර තුනකින් අවසන් කිරීමට නියමිතය. ඉදිකිරීමට නියමිත මෙම අධිවේගී මාර්ගය ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේ දී නව කැලණි පාලමට සම්බන්ධ වන අතර අතුරුගිරියේදී පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ වේ. ඊට අමතරව දෙමටගොඩ, රාජගිරිය, කොස්වත්ත සහ හෝකන්දර යන ස්ථාන හතරක අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදිවීමට නියමිතය. ඒ අනුව බත්තරමුල්ල පරිපාලන අගනුවර හා පාර්ලිමේන්තුව වෙත කොළඹ නාගරික ප‍්‍රදේශයේ සිට ප‍්‍රවේශය සැපයීම මෙන්ම අධිවේගී මාර්ග ජාලය සම්බන්ධ කරමින් නව කැලණි පාලම ව්‍යාපෘතියට සහ පිටත වටරවුම් මාර්ගය වෙත ද මෙම නව අධිවේගී මාර්ගය හරහා ප‍්‍රවේශය ලබාගත හැක. දැනට සිදුකරමින් පවතින වරාය ප‍්‍රවේශ කණු මත ඉදිවෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිම වීමත් සමග මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ වරාය හා කොළඹ වරාය නගරය අධිවේගී මාර්ග ජාලය සමග සම්බන්ධ වීමක් ද සිදු වන අතර එමගින් කොළඹ වරායේ සිට සැපයුම් ප‍්‍රවාහන තදබදය ලිහිල් වීමක් ද සිදු වනු ඇත.
 
 නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා ඉදිවන මෙම නව අධිවේගී මාර්ගය හේතුවෙන් බලපෑමට ලක් වන දෙමටගොඩ, වනාතමුල්ල සහ මීතොටමුල්ල යන නාගරික ප‍්‍රදේශවල පදිංචි පවුලේ 1100 ක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද මහල් නිවාස ලබාදීමට ද නියමිතය. මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම තුළ දකින්නට ලැබෙන තවත් සුවිශේෂී කරුණු කිහිපයක් වේ. අදාළ ඉදිකිරීම කණු මතින් ඉදිවන එකක් බැවින් පවත්නා ජල මාර්ග, ගංවතුර මට්ටම පරිසරය හා සතුන්ට සිදුවීමට නියමිත බලපෑම අවම අගයක් ගන්නා අතර මෙම ඉදිකිරීම් කාලය තුළ හා එහි මෙහෙයුම් කාලය තුළ මධ්‍යම පරිසර අධිකාරියේ සීමාවන් හා මාර්ගෝපදේශයන්ට යටත්ව පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පරිසරයට වන අවහිරතාවයන් යථා තත්ත්වයට පත් කිරීම සඳහාත් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට නියමිතය. ඊට අමතරව යෝජිත අධිවේගී මාර්ගය ආශ‍්‍රිතව පරිසර හිතකාමී කලාපයක් නිර්මාණය කිරීම ද මෙම ව්‍යාපෘතියට අයත් තවත් අංගයක්ය.
 
 විදේශීය සෘජු ආයෝජන හරහා සැලසුම්, ඉදිකිරීම්, මූල්‍යකරණය, මෙහෙයුම් නඩත්තු සහ පැවරීම (DBFOMT) පදනම මත සිදු කරන මෙම ව්‍යාපෘතිය එම පදනම මත මෙරට ඉදි කරනු ලබන ප‍්‍රථම මාර්ග ව්‍යාපෘතිය බවට ද පත්වන්නේය. රුපියල් බිලියන 134.9ක වියදමෙන් ඉදිවෙන මෙම කුලූනු මත ඉදිවන මෙම නව අධිවේගී මාර්ගය බිම් මට්ටමේ සිට මීටර් 8.2ක ඉහළින් ඉදි කිරීමට නියමිත අතර භූමියේ පිහිටීම අනුව ඇතැම් ස්ථානවල දී එම අගය යම් යම් වෙනස්කම් ආදියට ලක් වීමට නියමිතය. තරගකාරී මිල ගණන් කැඳවීමේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය යටතේ අවම ලංසුව ඉදිරිපත් කළ සීමාසහිත චයිනා හාබර් ඉංජිනේරු සමාගම මෙම ආයෝජන ව්‍යාපෘතිය සිදුකිරීමට තෝරාගෙන තිබෙන අතර ලොව නවීනතම තාක්ෂණය යටතේ මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදු වෙනු ඇත. ඉකුත් ජුනි මස 07 වන දිනට යෙදුන සුභ මොහොතින් මෙහි වැඩ කටයුතු ආරම්භ කළ අතර අරලියගහ මන්දිරයේ පැවැති එම සමාරම්භක උත්සවය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment