මං රට පාලනය කරන විට…

1364

ජනතාවගේ ප‍්‍රශ්න කතා කිරීම තනතුරුවලින් ඉවත් කිරීමට හේතුවක් නම් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා කී බව අන්තර්ජාලයේ පළවී ඇත. මෙය කවර අවස්ථාවකදී කවර තැනක කෙරුණු ප‍්‍රකාශයක් ද යන්න අන්තර්ජාලයේ සඳහන් වී නැත. එසේ වුවද මේ කතාව ඇත්ත නම් නිමල් ලන්සා අපේ ගෞරවයට පාත‍්‍ර වන්නේය. ඔහු මෙයින් මතක් කර දෙන්නේ දෙල්කඳ පොළේදී සුසිල් පේ‍්‍රමජයන්තට ඇදුනු Neak Cut ලොතරැයියේ පළවෙනි තෑග්ග ගැන විය යුතුය. අප දන්නා ඉතිහාසයේ රාජ්‍ය තන්ත‍්‍රයේ කුණු වැඩවලට එරෙහිව අවංක චේතනාවෙන් ඉල්ලා අස්වූ එකම ඇමැතිවරයා ජේ. ආර්. ජයවර්ධනගේ ඇමැති මණ්ඩලයේ සිටි ගාමණි ජයසූරිය පමණි. ධර්මපාලතුමාගේ මුනුපුරකු මෙන්ම කරු ජයසූරියගේ ද ඥාතියකු වන හෙතෙම ජේ. ආර්. ජයවර්ධන ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කර මේ රට ඉන්දියාවේ ප‍්‍රාන්තයක් කිරීමට සූදානම් වෙද්දී ඊට එරෙහිව තනි මතයට ඉල්ලා අස්විය.

ඔහු හැරෙන්නට පසුගිය කාලයේ මේ රටේ ජනාධිපතිවරුන්ට ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් සියලූම ඇමැතිවරු එසේ කළේ ජනාධිපතිතුමා ඒ ලියවිල්ල භාර නොගන්නා බව දැනගෙන ය. කෙසේ වුවද සුසිල් පේ‍්‍රමජයන්ත පිළිබඳව ඉඟියකින් හෝ අදහස් පළ කිරීමට නිමල් ලන්සා ඉදිරිපත් වීම මේ මොහොතේ මේ රටේ තිබෙන දේශපාලනයේ වැදගත් අවස්ථාවකි. නිමල් ලන්සාගේ සිද්ධිය අප සාකච්ඡුාවට ගත්තේ වෙනත් නිමිත්තක් සාකච්ඡුා කරනු පිණිස ආරම්භයක් ගනු පිණිසය. ”මං රට පාලනය කරද්දී පවතින ක‍්‍රමය වෙනස් කරනවා” යැයි උවිඳු විජේවීර නාවුල දී කියා තිබේ. මෙකී ‘මං රට පාලනය කරද්දී’ යන සංකල්පය ඒ තරම් සුදුසු සිතුවිල්ලක් නොවේ. රට පාලනය කරන විට මාත් සමග තව බොහෝ දෙනෙක් ඊට එකතු වන බව රාජ්‍ය පාලකයා මතක තබා ගත යුතුය. නැතහොත් ටික දිනකින් සිදුවන්නේ පාලකයා රට පාලනය කරනවා වෙනුවට රට විසින් පාලකයා පාලනය කරනු ලැබීමය.

නැසීගිය රෝහණ විජේවීරගේ බාල පුත‍්‍රයා වන උවිඳු විජේවීර උගත් තරුණයකු වන අතර දෙවන පරපුර නමැති දේශපාලන සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරයි. අප දන්නා පරිදි මෙය දැනට තිබෙන ජවිපෙට වඩා වෙනස් ප‍්‍රතිසංස්කරණවාදී දේශපාලන එකමුතුවකි. ඔහු පිටරට අධ්‍යාපනය නිම කර ලංකාවට ආවේ මේ ළඟදීය. එමතු ද නොව සිය පළමුවන දේශපාලන සම්මුඛ සාකච්ඡුාව ලබා දුන්නේ ‘දිවයින’ට ය. මේ තරුණයාගේ පියා ජනතා විමුක්ති පෙරමුණ පාලනය කළ අවසන් සමයේදී ‘දිවයින’ සමග යහපත් මතවාදී සම්බන්ධයක් පැවැත්වීය. එනම් ජේ. ආර්. විසින් ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමට රෝහණ විජේවීර එරෙහි විය. දිවයින ද ඊට එරෙහි විය. එබැවින් දෙගොල්ලොම එක මතවාදයක් යටදී එකට එකතු වූහ. මේ නිසා දිවයින සහ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ අතර සම්බන්ධයක් ඇති බව කල්පනා කළ ජේ. ආර්. දිවයිනට හතර අතේ නෙළන්නට විය. 1988 – 89 වකවානුවේදී ජනතා විමුක්ති පෙරමුණ Under Ground ගොස් සැඟව සිටි අවස්ථාවේදී විජේවීර දුන් පළමුවන සම්මුඛ සාකච්ඡාව දිවයිනේ පළවිය.

මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ මූලාරම්භකයන් සමග මේ පුවත්පතට ඉතා හොඳ සම්බන්ධයක් තිබිණ. 1971 පළවෙනි කැරැල්ලෙන් පසු රෝහණ විජේවීරට විරුද්ධව පක්ෂය තුළින් ලොකු චෝදනාවක් එල්ල විය. ඒ වූකලී ‘මං රට පාලනය කරන න්‍යායෙන් මං පක්ෂය ද පාලනය කිරීම’ය. විජේවීරගේ ඒකාධිපති පාලන ස්වරූපයට විරුද්ධ වූ පාක්ෂිකයන් පිරිසක් ජවිපෙන් කැඞී ගොස් ජනතා සංගමය නමැති දේශපාලන ව්‍යාපාරයක් හදා ගත්හ. විජේවීර විසින් පාලනය කරන ලද ජවිපෙ සෙට් එකක් ජනතා සංගමයේ සාමාජිකයන්ගේ අත පය කඩා එම සංවිධානය මර්දනය කළේය. විජේවීරගේ මතවාදයට එරෙහි වූ ඔහුගේ මස්සිනා හෙවත් බිරිඳගේ වැඩිමහලූ සහෝදරයා වූද ලංකා ගුරු සංගමයේ හිටපු සභාපතිවරයකු වූද එච්. එන්. ප‍්‍රනාන්දු මගදී අල්ලාගත් පෙර කී ජවිපෙ සෙට් එක ඔහුට ඉතා දරුණු ලෙස පහර දුන්නේය. ඉන්පසු එච්. එන්. ප‍්‍රනාන්දු මැරෙන තුරු දිගටම සිටියේ සිහිමද ගතියෙනි. ‘මං තමයි පාලකයා’ යන පිරමීඩයේ මුදුනින් බිමට බැස වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී තැනකින් පක්ෂය හසුරුවන ලද්දේ නම් විජේවීර අදටත් ජීවතුන් අතර ය. නැත. සමාවෙන්න. විජේවීර කොහොම හිටියත් එදා තිබූ යූඑන්පි ය ඔහු මරණ එක නියතය. මන්ද යත් ඒ වන විට යූඑන්පි යට තිබූ ලොකුම අභියෝගය වූයේ නන්නත්තාර වී දෙකඩ වී තිබූ ශ‍්‍රී ලනිප ය නොව ජනතා විමුක්ති පෙරමුණ වීමය.

තමා රට පාලනය කරන කාලයක පාර්ලිමේන්තුවට ඉහළින් බුද්ධි මණ්ඩලයක් පිහිටුවන බව උවිඳු විජේවීර කියා තිබේ. මෙය ලෝක ලෙඩකි. ඡුන්දය ඉල්ලා එයින් ජයගෙන පාර්ලිමේන්තුවට එන මේ රටේ ඇතැම් මැටි හරක් බුද්ධි මණ්ඩලවලට සවන් දෙන්නේ නැත. එය මේ රටේ සංස්කෘතියේ කොටසක් ද නොවේ. ඒ නිසා වඩාත්ම සුදුසු වන්නේ උගත් සහ බුද්ධිමත් අපේක්ෂකයන් මැතිවරණයට ඉදිරිපත් කොට ඔවුන් පාර්ලිමේන්තුවට යැවීම ය. එවිට මුළු පාර්ලිමේන්තුවම බුද්ධි මණ්ඩලයක් වන බැවින් උවිඳු විජේවීරට නිදහසේ ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීමට අවස්ථාව ලැබෙන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment