මගියාගේ පා පහරින් දුම්රිය ආරක්‍ෂකයා මරුට

846

දුම්රිය ආරක්ෂකයාගේ මරණයට සැකපිට ඇල්ලූ දෙදෙනා රිමාන්ඩ්

කොළඹ කොටුවෙන් රාත්‍රී 10:30 ට ගමන් ආරම්භ කර කන්කසන්තුරේ බලා ධාවනය වූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ සිටි දුම්රිය ආරක්ෂක නිලධාරීන් සහ එහි ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් ඉන් එක් මගියකු එල්ල කළ පා පහරින් දුම්රිය ආරක්ෂක නිලධාරියකු වඳුරව දුම්රිය ස්ථානය අසල දී පසුගිය (22දා) රාත්‍රී 11.20 ට පමණ දුම්රිය දොරෙන් පිටතට විසිවී බිම ඇද වැටී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ නො 89, ඔරුතොට පාර, ඉහළ යාගොඩ ලිපිනයෙහි පදිංචිව සිටි ෂර්ලි ලක්ෂ්මන් දිසානායක නැමැති 52 හැවිරිදි දෙදරු පියෙකි.

මොහු දුම්රිය ආරක්ෂක හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ නායකයා බව පැවසේ.

මත්පැන් පානය කරමින් දුම්රියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු පිළිබඳව දුම්රිය තුළ සිටි ප්‍රවේශපත්‍රය පරීක්ෂකවරුන් විසින් සිදුකළ දැනුම්දීමක් මත එහි සිටි දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනා විසින් ඔවුන් පරීක්ෂා කිරීමට යෑමේදී එම පුද්ගලයන් දෙදෙනා ආරක්ෂක නිලධාරීන් හට බැණ වැදී ඇත.

පසුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා එම දුම්රිය මැදිරියෙන් වෙනත් දුම්රිය මැදිරියකට ගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ ඉන් එක් අයකු දුම්රිය ආරක්ෂක නිලධාරියාට පා පහරක් එල්ල කර ඇති අතර එහිදී එම දුම්රිය ආරක්ෂක නිලධාරියා දුම්රිය දොරෙන් පිටතට විසි වී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

මත්පැන් පානය කරමින් සිටි මෙම මගීන් දෙදෙනා සතුව දුම්රිය ප්‍රවේශ පත්‍ර නොතිබූ බවද දුම්රියේ සිටි අනෙත් දුම්රිය ආරක්ෂක නිලධාරියා පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධ අදාළ සැකකරුවන් දෙදෙනා දුම්රියේ ගමන්ගත් අනිත් මගීන්ගේ ද සහාය ඇතිව මීරිගමදී මිරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හමුදා සෙබළකු සහ සේවය කර ඇති බව කියන දුම්රිය භෝජනාගාරයක සේවකයකු බව හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.

මෙම දුම්රිය තුළ දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සිට ඇති අතර මියගිය ආරක්ෂක නිලධාරියා සමග සිටි අනෙක් නිලධාරියාගෙන් වේයන්ගොඩ පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කර ගැනිණි.

වදුරුව දුම්රිය ස්ථානයේ සිට මීටර් සීයක් පමණ දුරින් මියගිය දුම්රිය ආරක්ෂක නිලධාරියාගේ මළසිරුර වැටී තිබිණි. ඊට ආසන්නයේ මියගිය දුම්රිය ආරක්ෂක නිලධාරියාගේ නිල හිස්වැසුම සහ බඳ පටියද වැටී තිබෙන අයුරු දක්නට තිබිණ.

ආරක්ෂක නිලධාරියා මියගිය ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය අත්තනගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්තුමිය විසින් සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල රෝහලේ දී පවත්වන ලෙසට නියෝග කළාය.

මගියාගේ පා පහරින් දුම්රිය ආරක්‍ෂකයා මරුට


වේයන්ගොඩ – ඉන්දික තුෂාර

දුම්රිය ආරක්ෂක නිලධාරියා (සැරයන්) මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ අත්තනගල්ල මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරිණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ නොච්චියාගම මොරගහවැව ප්‍රදේශයේ පදිංචි ජනක ප්‍රියදර්ශන සෙනරත් (30) නැමැති කොළඹ යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන සෙබළෙකු සහ අනුරාධපුර සාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි උදාර ප්‍රසන්න (24) නැමැති අයකු බව පොලිසිය පවසයි.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment