මගේ ජීවිතයට පසුතැවෙන්න තරම් දෙයක් වෙලා නෑ – සේමිණී

418

මට නයිටිය ඇඳගෙන ගලහ ටවුන් එකේම දුවන්න සිද්ධ වුණා….
මිනිස්සු විශ්වාස කරලා කරදරේ වැටෙන්න ගිය අවස්ථා ගොඩයි….
සුද්දි නිසා මම යළි ඉපදුණා….

ප්‍රවීණ සිනමාකරුවෙක් වගේම අධ්‍යක්‍ෂවරයෙක් වන ප්‍රසන්න ජයකොඩි දශක දෙකකට පසුව රූපවාහිනියට ගොඩවෙලා. ඒ එයා දැන් බැඳලා ටෙලි නාර්මාණය තුළින්. එයා දැන් බැඳලා තුළින් අපට මුණ ගැසෙනවා. ඔයාලා කවුරුත් රිදී තිරයේදී ආදරය කරපු සුද්දිව. කවුද මේ සුද්දි. ඇය වෙන කවුරුත් නෙමෙයි ඔයාල වගේම අපි හැමෝම දන්න සේමිණී ඉද්දමල්ගොඩ. ඇයත් රූපවාහිනියට ගොඩවෙන්නේ දශකයකට ඔන්න මෙන්න තිබියදී. ඇත්තටම දිගු නිහැඬියාවකට පසුව සේමිණී සුද්දි ගැන හඬ අවදි කළා.

● රිදී තිරයේ හිටපු සුද්දි පුංචි තිරයට ඇවිල්ලා, ඇත්තටම පුංචි තිරයේ සුද්දිව මිනිස්සු ආමන්ත්‍රණය කරන්නේ මොන විදිහටද?

සුද්දි කියන ආමන්ත්‍රණය මට නුපුරුදු ආමන්ත්‍රණයක් නෙමෙයි. මොකද මම සුදු හින්දා පුංචි කාලේ මගේ ආච්චි අම්මත් මට කතා කළේ සුද්දි කියලා. ඒ නිසා ඒ ආමන්ත්‍රණය හොඳට හුරුයි. 28 චිත්‍රපටයේ දිගුවක් තමයි එයා දැන් බැඳලා ටෙලි නාට්‍ය. ඇත්තටම ප්‍රසන්න අයියා මේකත් චිත්‍රපටයකට ලියපු පිටපතක්. 28 චිත්‍රපටයේ හිටපු සුද්දි මැරිලා. අනික 28 චිත්‍රපටයේ මම කියපු දෙබස් ටික එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයේ ජීවමාන වෙනවා. මම හිතන්නේ චිත්‍රපටය කරද්දී ගොඩක් අමාරු වුණා. මොකද අනෙක් අයගේ හිතේ ඇඳෙන්න මම රඟපාන්න වුණා වගේම දෙබස් කියන්න සිද්ධ වුණා. එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයේ මට ලොකු අපහසුවක් තිබුණේ නැහැ. මොකද මට අතපය දිග හැරලා සුද්දිව ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වුණා.

මගේ ජීවිතයට පසුතැවෙන්න තරම් දෙයක් වෙලා නෑ - සේමිණී

● එයා දැන් බැඳලා හි සුද්දිගේ පිටපත අතට ලැබෙන කොට මොකද හිතුණේ?

28 හිටපු සුද්දිගේ මුල් කාලයේ තමයි අපි දැන් කතා කරන්නේ. සුද්දි 28 හිටියේ මළ මිනියක් වෙලා. මේ දැන් ජීවමාන සුද්දි. ඇත්තටම 28 චිත්‍රපටය කරන කාලෙම ප්‍රසන්න අයියා අපිට කියලා තිබුණේ මේකේ ඉදිරි කතාන්දර දෙක තව පිටපත් දෙකකින් කතාන්දර දෙකක් වෙලා එනවා කියලා. ඒ වුණාට ඒක කරන්න වුණේ නැහැ. පසුගිය කාලයේ ඇතිවුණ ලෝක වසංගතය නිසා. ඉතිං ගෙවල්වලට හිරවෙලා ඉන්න කාලේ තමයි ප්‍රසන්න අයියා කිව්වේ මේක ටෙලි නාට්‍යයකට කරමු කියලා. ඇත්තටම එතකොට පිටපත භාගෙට තමයි ලියැවිලා තිබුණේ. කතාන්දරේ කිව්වේ ටෙලිෆෝන් එකෙන්. මහේන්ද්‍ර අයියගෙයි මගෙයි පුදුමාකාර බල කිරීමක් වුණා මේ පිටපතේ ඉතුරු ටික ලියන්න. ඊට පස්සේ ඒ පිටපත අකුරුවලින් අතට හම්බ වුණාහම මේක කරනකම් ඉවසුමක් තිබුණේ නැහැ. මේ නාට්‍යයේ කිසිම කෙනෙක් මුදල් බලලා වැඩ කළේ නැහැ. මේ පිටපත ඉතාම සුපිරි පිටපතක්. පෙරේත කමක් තමයි රංගන ශිල්පිණියක් විදිහට මට තිබුණේ.

● සුද්දි වටා මැවුණු චරිතත් මෙහිදී සුවිශේෂයි?

ඇත්තටම මහේන්ද්‍ර අයියා සිරි. සරත් අයියා පීතර, මනී කුරුල්ලා වගේ චරිත සුවිශේෂයි. චරිත තිබ්බේ අතළොස්සයි. මෙහි රංගනය එකිනෙකාට ලොකු තරගයක් වගේ තමයි තිබුණේ. සුද්දි මේ විදිහට ජීවමාන වෙන්න අධ්‍යක්‍ෂවරයාගේ ඩිරෙක්ටින් ස්ටයිල් එක හරි වැදගත් වෙනවා. ප්‍රසන්න අයියා වගේ අධ්‍යක්‍ෂවරයෙක් නොවෙන්න සුද්දිට මේ විදිහට ජීවමාන වෙන්න අමාරුයි. ඒ වගේමයි මහේන්ද්‍ර අයියා කියන්නේ රංගන පාසලක්. පීතර කියන්නෙත් රංගන පාසලක්. ප්‍රදීප් රාමවික්‍රම, ප්‍රසන්න ඇතුළු පිරිස මහේන්ද්‍ර අයියගේ ගෝලයෝ නිසා හොඳට වැඩේ කළා.

ෂූටින් කළේ නුවර ගලහ ප්‍රදේශයේ. සුද්දි නයිටියක් ඇඳලා ෂූටින් කරනකොට වට පිටාවෙන් ආවේ මොනවගේ අභියෝගයක්ද?

සිරිගේ ගෙදර සුළං කපොල්ලක් මැද්දේ තිබුණේ. එතකොට කොහොමද සීතල. නිෂ්පාදන කණ්ඩායමේ සියලුම දෙනා ජැකට් දාලා කන් වහගෙන ඉන්නකොට මගේ ඇත්තටම ඇඳුම් ඇත්තෙම නැහැ වගේ නේ. පුදුමාකාර සීතලක් තිබුණේ. අපි කොච්චර සීතලක් මැද්දේද රූගත කළේ කියලා මට හිතෙන්නේ නැහැ කාටවත් පේනේවි කියලා. ඒ වගේම තමයි සුද්දිට පුංචි නයිටි කෑල්ලක් ඇඳගෙන ගලහ මුළු ටවුන් එකේම දුවන්න සිද්ධ වුණා.

ඒ වගේ වෙලාවල්වල අධ්‍යක්‍ෂවරයා සමග මත ගැටුම් එහෙම ඇතිවුණ අවස්ථා තියෙනවාද?

කොහෙත්ම නැහැ. කිසිම මත ගැටුමක් නැහැ. ඒ චරිතයට ඒ රංගනය සහ ඇඳුම් පැළඳුම් අනිවාර්යයි. සුද්දිට ඒ කියන වස්ත්‍රාභරණ නැතිනම් එළියක් ලැබෙන්නේ නැහැ. මට කිසිම ලැජ්ජාවක් තිබුණේ නෑ. නගරයේදීවත් කිසිම කෙනෙක් වැරදි ඇහැකින් අපි දිහා බලන්න වැරදි දෙයක් කියන්න එහෙම ආවෙ නැහැ. බොහොම ගෞරවයෙන් තමයි රසිකයෝ ඇවිත් කතා බහ කළේ.

මගේ ජීවිතයට පසුතැවෙන්න තරම් දෙයක් වෙලා නෑ - සේමිණී

සුද්දි වෙනුවෙන් මොන වගේ කැප කිරීම්ද කරන්න සිද්ධ වුණේ.

අපි මේ ටෙලි නාට්‍ය රූගත කළේ කොරෝනා වසංගතය තදටම තිබුණ කාලයේ. ඉතිං අපි සති පහක් පුරාවට නිරෝධායන නීතිවලට අනුකූලව තමයි රූගත කිරීම් සිදුකළේ. අනිත් එක අපි ගොඩක් සැප පහසුකම් හෙව්වේ නැහැ. අපිට ඕනෑ වුණේ නිර්මාණය ප්‍රේක්‍ෂකයාට ලබාදීමේ වුවමනාවයි. බොහොම සරලව පවුලක් විදිහට වැඩ කළා.

සුද්දි වගේ චරිත ඔබේ ජීවිතයට මුණ ගැසිලා තියෙනවාද?

සුද්දි වගේ චරිත මුණගැහිලා තියෙනවා. සුද්දිගේ චරිතය මම අසම්මතයක් කියල පිළිගන්න කැමති නැහැ. මොකද විශේෂයෙන් පිරිමියෙක් නිසා තමයි කාන්තාවෝ සුද්දි වගේ තත්ත්වයට පත්වෙන්නේ. අපේ සමාජය ගත්තම ඒ වගේ අය ඕනෑ තරම් මුණගැහිලා තිබෙනවා. ඒක මහලොකු වැරැද්දක් කියල කියන්න බැහැ. තමන්ගේ අසරණකමක් නිසානේ එහෙම වෙන්නේ. ඒ අතින් බැලුවහම කාන්තාවෝ හරි අසරණයි.

28 සුද්දි වගේම එයා දැන් බැඳලා සුද්දිටත් ඇගයීමක්

ලැබේවි කියලා ඔබට විශ්වාසද?

මම ඒක කියන්න දන්නෙ නැහැ. මම රඟපෑ වැඩි හරියක් ටෙලි නාට්‍යවල හොඳම නිළියගේ නිර්දේශිත නාම ගොන්නට මගේ නමත් ලියැවිලා තිබුණා. හැබැයි මට අද වෙනතුරු ටෙලි නාට්‍යවල ඒ සම්මානය අතට ලැබිලා නැහැ. ඉතිං මම ඉස්සරහට කොහොම වෙයිද කියන්නත් දන්නේ නැහැ. ප්‍රේක්‍ෂකයෝ මට සුද්දි කියල කතා කරන කොටත් ඒකත් සම්මානයක් කියලා මම පිළිගන්නවා.

මගේ ජීවිතයට පසුතැවෙන්න තරම් දෙයක් වෙලා නෑ - සේමිණී

හොඳම නිළිය සම්මානය නොලැබීම ගැන දුකක් තියෙනවාද?

පෘතග්ජන මනුස්සයෙක් විදිහට එහෙම දුකක් නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්. ඉතිං එහෙම හිතේ කනගාටුවක් නොතිබ්බා නෙමෙයි. නමුත් ටිකක් පරිණත වෙනකොට තමයි තේරෙන්නේ හිමි දේ විතරයි ජීවිතයේ ලැබෙන්නේ කියලා. අපිට කිසි දෙයක් බලෙන් ගන්න බැහැ. ලංකාවේ මම කවදාවත් ජනප්‍රිය නිළිය ලිස්ට් එකකටවත් ඇවිත් නැහැ. ඒ පැත්තෙන් මට තවත් සතුටුවෙන්න පුළුවන්. මොකද මම බලෙන් ඒ දේවල් ලබාගන්න උත්සාහ කරල නැහැ. ඇත්තටම මට හිමි දෙයක් විතරයි මගේ ජීවිතයට ලැබිලා තියෙන්නේ.

මේ දිනවල සුද්දිගෙ චරිතය විතරද භාර ගත්තේ?

නැහැ. ඇත්තටම මම ඔය ටෙලි නාට්‍යයක රඟපෑවේ අවුරුදු නවයකින් විතර. මම පසුගිය කාලයේ කළේ චිත්‍රපට විතරයි. මම පසුගිය කාලේ ටෙලි නාට්‍ය දෙකකට විතර සම්බන්ධ වුණා.

සේමිණී ඔබට සුදුසුමයි කියලා හිතෙන චරිත විතරද භාර ගන්නේ?

ඔව්. මම එදා ඉඳලා එහෙමයි. මගේ පළමු නාට්‍ය ඉරබටු තරුව එහෙම කළා. ඊට පස්සේ හැමදාම තෝරා බේරාගත් චරිත විතරමයි කළේ. මට ලැබෙන හැම දේම කළේ නෑ. අදටත් එහෙමයි. දක්‍ෂ අධ්‍යක්‍ෂවරු යටතේ අධ්‍යක්‍ෂණය වෙන්න තමයි මම කැමති.

මගේ ජීවිතයට පසුතැවෙන්න තරම් දෙයක් වෙලා නෑ - සේමිණී

සුද්දි පුංචි තිරයේ ඉන්නේ කොච්චර කාලයක්ද?

මේ ටෙලි නාට්‍ය කොටස් විසිහතෙන් ඉවර වෙනවා. හැබැයි ඉතිං හැමටෝම ලෝභ කමක් ඇතිවේවි ‘අනේ තව තිබුණා නම්’ කියලා. ඒ වගේ ලෝභ කමක් එන තැනකට ගෙනැල්ලා නැවැත්තුවා.

සුද්දි අනාගතයේ මොන වගේ තීරණ ගනීවිද?

කාන්තාවක් ඔය වගේ තත්ත්වයකට පත්වෙනකොට ඒක පිටිපස්සේ අනිවාර්යයෙන්ම පිරිමියෙක් ඉන්නවා. සමාජය විසින්ම සුද්දිට හොඳ ගැහැනියක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. සුද්දි කොච්චර උත්සාහ කළත් ඒ පවුල රැකගන්න සුද්දිට ඒ තැනට එන්න ඉඩ දුන්නේම නැහැ.

ඔබේ රංගන ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?

ඇත්තටම මට සතුටුයි. ඒක ආඩම්බරයි. මම බොහොම පොඩි ටෙලි නාට්‍ය කිහිපයකට තමයි සම්බන්ධ වුණේ. අතේ ඇඟිලි ගාණට වැඩිය පොඩ්ඩක් වැඩිය ඇති. මම මේ ක්‍ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු විසි ගණනක් වෙනවා. මට ඕනෑ නම් ටෙලි නාට්‍ය 200 ක 300 ක විතර වැඩ කරන්න තිබුණා. ඒ වුණාට මම වැඩ කළේ නැහැ. මම වැඩ කළේ ටෙලි නාට්‍ය අතළොස්සක විතරයි. ඒ අතළොස්සටත් ප්‍රේක්‍ෂකයාගේ ආදරය, ගෞරවය අදටත් ලැබෙනවා. මම හිතන්නේ මිනිස්සු මාව දකින්නේ අවුරුදු 9 කට විතර පස්සේ. ඉතිං එහෙම ඉඳලත් ඔවුන්ගේ ආදරය මට නොලැබී තිබුණේ නැහැ. ඒක හැමදාම එක වගේ ලැබුණා. මම සතුටු වෙනවා ආඩම්බර වෙනවා මම ගත්තු තීරණ ගැන සහ ඒ සම්බන්ධ නිර්මාණ ගැනත් එහෙමයි.

ජීවිතයේ පසුතැවීම් එහෙම තියෙනවාද?

පෞද්ගලික ජීවිතය පැත්තෙන් මට කිසිම පසුතැවීමක් නැහැ. මට මේ ලෝකයෙ හම්බවෙන්න තියෙන හොඳම දේවල් ටික මට ලැබිලා තියෙනවා. ජීවිතයේ ආපස්සට හැරලා පසුතැවෙනවා නම් පසුතැවෙන්න තියෙන්නේ ඕනෑවට වැඩිය මිනිස්සු විශ්වාස කරලා කරදරේ වැටෙන්න ගිය අවස්ථා ගොඩක් තිබුණා. මගේ ජීවිතයට පසුතැවෙන්න තරම් දෙයක් වෙලා නෑ.

වසර අටක නිහැඬියාව බින්ද සේමිණීට රසිකයන්ට මොනවද කියන්න තියන්නේ.

එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයේ රඟපෑම එක්ක මම නැවත ඉපදීමක් වගේ දෙයක් සිද්ධ වුණා. පසුගිය කාලය පුරාවටම ඇයි දකින්න නැත්තේ කියලා සමහරු ඇහැව්වා. දැන් ඔවුන් හරි සතුටු වෙනවා. ආපහු මාව ඉතා හොඳ නිර්මාණයකින් දකින්න ලැබීම ගැන. ඒක ඇත්තටම අලුත්. තේරුමක් නැති වැඩක් කරනවාට වැඩිය තේරුමක් නැති දෙයකින් කාලයකට පස්සේ එළියට එනවා කියන්නෙ නැවත පටන් ගැනීමක්. හුඟක් අය කැමතියි මම එහෙම ආවාට.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment