මගේ ජීවිතයේ චණ්ඩිකම් තිබුණේ සිනමාවේ විතරයි

646

ශ්‍යාමා ආනන්ද කලකට පසු සිනමා කලා වෙත කතා කරයි

අපේ සිනමා වංශ කතාවේ එක් පරිච්ඡේදයක් වෙන් වන්නේ එම්. එස්. ආනන්ද නම්වූ සිනමාකරුවා වෙනුවෙනි. ද්‍රවිඩ ජාතිකයෙකු වූ ඔහුගේ සැබෑ නම එම්. එස්. ආනන්දන්ය. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකූ, කැමරා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම දෙබස් හා තිරනාටක රචකයෙකු ලෙස වසර පනස් පහකට ආසන්න කාලයක් සිය ජීවිතය කැප කළ ඔහු 2015 ජූනි 24 වැනිදා මෙලොව හැර ගියේය.

ලංකා චිත්‍රාගාරයේ ප්‍රධාන කැමරා ශිල්පියා වූ එම්. එස්. ආනන්ද 1959 වසරේදී ගැහැණු ළමයි චිත්‍රපටය කැමරා කරමින් සිනමාවට පිවිසියේය. සිතක මහිම, සත පනහ, ප්‍රවේශම් වන්න ඇතුළු චිත්‍රපට අටක් අධ්‍යක්ෂණය කළ හෙතෙම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රන්මුතු දූව (සහාය), අක්කර පහ, ගොළු හදවත, නිධානය, මඩොල් දූව ‘මෙන්ම ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි ’ කැමරා ශිල්පියා විය.

එම්. එස්. ආනන්ද 1969 වසරේදී තම හයමස් වියැති දියණිය සිනමා රංගනයට සම්බන්ධ කර ගන්නේය. ඒ රොබින් තම්පෝ නිපදවූ වෙන ස්වර්ගයක් කුමටද චිත්‍රපටයටය. ඇය ශ්‍යාමාය. එතැන් පටන් තමන් දායකවූ සුවිනීත ලාලනී, සුහද දිවි පිදුම, සිතක මහිම, සතපනහ, ඇතුල්වීම තහනම්, සෙනෙහස ඇතුළු චිත්‍රපට කීපයක ළමා චරිත සඳහා දියණිය ශ්‍යාමා එක්කර ගන්නා ආනන්ද බේබි ශ්‍යාමා ලෙස ඇය තිරයට හඳුන්වා දුන්නේය.

මගේ ජීවිතයේ චණ්ඩිකම් තිබුණේ සිනමාවේ විතරයි

1969 වසරේදී පියා විසින් නිෂ්පාදනය කළ ප්‍රථම චිත්‍රපටය ප්‍රවේශම්වන්න සිනමාපටයේ ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම සහ මාලිනී ෆොන්සේකා සමග ද්විත්ව චරිත රඟන බේබි ශ්‍යාමා එම වසරේ හොඳම ළමා නිළියට හිමි දීපශිකා සම්මානය හිමිකර ගත්තාය.

1975 දී එම්. එස්. ආනන්ද අපේ සිනමාවේ පෙරළියක් කළේය. ඒ සිය දියණිය ප්‍රධාන කේන්ද්‍රකර ගනිමින් චිත්‍රපට කීපයක් නිපදවීය. මගේ නංගි ශ්‍යාමා ඉන් පළමුවැන්නය. රෝයි ද සිලවා, එච්. ආර්. ජෝතිපාල සහ සුමනා අමරසිංහ සමග එහි රඟපෑ බේබි ශ්‍යාමා වඩාත් කතාබහට ලක්වූයේ චණ්ඩි ශ්‍යාමා චිත්‍රපටයෙනි. එහිද ඈ ද්විත්ව චරිත රඟපෑවේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමගිනි. වාණිජ අතින් ඉතා සාර්ථක වූ චණ්ඩි ශ්‍යාමා ඉහළ ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙස ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති සම්මානයද හිමිකර ගත්තේය. ඉන් පසු එම්. එස්. ආනන්ද 1982 දී “ හලෝ ශ්‍යාමා” නිර්මාණය කළේය. ශ්‍යාමා එහිද ගාමිණී ෆොන්සේකා සමග රඟපෑවාය.

බේබි ශ්‍යාමාගේ රංගන ජීවිතය වෙනසකට ලක්වූ චිත්‍රපටයක් වූයේ සුමිත්‍රා පීරිස්ගේ ගැහැණු ළමයිය. බේබි ශ්‍යාමා නමින් නොව ශ්‍යාමා ආනන්ද ලෙස ඇය ප්‍රේක්ෂකයා අතරට පැමිණියේ ගැහැනු ළමයිහි පද්මිණී නමැති චරිතයෙන් බව පැවසීම වරදක් නොවේ.

කාලයක් අපේ සිනමා අඹරේ දීප්තිමත්ව පෑයූ මේ තරුව, ශ්‍යාමා ආනන්ද අද පදිංචිව සිටින්නේ කැනඩාවේය. පසුගියදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමිණි අවස්ථාවක හමුවූ ඈ අතීත සිනමාව සිහිපත් කළේ ඉතා සතුටිනි.

“ ඇත්තටම මම සිනමාවට ආවේ මගේ තාත්තා නිසා. මගේ අම්මා වයලට් ආනන්ද. තාත්තා ශ්‍යාමා පීරීස් එකක්ම කරලා මාව ප්‍රමෝට් කළා. සතපනහ, සිතක මහිම, ඇතුළුවීම තහනම් අධ්‍යක්ෂණය කළේ තාත්තා. මමත් ළමා චරිත රඟපෑවා. පුංචි කාලෙ ඉඳන්ම මම චිත්‍රපට ගැන දන්නවා. ගෙදරට ඒ කාලේ නිතරම නළු නිළියෝ එනවා. තාත්තා වැඩියෙන්ම කැමැති වුණේ ගාමිණී ෆොන්සේකව එයාගේ චිත්‍රපටවලට ගන්න. ඒත් සමහර නිෂ්පාදකවරුන්ගේ කැමැත්ත නිසා වෙනත් නළුවන්ව ගන්න තාත්තට සිද්ධ වුණා. මට වයස අවුරුදු දොළහේදී තමයි මගේ නංගී ශ්‍යාමා රඟපෑවේ.

මට මතකයි ප්‍රවේශම් වන්න චිත්‍රපටයට තාත්තා නළු නිළියන්ව හොයනවා. මගේ අම්මා මේ වැඩේට කොහොමත් තාත්තට සහයෝගය දෙනවා. චිත්‍රපටයේ මගේ මව්පියන්ගේ චරිතවලට තමයි මේ තෝරන්නේ. ටෝනි රණසිංහව ප්‍රධාන චරිතෙට තේරුවා. නිළියක් හොයද්දී අම්මා මාලිනී ෆොන්සේකගේ ප්‍රථම චිත්‍රපටය පුංචි බබා දැකලා තාත්තට කිව්වා මේ ළමයාගේ මූණ හරිම ලස්සනයි මෙයාව ගනිමු කියලා. පස්සෙ තාත්තත් මාලිනීට කැමැති වුණා. මාලිනී පළමුවරට සාරි ඇඳලා ගස් වටේ සිංදු කියලා නැටුවේ මේ චිත්‍රපටයේ. මට මේ චිත්‍රපටයට සම්මානයකුත් ලැබුණා. ජනතාව මාව හඳුනාගත්තේ මේ ප්‍රවේශම් වන්න චිත්‍රපටයෙන්. තාත්තගේ සහාය අධ්‍යක්ෂවරයා වුණු ලෙනින් මොරායස්ට මාලිනී ගැන කියලා තාත්තා රෙක්මන්ඩ් කළා. ඉන් පස්සේ තමයි “දැන් මතකද” චිත්‍රපටයට මාලිනීව ගත්තේ. ජෝතිපාලව මුළින්ම චිත්‍රපටයකට ගත්තේ තාත්තා. ඒ ඇතුළුවීම තහනම් චිත්‍රපටය. තාත්තා මට මේ කතා ඉස්සර කියනවා.

තාත්තා හරිම ආදරෙයි විජය කුමාරතුංගට. ඉතින් විජයව චිත්‍රපටයකට ගන්න තාත්තට උවමනාව තිබ්බා. චණ්ඩි ශ්‍යාමා එකේ රෙක්ස් කොඩිප්පිලි කළ චරිතෙට විජයව ගන්න තමයි මුළින්ම තාත්තා තීරණය කළේ. ගාමිණී එක්ක විජය රඟපෑව නම් චණ්ඩි ශ්‍යාමා එදා තවත් ජනප්‍රිය වෙනවා. ඒත් විජයට දින තිබුණේ නැහැ.

පොඩි කාලේ මට හැමෝම කිව්වේ බේබි කියලා. ඒ නිසා තමයි බේබි ශ්‍යාමා කියලා මගේ නම චිත්‍රපටවල නාමාවලියට දැම්මේ.

මගේ නංගී ශ්‍යාමා, චණ්ඩි ශ්‍යාමා, හලෝ ශ්‍යාමා වැනි චිත්‍රපටවල දඟකාර දැරියක ලෙස රඟද්දී ඇය පාසල් සිසුවියකි.

මුළින් කොළඹ ශාන්ත බ්‍රිජට් කොන්වන්ට් ඒකට මම ගියේ. මම ඉස්කෝලෙ ගියේ සාමාන්‍ය ළමයෙක් විදිහට. ඒ ළමයින්ට ගාණක්වත් නැහැ මම රඟපානවා කියලා. ඉන් පස්සේ විශාකා එකට ගියා. විශාඛා ළමයි මට ඉන්න දුන්නෙ නැහැ. විහිළු කළා. චණ්ඩි ශ්‍යාමා තිරගත වුණේ 1978 දී. එතකොට මම උසස් පෙළ කරන කාලේ. චිත්‍රපටවල මම චණ්ඩි ශ්‍යාමා වුණාට සැබෑ ජීවිතයේදී එහෙම චණ්ඩිකම් කළේ නැහැ. ඒත් හැම දේකටම ඉස්සරහට ආවා. මම තමයි අහවල් නිළිය කියලා පන්තියේ ලොකුකම් පෙන්නන්න ගියේ නැහැ. ඒ නිසා ගුරුවරුන් මා ගැන දැන සිටියත් ඒ බව ඇඟෙව්වේ නැහැ.

රෑට ෂූටින්. ඒත් පහුවැනිදා අම්මා මාව ඉස්කෝලේ යවනවා. සමහරදාට මේක්අප් එක්කම දඩිබිඩි ගාලා ඉස්කෝලේ යනවා.

ගැහැනු ළමයි පද්මිණී චරිතය ගැනත් ශ්‍යාමා ප්‍රසාදයෙන් යුක්තව කතා කළාය.

පද්මිණී.. වෙනමම චරිතයක්. ආචාර්ය සුමිත්‍රා පීරිස් මාව තමයි මුළින්ම ගැහැණු ළමයි රඟපාන්න තෝරගත්තෙ. ඊට පස්සෙ තමයි අනෙක් ශිල්පීන්ව තෝරගත්තේ. තාත්තා මේ චිත්‍රපටයෙත් කැමරා අධ්‍යක්ෂවරයා. සාමාන්‍යයෙන් කැමරාව ඉස්සරහට ගියාම මම ඒ චරිතය ගැන විතරයි හිතන්නේ. ඒ නිසා වෙන්න ඇති අදත් සමහර රසිකයින් මාව දැක්කම ගැහැනු ළමයි පද්මිණි ගැන කතා කරනවා. චණ්ඩි ශ්‍යාමා ඇවිත් මාස තුනකට පස්සෙ තමයි ගැහැනු ළමයි තිරගත වුණේ. ඒ නිසා මගේ රසිකයින් හුඟදෙනෙක් ගැහැනු ළමයි බලන්න ගියා.

ඔබේ රසිකයින්ට ඉන් පසු සිනමා තිරයේ ඔබව දකින්න ලැබෙන්නේ නැහැ. මගේ ප්‍රශ්නයට ඇය මෙසේ පිළිතුරු දුන්නාය.

තාත්තා මාව වෙන අයගේ චිත්‍රපටවලට යැව්වේ නැහැ. හොඳ අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන් මට චිත්‍රපටවලට කතා කළා. ඒත් තාත්තා කැමැති වුණේ නැහැ. අන්තිමට මම රඟපෑවේ හලෝ ශ්‍යාමා. ඒක තිරගත වෙද්දී මම විවාහවෙලා. මම වයස අවුරුදු විස්සෙදි විවාහ වුණා. සාලිය පෙරේරා මගේ සැමියා. ඉස්සර නාවල අපේ ආච්චිලගේ ගෙදර ළඟ ග්‍රවුන්ඩ් එකට සාලිය එනවා ක්‍රිකට් ගහන්න. අපි ඉතින් හම්බ වෙනවා.

● ලංකාවෙන් ආවේ ඇයි..?

අවුරුදු දෙක තුනකට කැනඩාවට ආපු අපි මේ වෙද්දි අවුරුදු තිස් පහක් මෙහේ ජීවත්වෙනවා. තාත්තා කැමැති වුණෙත් නැහැ මම ලංකාවට එනවට. තාත්තා අන්තිමට කළේ “මම බය නැහැ ශ්‍යාමා චිත්‍රපටයේ. ඒකේ මගේ දුව මන්දිරා ආනන්දි රඟපෑවා. ගාමිණී ෆොන්සේකාත් රඟපෑවා. අපේ පුතා රිචී පෙරේරා. මන්දිරා විවාහකයි. චණ්ඩි ශ්‍යාමා දැන් මුණුපුරන් දෙන්නෙකුගේ ආච්චි කෙනෙක්.

● අජිත් අලහකෝන් – නිව්යොර්ක්

advertistmentadvertistment
advertistmentadvertistment