මගේ තාත්තා යුග යුග යා කළ ගීත රචකයෙක් – සාරංගා ප්‍රදීපනී රණසිංහ

613

යුග යුග යා කළ ගීත රචකයා ඔහු විය. ඔහු විසින් රචිත ගීත සමුදාය තුළ ඔහුට ම අනන්‍ය වූ හැඩයන් බොහෝ විය. ගීත රචනා කලාව තුළ ආචාර්ය අජන්තා රණසිංහයන් සුවිශේෂී නිර්මාණකරුවකු වන්නේ එහෙයින්ය. ඔහු දිවියෙන් සමුගෙන වසර 07ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මාර්තු මස 02 වැනි දින ප. ව. 3.00 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ආචාර්ය අජන්තා රණසිංහ සත්වැනි ගුණ සමරුව සහ නිර්මාණ විමර්ශන සන්ධ්‍යාව නමින් උත්සවයක් සංවිධානය කොට ඇත. පහත පළවන්නේ ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ දියණිය සාරංගා ප්‍රදීපනී රණසිංහ සමග ඒ පිළිබඳ සිදු කළ කතාබහක්ය.

● ආචාර්ය අජන්තා රණසිංහ 07 වන ගුණසමරුව සහ නිර්මාණ විමර්ශන සන්ධ්‍යාව සංවිධානය වෙන්න පසුබිම සැකසුණේ මොනවගේ කරුණු කාරණා පදනම් කර ගනිමින් ද?

මගේ තාත්තා මිය යන්නේ 2016 වසරේ පෙබරවාරි 27 වැනිදා. ඒ වේදනාව තරමක් හෝ සමනය වෙන්න මත්තෙන් මගේ අම්මත් මිය පරලොව යනවා. වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත මගේ අම්මා සහ තාත්තගේ අභාවය හේතුවෙන් මමත් මගේ මල්ලිත් බරපතළ මානසික කඩා වැටීමකට ලක්වෙනවා. ඒ හේතුවෙන් වසර කීපයක් යන තුරු තාත්තගෙ නිර්මාණ පිළිබඳව අවධානයක් යොමු කරන්න ඊට අමතරව ගත්තොත් ගුණසමරු උළෙලක් සංවිධානය කරන්න මානසික නිදහසක් අපි ළඟ තිබුණේ නැහැ. අදත් ඒ අහිමිවීම් පිළිබඳ උපන් වේදනාව අප තුළින් පහව ගිහින් නැහැ. නමුත් වසර කීපයක් ගතවෙලා හෝ තාත්තා පිළිබඳ ගුණසමරුවක් පවත්වන්න ඒ වගේම තාත්තා විසින් රචනා කළ ගීත ඇතුළත් කෘතීන් දෙකක් එළි දක්වන්න තියෙන අවශ්‍යතාවය මත මේ වගේ වැඩසටහනක් පවත්වන්න අපි තීරණය කළා.

මගේ තාත්තා යුග යුග යා කළ ගීත රචකයෙක් - සාරංගා ප්‍රදීපනී රණසිංහ

● ගුණසමරු උළෙලට සමගාමීව කෘතීන් දෙකක් එළි දැක්වීමට තීරණයක් ගත්තෙ කුමන අදහසකින් ද?

මගේ තාත්තගේ ගීත රචනා ඇතුළත් කෘතීන් 06 ක් පමණ මේ වනවිට එළි දක්වල තිබුණා. අවසන් වශයෙන් තාත්තගෙ ගීත නිර්මාණ ඇතුළත් කෘතියක් එළිදක්වන්නේ 2002 වර්ෂයේදී. අජන්තා ගීතාවලී නමින් නම් කරන ලද එම කෘතිය එළිදක්වන්නේ මහාචාර්ය සමන්ත හේරත් සහ සමුද්‍ර වෙත්තසිංහගේ සංස්කරණයෙන්. තාත්තා විසින් රචිත ගීත දෙදහසක් පමණ ප්‍රමාණයෙන් තෝරාගත් ගීත 250ක් පමණ ඒ කෘතියට ඇතුළත්වෙලා තිබුණා. තාත්තගෙ අභාවයෙන් පසුව මේ කෘතීන් සඳහා වෙනදා නොතිබුණු උනන්දුවක් සමාජය තුළ ඇති වෙන්න ගන්නවා. නමුත් ඒ එකම කෘතියක් හෝ මිලදී ගන්න තැනක් ඒ අයට තිබුණේ නැහැ. අන්න ඒ අඩුව පුරවන්න තමයි තාත්තගෙ 07 වන ගුණසමරුවට සමගාමීව මේ කෘතීන් දෙක එළි දක්වන්න තීරණයක් ගත්තේ.

● මේ කටයුතු පිණිස බාහිර පාර්ශ්වයන්ගේ මැදැහත්වීමක් සිද්ධ වෙනවද?

විශේෂයෙන් සමුද්‍ර වෙත්තසිංහ මේ සඳහා විශාල මැදිහත්වීමක් සහ කැප කිරීමක් සිද්ධ කරනවා. ඔහුගේ සංස්කරණයෙන් තමයි මේ කෘතීන් දෙකම එළි දක්වන්නෙ. ඊට අමතරව මේ කෘතීන් දෙක එළිදැක්වීම පිණිස තවත් පිරිසක් සහයෝගය දෙනව. ඒ නම් කීපයක් මේ වෙලාවෙ සඳහන් කළයුතුයි. ඔවුන්ගේ සහයෝගය මත තමයි අර මම ඉහත සඳහන් කළ කෘතීන් 06ට ඇතුළත් නොවු ගීත විශාල ප්‍රමාණයක් මේ කෘතීන් දෙකට ඇතුළත් කරන්න අපට පුළුවන්කම ලැබුණෙ. ඒ අය අතරින් එක්කෙනෙක් තමයි ගයාත්‍රි රණසිංහ, ඊට අමතරව ප්‍රවීණ චිත්‍ර ශිල්පී ලකී ලියනගේ, සුදත් කැළුම් ප්‍රේමරත්න සහ ගුවන් විදුලි ශිල්පී ජගත් ශ්‍රියන්ත යන මහත්වරු ගීත තෝරා ගැනීමේ දී ලොකු සහයෝගයක් දක්වනවා.

ඊට අමතරව මේ කෘතීන් ප්‍රකාශයට පත් කිරීමේ දී ආචාර්ය රෝහණ වීරසිංහ මහත්තයගෙ පුතනුවන් වන කලිඳු වීරසිංහ සහ රනුර පෙරේරා ලොකු මූල්‍යමය දායකත්වයක් ලබාදුන්නා. යු ටියුබ් මගින් ප්‍රචාරය වූ තාත්තගෙ ගීත සඳහා හිමිවූ මුදලින් ගීත රචකයාට හිමි විය යුතු කොටස ඒ අය විසින් අපට නිර්ලෝභීව ප්‍රධානය කළා. සී මියුසික් නමින් ඔවුන් පවත්වාගෙන යන ආයතනය හරහා අපට එම මුදල ලැබීම මේ කටයුත්ත සාර්ථක කරගන්න විශාල ශක්තියක් බවට පත්වුණා. ඒ මැදිහත්වීම නොවුණා නම් කෘතීන් මුද්‍රණයේදී අපහසුතා රැසකට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා.

● එම කෘතීන් දෙකෙහි අන්තර්ගතය පිළිබඳ වෙන වෙනම යමක් සඳහන් කරනවා නම්,

එකක් නම් කරල තියෙන්නේ අජන්තා රණසිංහ ගීත කෘති එකතුව නමින්. අනෙක් කෘතිය තමයි ආචාර්ය අජන්තා රණසිංහ නොපල ගී රුවන්වලා විමානේ. මේ කෘතීන් දෙකම සංස්කරණය කළේ සමුද්‍ර වෙත්තසිංහ. එහි අන්තර්ගතය පිළිබඳ කතා කළොත් පළමු කෘතියට තාත්තා විසින් රචිත තේරාගත් ගීත 500 ක් පමණ ඇතුළත් වෙනවා. එම කෘතියට ඊට පෙර ප්‍රකාශයට පත් කළ කෘතීන් හයට ඇතුළත් නොවු තවත් ගීත 100 ක් පමණ ඇතුළත්ව කෘතිය රුවන් වලා විමානේ නමින් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා.

මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර, දිලීප අබේසේකර, මහාචාර්ය සරත් විජේසූරිය, ආචාර්ය දයාරත්න රණතුංග, සුනිල් සරත් පෙරේරා විසින් රචිත ලිපි කීපයකුත් මේ කෘතීන් දෙකට ඇතළත් කරලා තිබෙනවා.

● ඔබ විශ්වාස කරන ආකාරයට ආචාර්ය අජන්තා රණසිංහ පිළිබඳව නිවැරදි කියවීමක් තවම සිදුවී නැද්ද? මේ උත්සාහය ඒ අඩුව පිරවීම පිණිස ද?

දියණිය කියන භූමිකාවෙන් මොහොතකට මිදිලා ඒ ප්‍රශ්නයට උත්තරයක් දුන්නොත් තාත්තගේ නිර්මාණ හැකියාව කිසිම වෙලාවක නිසි ඇගීමකට ලක්වුණේ නැහැ. මගේ තාත්තා දශක පහක් පුරා ගත දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් රචනා කොට තිබෙනවා. දියණිය වශයෙන් ඒ පිළිබඳව කතා කළොත් තාත්තා විසින් රචිත හොඳම ගීත පවා ඇතැමුන්ගේ නිර්දය විවේචනයට ලක්වූ අවස්ථා තිබුණා. ඇතැම් පිරිස් සංවිධානාත්මකව ඒ ගීත අවතක්සේරුවට ලක් කළා. ඒකට හේතුව තමයි මගේ තාත්ත එක පිරිසකට එහෙම නැත්නම් එක තැනකට කොටුවු නිර්මාණකරුවෙක් නොවීම. ඔහු පණ්ඩිත් අමරදේවයන්ගේ සිට සුරේන්ද්‍ර පෙරේරා දක්වා යුග යුග යා කළ ගීත රචකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබ විසින් නඟන ලද පැනයට හොඳම උත්තරයක් අජන්තා ගීතාවලී කෘතියට මහාචාර්ය සමන්ත හේරත් විසින් සපයල තිබෙනවා. ඔහු සඳහන් කරන පිරිදිත් මගේ තාත්තගෙ නිර්මාණ නිසි ඇගයුමකට ලක්වුණේ නැහැ. ඒ කෙසේ වෙතත් අඩුම තරමින් තවත් දශක කීපයක් සිංහල ගීත සාහිත්‍ය ඇතුළෙ තාත්තගෙ නාමය පවතිනවා.

● කලාසූරී ලතා වල්පොළ මහත්තමිය ඇතුළු පරම්පරා කීපයක් නියෝජනය කළ ගායක ගායිකාවන් විශාල පිරිසක් එදිනට දැක ගන්නට ලැබනෙවා. එය සුවිශේෂී තත්ත්වයක් ඒ මැදිහත්වීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

තාත්ත ගීත රචනා කිරීමේ දී ඒ ඒ ගායක ගායිකාවන් වර්ගීකරණය කළේ නැහැ. තමන් අතින් ලියෙැවෙන ගීතයට උපරිම සාධාරණයක් කිරීම තමයි ඔහුගේ එකම අරමුණ බවට පත්වුණේ. එම නිසා තාත්තගෙ ගීත ගායනා කළ ප්‍රවීණතම ගායක ගායිකාවන් එදිට ගීත ගායනා කරනවා. ඊට අමතරව අද ජීවතුන් අතර නැති ගායක ගායිකාවන් විසින් එදා ගැයු තාත්තගෙ ගීත ගණනාවක් අද ජනප්‍රිය තලයේ ඉන්න වෙනත් ගායක ගායිකාවන් විසින් එදින ගායනා කරවනවා. තවත් විශේෂ දෙයක් එදින සිද්ධ වෙනවා. ඒ තමයි පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කළ තරු අරුන්දනී ගීතය අමරදේවයන්ගේ පුත් රංජන අරමදේව විසින් එදින ගායනා කිරීම. මේ ප්‍රසංගය සඳහා සංගීතය සපන්නේ විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ අති දක්ෂ වාදක මණ්ඩලයක්. ඒ වගේම ප්‍රසංගය මෙහෙයවන්නේ ආචාර්ය රංග කලංසූරිය විසින් එම නිසා තාත්තගෙ 07 වන ගුණසමරුවට සමගාමීව පවත්වන අජන්තා ගී අවර්ජනා ප්‍රසංගය ඉතාමත් විචිත්‍රවත් එකක් වේවි.

● අජන්තා රණසිංහ පදනම සහ එහි කාර්යභාරය පිළිබඳ යමක් සඳහන් කළ හැකිද?

අජන්නා රණසිංහ පදනම ආරම්භ කරලා තවම මහ කලක් ගතවෙලා නැහැ. තාත්තගෙ සමකාලීන මිතුරන් සහ ඒ අයගේ දූ දරුවන් ඊට අමතරව මගේ රැකියා ස්ථානයේ කීපදෙනෙක් ඇතුළු තාත්තා නිර්මාණ ජීවිතයට ඇලුම් කළ පිරිසකගේ එකතුවෙන් තමයි මේ පදනම බිහිවෙන්නේ. ඉදිරියේ දී තාත්ත පුවත්පත් කලාවේදියෙක් ලෙස මුද්‍රිත මාධ්‍ය තුළ කළ කීදෑ ඇතුළත් ග්‍රන්ථ කීපයක් වගේම තාත්තා විසින් රචිත නවකතා හතරක් මුද්‍රණය කරන්න අපි අදහස් කරමින් ඉන්නවා. අජන්තා රණසිංහ කියන නාමය අනාගතයට අරගෙන යෑම තමයි මේ හැම දෙයක ම අවසන් ප්‍රතිඵලය බවට පත්වෙන්නේ.

සාකච්ඡා කළේ – රුවන් ජයවරධන

advertistmentadvertistment
advertistmentadvertistment