මගේ නෝනා නාන තැන සිවිල් ඇඳුමින් සැඟවී සිටි  තඹුත්තේගම පොලිසියේ අය මටත් ආබාධිත පුතාටත් ගැහුවා

2186

මාත් දරුවාත් දැන් රෝහලේ
– මලියදේවපුර දෙදරු පියෙක් කියයි

තම බිරිඳ දිය නාන ස්ථානයේ සැඟවී සිටි සිවිල් ඇඳුමින් සැරසුණු සිටි තඹුත්තේගම පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනකුගෙන් ඔවුන් කවුරුන්දැයි විමසූ විට තමාටත් තම ස්නායු ආබාධිත පුතාටත් පහර දුන් බව දෙදරු පියෙක් ඊයේ ( 29 දා) පැවසීය.

දෙදරු පියා කියන ආකාරයට මොවුන් අසල නිවසක නීති විරෝධී මත්පැන් වැටලීමකට පැමිණ ඇත. ඒ සිවිල් ඇඳුමින් සැරසී බුලත් කමිනි. තම බිරිඳ දිය නාමින් සිටි ස්ථානය අසල සැඟව සිටි මේ තිදෙනා පොලිස් නිලධාරීන් බව නොදැන තමා බැණ වැදීම හේතුවෙන්, ස්නායු ආබාධයෙන් පෙළෙන තම කුඩා පුතු බිමට තල්ලූ කර දැමූ බව දෙදරු පියා කියයි. තමා ද පොලිසියට රැගෙන ගොස් පහර දුන් බව ද හෙතෙම කියයි. ඒ හේතුවෙන්, හිසට හානි සිදු වී අනුරාධපුර ශික්ෂණ රෝහලේ තමා ප‍්‍රතිකාර ලබන බවත්, රෝගී වූ දරුවා තඹුත්තේගම රෝහලට ඇතුළත් කළ බවත් දෙදරු පියා ඊයේ (29 දා) පැවසීය.

මෙලෙස තඹුත්තේගම පොලිසියේ පහර කෑමට ලක්ව ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ එප්පාවල පාර, මලියදේවපුර, තඹුත්තේගම ලිපිනයේ පදිංචි පී.ඞී.ජී. කලිඟු ආරච්චි නමැති තිස් හැවිරිදි දෙදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසීය.

”ඉකුත් 27 දා අපේ වත්තේ නාන තැන මගේ බිරිඳ දිය නාමින් සිටියා. කඩතොළු වූ තහඩු කෑලි කීපයකින් තමයි එම ස්ථානය වට කරලා තියෙන්නේ. මම දැක්කා සිවිල් පුද්ගලයන් තිදෙනකු ඒ අසල සිටිනවා. බුලත්විට කමින් හිටපු ඒ අයගෙන් මං ඇහුවා ඔයාලා කවුද, මොකද කරන්නේ කියලා. ඊට පස්සේ කිව්වා අපි පොලිසියෙන් කියලා. ඊට පස්සේ මම ඒ අයගෙන් හැඳුනුම්පත් තියේද කියලා ඇහුවා. ඒ වචනයට තරහා ගිහින් පස්සේ මෙයාලා කෝල් කරලා තඹුත්තේගම පොලිසියේ තවත් නිලධාරීන් කීප දෙනෙකු නිවසට ගෙන්වා ගෙන මට පහර දීලා පොලිසියට රැගෙන ගියා. ඒ අවස්ථාවේ දී මගේ කුඩා ළමයි දෙන්නා කෑ
ගහගෙන මගේ ඇඟේ එල්ලෙන කොට ස්නායු ආබාධයෙන් පෙළෙන මගේ අවුරුදු පහක කුඩා පුතා මෙයාලා තල්ලූ කරලා බිමට ඇද දාලා තිබ්බා. ඒ දරුවා තඹුත්තේගම රෝහලට ඇතුළත් කළා.

පොලිසියට රැගෙන ගිහිල්ලා කරුවල කාමරයක දාලා මාංචු තද කරලා මට පහර දුන්නා. මගේ අත්දෙක ඉදිමුණාට පසුව පොලිසිය විසින්ම මාව තඹුත්තේගම රෝහලට රැගෙන ආවා. මට හිසට සිදු වුණු පහර දීම හේතුවෙන් මේ වන විට ඔළුව රිදෙනවා. දැන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී ප‍්‍රතිකාර ලබනවා. ඒ අය කියන්නේ මම පොලිසියේ රාජකාරියට බාධා කළා කියලා. වැඩිය දැඟලූවොත් දවස් 14කට ඇතුළට දානවා කියලා කිව්වා. මගේ ජීවිතේට මම කිසිම වැරැද්දක් කරලා නෑ. පොලිසියක පොතක නමක්වත් ලියවිලා නෑ. මම තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කුලී වැඩ කරලා තමයි දරුවෝ දෙන්නා ජීවත් කරවන්නේ. තඹුත්තේගම පොලිසියෙන් මට කිසිම සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. අපරාධකාරයෝ නිදැල්ලේ ඉඳිද්දි අපි වගේ අහිංසකයන්ට පහර දෙනවා. පොලිසියේ උසස් නිලධාරීන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව අවධානය යොමු කරලා මට සාධාරණයක් ඉෂ්ට කරල දෙන්න කියලයි.”

මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජයන්ත පුෂ්ප කුමාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ මෙවැනි සිදු වීමක් සම්බන්ධයෙන් තමන් දැනුවත් වී නොමැති බවය. ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන බව ද හෙතෙම කීවේය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment