මගේ රත්තරන් දුවගේ  ජීවිතය උදුරාගෙන පොලිසිය දුප්පත්  අපගේ සියලු බලාපොරොත්තු සුණුවිසුණු කළා

1433

මියගිය ඉරේෂාගේ මව විලාප නගමින් කියයි
 පොලිසිය කතා කරලා සමාවෙන්න කීවා ඒ ඇතිද?
 කවුද මේකට වගකියන්නේ


 කොල්ලකරුවන්ට තැබූ පොලිස් වෙඩිල්ලක් බසයක ගමන්ගත් තරුණිය බිලිගත් පුවත දැන් රටම දනී. අලුයම 3ත් 3.30ත් අතර වූ මේ සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස මියගියේ ඉරේෂා ශ්‍යාමලී නමැති විසිනව හැවිරිදි තරුණියකි. අවිවාහක ඇය දැන් මියගොසිනි.

මගේ රත්තරන් දුවගේ  ජීවිතය උදුරාගෙන පොලිසිය දුප්පත්  අපගේ සියලු බලාපොරොත්තු සුණුවිසුණු කළා

මියයෑමට හේතුව පොලිසිය තැබූ වෙඩිල්ලකි. ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය අවියක උණ්ඩයක් ඉරේෂාගේ හිස පසාරු කරගෙන ගියේ පොලිසියේ අත්වැදීමක් නිසාය. පොලිසියේ අත්වැරැද්දක් සුන්දර අහිංසක තරුණියකගේ ජීවිතය එතැනින් නිමකර තිබේ නම් පොලිසියේ අත්වැරැද්ද සුළුකොට තැකිය නොහැකිය.

 එනිසා පොලිසිය අතින් සිදුවූ මේ අත්වැරැද්දට ‘සමාවෙන්න’ කියා නිහඬ වීම ඵලක් නැත. මියගිය ඉරේෂාට පණදිය නොහැකි වග ඇත්තකි. නමුත් ඇගේ

 වටිනා ජීවිතය වෙනුවෙන් වන්දියක් ගෙවීම වගකීමකි. වසර විසිනවයක් තිස්සේ කවා පොවා උගන්වා උස් මහත් කරපු උගත් දියණියගේ දිවිය අහිමිවී යෑම පුරවා දැමිය හැක්කේ කාටද? ඒ කතාව මදකට පසෙක තබා ඉරේෂා ශ්‍යාමලීගේ කතාව මෙලෙස සටහන් කරමි.

 ඉරේෂා ශ්‍යාමලී උපන්නේ 1993 වසරේදීය. ඇගේ පියා බී. ඩී. ඥානසේනය. මව සුනේත්‍රා ජයමාන්නය. පවුලේ තුන්වැනි දරුවා ලෙස මෙලොව උපත ලැබූ ඇයට වැඩිමහල් සහෝදරයෙක්ද සහෝදරියක්ද වූ නිසා පවුලේ සියලු දෙනාගේ විශේෂ ආදරයක් ඇයට ලැබිණි. ඒ ආදරය මැද හැදී වැඩුන ඇය නිවසේ වටිනාම දරුවා බවට පත්ව ගියේ ඉගෙනීමට ඈ තුළ තිබූ දක්‍ෂතාව නිසාය. ඇය පාසල් ගියේ බෙන්තොට, හඹුරුගල ඇලකාක ජාතික පාසලටය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත්වූ ඇය උසස් පෙළ විෂය ධාරාව ලෙස තෝරා ගත්තේ වාණිජ්‍ය අංශයයි. සිය බාල දියණිය පිළිබඳ මව වන සුනේත්‍රා ජයමාන්න (66) මහත්මිය කී කතා ඇගේ වචනයෙන්ම මෙලෙස සටහන් කරමි.

 අපි හරි දුප්පත් මිනිස්සු. මගේ මහත්තයා රාජකාරි කළේ පුද්ගලික ආයතනයක. ඒ ලැබුණ වැටුපෙන් තමයි දරුවන්ට කන්න බොන්න දීලා ඒ අයට උගන්නන්න කටයුතු කළේ. මේ මියගොස් සිටින දරුවා ඉගෙනීමට පුදුම දක්‍ෂතාවක් තිබ්බේ. ආර්ථික අමාරුකම් මැද එයා පුදුම ධෛර්යකින් ඉගෙනීම් කටයුතු කරගෙන ගියා. උසස් පෙළ විභාගය ලිව්වේ බොහෝ දුෂ්කරතා මැද්දේ. විශ්වවිiාලයට යන්න ලකුණු මදිවුණා. දෙවන වතාවටත් විශ්වවිiාලයට යන්න ලකුණු මදිවුණා. තුන්වන පාරත් එයා උසස් පෙළට පෙනී සිටියේ ඉගෙනගෙන ඉහළට යන්න තිබුණ බලාපොරොත්තුව නිසාමයි. උසස් පෙළ ප්‍රතිඵල ආවා. එයා හොඳට සමත්වෙලා හිටියේ. විශ්වවිiාලයට යන්න ලකුණු මදිවෙයි අම්මේ, එයා එහෙම කියලා ඉඳුරුව ප්‍රදේශයේ හෝටලයක වැඩට ගියා. ඒ අතරේ විශ්වවිiාල කඩඉම් ලකුණු ආවා. දරුවා විශ්වවිiාලයට සුදුසුකම් ලබලා තේරිලා. නමුත් එයා අයැදුම්කරලා තිබුණේ නෑ. දැන් පරක්කුයි අම්මේ කියලා මට කීවා. එයාගේ විශ්වවිiාලයට යන හීනේ ඉවර වුණේ අවාසනාවන්ත විදිහට.

 එයා දුක්වුණා විශ්වවිiාලයට යන්න පුළුවන්කම තිබිලත් එය මගහැරිලා ගියා. එයා හෝටලයේ වැඩකරන අතරේ ඉගෙන ගත්තා. එයා කොහොමහරි බාහිර උපාධියක් ගත්තා. පසුගිය දවස්වල පශ්චාත් උපාධි විභාගයටත් පෙනී සිටියා.

 ඒකේ ප්‍රතිඵල තාම ආවේ නෑ.මේ අතරේ තමයි එයා කැනඩාවට යන්න තීරණය කළේ. එයාගේ යාළුවන් එක්ක එකතුවෙලා කැනඩා යන්න අවශ්‍ය සියල්ල ලෑස්ති කළා. හෝටල් රස්සාවෙන් උපයන මුදල් එකතු කළා. අපිටත් උදව් කළා. ඔය අතරේදී තමයි එයා අයියත් එක්ක අනුරාධපුරේ පූජාවට ගියේ. මගේ ලොකු පුතා බැඳලා පදිංචිවෙලා ඉන්නේ කැලණියේ. එයාගේ පුත්තු දෙන්නෙක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් තමයි අනුරාධපුරේ පූජාව තිබ්බේ. තුන් හතර පාරක් එයාලා අනුරාධපුරේ ගියා. සමහර වේලාවල්වල පුතාගේ කාර් එකේ යනවා. මේ සිද්ධිය වෙච්ච දවසෙත් පුතාගේ කාර් එකේ තමයි යන්න හිටියේ. ටයර් එකක ප්‍රශ්නයක් නිසයි බස් එකේ ගිහින් තියෙන්නේ.

 දැන් බලන්න බස් එකේ ගිය මගේ දුවට වෙච්ච දේ. පොලිසිය වෙඩි තියලා. දුවගේ සියලු බලාපොරොත්තු ඉවරයි. දුව කුරාකුහුඹුවකුට වරදක් කළේ නෑ. මගේ රත්තරන් කෙල්ල හොරුගෙන ගියා. අපිට දැන් දුවට පණ දෙන්න බෑ. ඒත් පොලිසිය වැරදිලා තිබ්බ වෙඩි උණ්ඩෙන් අපිට සියල්ල නැතිවෙලා. කවුද මේ අවනඩුව අහන්නේ. කවුද මේ වරදට වගකියන්නේ. පොලිසිය සමාවෙන්න කියලා විතරයි අපට කිව්වේ. දුව අහිංසකයි. කැනඩා ගිහිල්ලා අම්මටයි තාත්තටයි සල්ලි එවන්නම් කිව්වා. අයියටයි අක්කටයි උදව් කරනවා කියලා හීන මැව්වා. මගේ රත්තරන් දුරුවා මැරුවා. අපිට සාධාරණයක් අවශ්‍යයි. දුප්පත් අපි කබලෙන් ලිපට වැටුණා. පොලිස් වෙඩි පහරට ලක්ව මියගොස් සිටින ඉරේෂා ශ්‍යාමලීගේ මව වැළහින්නියක සේ හඬමින් විලාප තැබුවේ සිහි එළවාගත නොහැකිවය.

 ඉරේෂාගේ නිසල සිරුර ඊයේ (3 දා) නිට්ටඹුව, වතුපිටිවල රෝහලෙන් නිදහස් කර ඇත. ඇගේ හදිසි වියෝවෙන් ලතවන වැඩිමල් සොයුරා වන ප්‍රසාද් කුමාර (36) හඬා වැටෙන්නේ මේ ගමන නොගියා නම් නංගී ජීවතුන් අතර නේදැයි විමසමිනි. ‘අම්මේ මට වාවන්නෙ නෑ නංගි මැරුණේ මම හින්දා නේද?’ ඔහු හඬමින් අසන්නේ ඒ ප්‍රශ්නය පමණි. ශ්‍යාමලීගේ වැඩිමල් සොයුරිය හඬන්නේ කුඩා කල සිට කළ කී දේවල් ද සිහිපත් කරමිනි. ඉමාලි රසිකා (33) වන අය විවාහකය. නැඟණියට වූ විපතින් ඇයද සිටින්නේ දරාගත නොහැකි දුකකිනි. දංඕවිට ප්‍රදේශයේ දී මත්පැන්හලක් කොල්ලකා පළා යමින් සිටි කොල්ල කල්ලියකට පොලිසිය එල්ල කළ වෙඩි උණ්ඩයක් මහමග ධාවනය වෙමින් තිබූ බස් රථයට වැදුනේ කෙලෙසද? ඉරේෂා ශ්‍යාමලී සිටියේ බසයේ වාඩිගෙනය.

 අලුයම 3.00 ත් 3.30 ත් අතර පාරේ ධාවනය වූ බසයක අඩ නින්දේ සිටි ඉරේෂාව සොයා මේ වෙඩි උණ්ඩය ආවේ මන්ද? එය පොලිසියේ අත්වැරදීමකින් සිදුවූ දෙයක් වුවත් ඊට සාධාරණයක් කළ යුතුය. මෙවැනි වෙඩි උණ්ඩ අහිංසක නිරායුධ මිනිසුන් සොයා ඉගිල ආවේ ඉලක්කය සම්බන්ධ ගැටලුවක් නිසාය. වෙඩි උණ්ඩවලට හිත්පිත් නැත. නමුත් අවි දරා සිටින්නන්ට හිතක් පපුවක් තිබිය යුතුය. සොරමුලක් ඉලක්ක කර තබන වෙඩි උණ්ඩ මෙලෙස මහමග යන නිරායුධ මිනිසුන් සොයා එන්නේ නම් වෙඩි තැබීමට පෙර මොවුනට නිසි පුහුණුවක් ලබාදිය යුතු බවට කවුදෝ කියනු ඇසිණ. දැන් සියල්ල අවසානය. හැටහය හැවිරිදි මවත්, පියාගේත් එකම රැකවරණය වූ දියණිය පොලිසියේ ගොදුරක් බවට පත්වී ඇත. කනඩාවට ගොස් යහමින් මුදල් සොයා සහෝරයාටත්, සහෝදරියත් ඒ අයගේ දරු පැටවුන්ටත් උදව් පදව් කරන්නට බලා සිටි ඉරේෂා ශ්‍යාමලී ඒ සිහිනයද සමග යන්නම යන්න ගොසිනි. ඇය තුළ අරමුණක් තිබිණි.

 බලාපොරොත්තු තිබිණි. වගකීම් සමුදායක් සිතේ රැඳී තිබිණි. දැන් පොලිසිය කළ යුත්තේ ඒ සිහින මල්ඵල ගන්වන්නට යමක් කිරීමය. ඇය වෙනුවෙන් වන්දියක් ගෙවීමේ වරදක් නොදකිමු. මුළු රටේම සම්පත් විනාශ කර ඒ සම්පත්වල රීරිමාංශයම උරා බී සිටින දේශපාලනඥයන් හා නිලධාරීන් සිටින රටක ඉරේෂා වෙනුවෙන් වන්දියක් ගෙවීම කජ්ජක්ද? එනිසා පොලිස් වෙඩි පහරට නිරපරාදේ ගොදුරු වූ මැය වෙනුවෙන් යුක්තිය ඉටුවනතුරු කොයි කවුරුත් බලා සිටිති.

 ශිරාන් රණසිංහ – ඡායාරූප: නියාගම – වින්සන්ට් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment