මග තොට මුණගැහුණු කුඩු ගහන ගැහැනු… සමාජ විමර්ශන

917

කාන්තාවන් මත්ද්‍රවලට ඇබ්බැහි වෙන්නේ ඇයි?

“යහපත් තරුණියෝ දෙව්ලොව යති. අයහපත් තරුණියෝ හැමතැනම යති.”

Good girls go to Heaven; Bad girls go everywhere

මේ සුප්‍රසිද්ධ ලේඛිකාවක්, ග්‍රන්ථ ප්‍රකාශිකාවක් ව්‍යාපාරවේදිනියක් මෙන්ම ජාත්‍යන්තර කීර්තියට පත් කොස්මොපොලිටන් (Cosmopolitan) ව්‍යාපාර සඟරාවේ ප්‍රධාන කතුවරය වූ අමෙරිකන් ජාතික හෙලන් ගර්ලි බ්‍රවුන් – Helen Gurley Brown විසින් ප්‍රකාශ කරන ලද්දකි. හෙලන් කියන යහපත අයහපත කෙසේ වෙතත් මේ කාලයේ ඔහේ හැමතැනම යන තරුණියන් සහ කාන්තාවන් කොටසක් ගැන අපිත් දනිමු.

ඒ මද්‍යපානය, හෙරොයින්, ගංජා, අයිස් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ තරුණියන් සහ කාන්තාවන්ය.

මතට යොමු වූ තරුණියන් කී දෙනකු අප රටේ සිටිනවාද කියා ආසන්න සංඛ්‍යා ලේඛනයක් හෝ ඉලක්කමක් ම ට කිව නොහැක. ඒ, ඒ පිළිබඳ විද්‍යාත්මක සමීක්ෂණයක් හෝ පර්යේෂණයක් ජාතික මට්ටමින් තියා ග්‍රාමසේවා මට්ටමින් පවා මෙතෙක් පවත්වා නැති නිසාය.

මතට ගොදුරු වුණ කතුන්ගේ අශික්ෂිත චර්යාවන්, ඔවුන් කරන අවර ක්‍රියා සහ තම ඇබ්බැහිය නිසා ඔවුන් විඳින දුක වේදනාව ගැන පුන පුනා කියන්නටවත් උරන්නේ මොනවාද ඒ කෙසේද ඉන් ලබෙන ජොලිය සහ තෘප්තිය කවරේද වර්ණනා කර ඒවා රස කර කර ලුණු ඇඹුල් දමා මාකට් කිරීමටවත් මා මේ ලිපිය භාවිතා නොකරන අතර මෙහි මුඛ්‍ය අරමුණ වන්නේ ‘කාන්තාවන් ශීඝ්‍ර ලෙස විවිධ මත්ද්‍රව්‍ය වලට යොමුවන්නේ ඇයි? ඉන් ඔවුනට ගැලවීමට අපහසු ඇයිරෑ සහ එකී වින්දිතයන් ඉන් මුදා ගැනීමට ඔබට මට සහ සමාජයට කළ හැක්කේ මොනවාද?යන්න කතා කිරීමයි.

එමෙන්ම අද සමාජයේ දකින්නට මත් විශෝධන මධ්‍යස්ථාන, ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කඳවුරුවල සිදුවන දේවල් විවේචනය කිරීමට ද මෙය අවස්ථාවක් කර නොගනිමි.

පිරිමියකු මතට ඇබ්බැහි වූ කල ඔහුව යොමු කිරීමට අද අප රටේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන අනන්තවත් ඇත. ඒත් මත්ලෝලී කාන්තාවක් සුවය සඳහා යොමු කිරීමට යෝග්‍ය තැනක් අප රටේ නොමැතිවීම දුකට කරුණකි. රජයට පවා මෙයට උත්තරයක් නැති බවක් අපට හැඟේ.

● කාන්තාවන් මත්ද්‍රව්‍යවලට යොමුවන්නේ ඇයි?

පැළෑටියක් රෝපණය කළ පසු ඉන් නිරෝගී ශක්තිමත් ගසක් ඇතිවීමට අවශ්‍ය හේතු සාධක රැසක් ඇත. පැටිකිරිය හෙවත් දෙමාපිය ශාකයේ ගුණාත්මක බව, පෝෂණය සහිත පස, නිසි ජලය සහ වාතය, පොහොර සහ උපස්ථානය ඒ සඳහා ඇවැසි කාරණාය.

මෙලොවට බිහිවන දරුවකු යහපත් අයෙකු වීමටත් බොහෝ සාධක අවශ්‍ය වෙයි. දෙමාපිය ජාන, පවුල් පසුබිම, නිවසේ සහ සමාජ පරිසරය ඇසුරු කරන මිතුරු මිතුරියන්, පාසල ඉන් ප්‍රධාන වෙයි. නමුත් ඊටත් වඩා වැදගත් වන්නේ ඔහු හෝ ඇයගේ පෞරුෂයයි.(Personality).

පුද්ගල පෞරුෂය යනු තමා වෙත එන අභියෝග, ගැටලු, ප්‍රශ්න, සතුට, ආහ්ලාදය, ජයග්‍රහණ, දුක, වේදනාවන් සහ පරාජයන් දරා ගන්නා ආකාරයයි.

සහනය සොයා අප වෙත එන බොහෝ තරුණියන්ගේ මා දකින ප්‍රධානතම ගැටලුව වන්නේ ඔවුනගේ හීන පෞරුෂය හෙවත් දරාගැනීමේ ශක්තියේ ඇති දුර්වලකමයි.

“අපේ අම්මි මට නිතරම ගහනව බණිනව, මට ඒක දරාගන්න බැහැ. ඒකයි මං යාළුවොත් එක්ක ඇසුර වැඩි කළේ.”

“මට දරාගන්න බැරි ඉසේ ඇම්මකුයි කොන්දෙ අමාරුවකුයි තිබුණා ඒ වේදනාව නැති කර ගන්න මට ඕනෑකම හරියට තිබුණා”

“පන්තියෙ ළමයි මාව කොන් කළා… ගුරුවරු සමච්චල් කළා. මට ඒක දරාගන්න බැරි වුණා”

“පාටියකට ඩාන්ස් එකකට ගියාම මට ලිමිට් එකක් (සීමාවක්) නෑ. මට හිතෙන හිතෙන දේ මං කරනවා”

“යාළුවො කියන කරන ඕනිම දෙයක් මාත් කරනවා, මට ඒකිලට බෑ කියන්න හිතෙන්නෙම නෑ.”

“මගෙ මහත්තය තමයි මටත් මේක පුරුදු කළේ. එයා කිව්ව එකට ඉන්නකොට විතරක් බොමු කියල. මට එයාට බෑ කියන්න බැරි වුණා.”

“එදා අපි බිග් මැච් එක දිනුම් ඒ සතුට දරා ගන්න බෑ ඉතින් අපි කට්ටිය යාළුවෙක්ගෙ ගෙදර ගිහින් හොඳටම බීවා.”

“මගේ ජීවිතේ මට ගොඩක් දේවල් අහිමි වුණ කෙනෙක් ඒවා මතක් වෙද්දි ඔළුව විකාර වෙනව දරා ගන්න බෑ නින්ද යන්නෙ නෑ.”

“මං කරන්නේ ඇඟ මස් විකුණන රස්සාවනෙ මහත්තයෝ මා ගාවට එන ඈයින්ගෙ ජරා පර වැඩ හොඳ සිහියකින් නම් ඉවසන්න දරා ගන්ඩ බෑ.”

“මගේ පළමු පෙම්වතා එයා මාව දාලා ගිහින් මගේ හොඳම යාළුවාව බැන්ද මං කෝමද සර් ඒක දරාගන්නෙ.”

විවිධ මට්ටම්වල සිටින තරුණියන් මා ඉදිරියේ මෙවැනි දේ කියා ඇති අතර ඒ සෑම ප්‍රකාශයක් අවසානයේම ඔවුන් කර ඇත්තේ තමාට ආ අභියෝගය ගැටලුව දරාගැනීම සඳහා කුමන හෝ මත්ද්‍රව්‍යයක සරණ සෙවීමයි. ඔවුන් සොයා ගිය විසඳුමේ කෙළවර විනාශය බව අද ඔවුන් විවාදයෙන් තොරව පිළිගනී.

● කාන්තාවන් මතින් මුදා ගැනීමේ ඉතිහාසය

මග තොට මුණගැහුණු කුඩු ගහන ගැහැනු… සමාජ විමර්ශන

මතට ගොදුරු වූ කාන්තාවන්ට ඉන් නිදහස් වීමට උපකාර කළ සහ දැනටත් එසේ කරන පුද්ගලයන් සහ ආයතන ලංකාව තුළ නැතුවා නොවේ. මා දන්නා හැටියට මුලින්ම මතට ඇබ්බැහිවූ කාන්තාවන් සඳහා පුනරුත්ථාපන සේවයක් පටන් ගත්තේ කීර්තිමත් කතෝලික පියතුමකු වූ පිළියන්දල සුබෝධි පූර්ණ අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ ආචාර්ය මර්වින් ප්‍රනාන්දු පියතුමායි. 1989 දී එතුමා එකී කතුන්ගේ රහස්‍යභාවය සහ අනන්‍යතාවය රකිමින් තවත් මැදි වයස් පියතුමකු සහ තරුණ කන්‍යා සොයුරියන් දෙදෙනකුගේ සහය සහ රැකවරණය ඇතිව ආරක්ෂිත ස්ථානයක එය පවත්වාගෙන ගියේය.

මද්‍යසාරයට ඇබ්බැහිවූ ජර්මන් ජාතික තරුණ කාන්තාවක්, හෙරොයින්වලට ඇබ්බැහිවූ කැනඩාවේ සිට මෙරටට පැමිණි ලාබාල යුවතියක් සහ වෙළඳ නාවුකයෙක් (සීමන් කෙනෙකු) සමග විවාහ වී සිටි එම තරුණයාගෙන් මත්ද්‍රව්‍ය පානයට හුරුවූ බර්ගර් ජාතික රූමත් තරුණ කාන්තාවක් මෙහි මුල්ම නේවාසික සේවාලාභීන් විය.

පියතුමාගේ මනෝ උපදේශනයෙන් මෙන්ම ආදරණීය කන්‍යා සොයුරියන්ගේ ප්‍රේමයෙන් සහ කරුණාවෙන් මාසයක් තුළදී එම මත් ලෝලීනියන් තිදෙනා ශාරීරිකව නිදහස්වී ඇඟ බෝල වී මුහුණු කට ලස්සන වී ගත හැඩවී පණ දමා ආ අයුරු මට මතකය.

ක්‍රීඩාශීලී තරුණයෙක්ව සිටි මට පියතුමා විසින් භාර දී තිබුණ රාජකාරිය වූයේ ඔවුන් සමග සතියකට තුන් වරක් එළිමහනේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදීමටත් සුබෝධි පුස්තකාලයට ගොස් එය භාරව සිටි මිස් මර්ට්ල්ගෙන් නේවාසිකාවන්ට ඇවැසි පොත් පත් රැගෙන ඒමටත්ය.

පියතුමා කෙටි කලකට විදේශ ගතව සිටි අවදියේ සිදු වූ, ප්‍රසිද්ධියේ කිව නොහැකි එක් සිද්ධියක් නිසා එම සේවය මාස කීපයකින්ම නැතිවී ගිය අතර පියතුමා මට පසුව කියා සිටියේ මෙය ඉතාමත් අසීරු සේවයක් බවයි.

ඉන්පසුව 90 දසකයේ මුල් කාලයේ මහාචාර්ය (එවකට ආචාර්ය) නන්දදාස කෝදාගොඩ මැතිඳුන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිව සිටි කාලයේ ගාල්ල උණවටුන මානසික රෝහලට යාබදව පිහිටවූ මිත් සෙවණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේද, අම්බලන්ගොඩ ර්‍ණබෝනික්කී” සහ තොටලඟ හේනමුල්ල වත්තේ ර්‍ණසිරියා” නම් මත්ලෝලී කාන්තාවන් දෙදෙනෙකු සඳහා සේවා පහසුකම් සැපයූ අතර ඔවුන් දිවා කල මධ්‍යස්ථානය තුළත් රාත්‍රීය ගත කිරීමට මානසික රෝහල් වාට්ටුවක් වෙතත් ගිය බව එවත් එහි කළමනාකාරිත්වය දැරූ මෙන්ඩිස් මහතා, සේවය කළ ගංගා, නෙලුම්, කුමාරි, ජයවීර, කොඩිතුවක්කු, ජගත් වැනි මහත්ම මහත්මියන් කීප දෙනෙකු හැර වෙනත් බොහෝ අය නොදනී. මාස කීපයකින් මෙම සේවයද අත්හිටුවා දමන ලද්දේ කළුතර සිට පුනරුත්ථාපනය වීමට පැමිණ සිටි තරුණයන් දෙදෙනෙකුගේ නොමනා ක්‍රියාවන් නිසාය. බෝනික්කී පසුකලෙක අවාසනාවන්ත මරණයකට ගොදුරු වූ අතර සිරියා මුදලට ඇඟ මස් විකුණනු පිණිස පාරටම සින්න විය.

90 දසකය මැද වන විට ගාල්ල රූමස්සල සහෝදර රාජා විජේකෝන් ද කාන්තා සේවයට අත ගැසූ අතර එය විවිධ ප්‍රශ්න සහ අසමත්වීම් සමග ඉදිරියට ගියේ බොහෝ අභියෝග මැදයි. කිරුළපන පැත්තේ සිටි මත් ජාවාරමට යොමුවූ කාන්තාවක් එහි පළමු සේවාලාභිය වූ අතර ඉන්පසුව හයිලෙවල් පාර අයිනේ රෑට සිටගෙන ඉන්නා තුන්වන පන්තියේ වැඩ කරන වානිජ ලිංගික ශ්‍රමිකාවන් හෙවත් රාත්‍රී විදි ගණිකාවන් පිරිසක්, හික්කඩුවේ කුඩු රැජින යන නම් දැරූ මැදිවයස් ස්ත්‍රියක්, සමලිංගික සේවනයට ලොල් වූ සිර කාක්කියක්, මාළිගාවත්ත පැත්තේ විසූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ එංගලන්තයේ උපන් දමිළ ජාතික සුරූපී ලාබාල තරුණියක් රාජා සහෝදරතුමාගේ දැඩි රැකවරණය මැද පුනරුත්ථාපනය වුණු බව මම දනිමි. කෙසේ වෙතත් නිසි පසු භාර සේවයක් නොමැතිකම සහ එහි එන අසම්මත කාම රෝගී තරුණයන්ගේ හැසිරීම ද නිසා එම සේවය ද අඩාල වූ අතර මද කලක් එළියේ අමද්‍යපව ගත කළ පළමුවැනි සේවාලාභිය නැවත මතට යොමු වූ අතර ඇය දරුණු රෝගයකට ලක්ව මිය ගියාය.

එංගලන්තයෙන් යොමු කරන ලද දමිළ තරුණිය සුවය ලබා කොළඹ තම ඥාතී නිවසක මද කලක් නැවතී සිට යළි එංගලන්තයේ සිටින තම දෙමාපියන් වෙත ගිය අතර ඇය මේ වන විට විවාහ වී ඉතා සාර්ථක පවුල් දිවියක් ගත කරමින් ඇය මෙන්ම මතින් නිදහස්ව සිටින්නකු වන තම සැමියා සමග එහි සිටින තවත් මත්ලෝලීන් ගොඩදාන පිණිස අගනා සේවයක්ද කරන අතර අවම වශයෙන් මාසයකට වරක් හෝ මටත් මගේ බිරිඳ රේණුකාටත් මෙසෙන්ජර් හෝ වට්ස්ඇප් හරහා කතා කරන්නටත් අමතක නොකරන්නේ ඇය ගාල්ලේ සිට කොළඹ පැමිණ ගත කළ මාස කීපය තුළ ඇගේ කවුන්සලර් හෙවත් උපදේශන සේවා සපයන්නා ලෙසත් මග පෙන්වන්නා ලෙසත් කටයුතු කළේ අප දෙදෙනා නිසාය.

අනූව දශකය අග භාගය වෙද්දී අපගේ බෝධානන්ද ගරු ස්වාමින්වහන්සේ විසින්ද මතට ඇබ්බැහිවූ තරුණියන් වෙනුවෙන් ඉතා ප්‍රශස්ථ සේවයක් කළ බව මම දනිමි. පෝෂ්‍යදායි ආහාර, දැනුම අධ්‍යාපනය සහ ආරක්ෂාව සහිතව උන්වහන්සේ කළුතර පැත්තේ අංග සම්පූර්ණ සියලු පහසුකම් සහිත ගොඩනැගිල්ලක එම සේවය පවත්වාගෙන ගිය අතර මේ වන විට එය නවතා දමා ඇති බවක් දැනගන්නට ලැබුණි.

මීගමුවේ බෙතෙස්දා නමින් පුනරුත්ථාපන සේවයක් කරගෙන යන විපුල ප්‍රියදර්ශන තරුණයාද එම ස්ථානයේ මතට ලොල්වූ කාන්තාවන් සඳහා වෙනම ස්ථානයක් වෙන්කර දී ඇත. ඔහුගේ භාර්යාව එම කාන්තා අංශය භාරව කටයුතු කරයි.

ලේෂා ද සිල්වා මහත්මිය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිත්වය දරණ කාලයේ කොස්වත්ත සෙත් සෙවණ පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ කාන්තා සේවයක් පැවතිනි. එයද කෙමෙන් වියැකී ගියේය. ගෝඨාභය ජනපති රජය ආරම්භයේ වියත් මගෙන් පත්වී ආ මෑතකදී ඉවත්ව ගිය වෛද්‍ය අමරබන්දු මහත්මිය සහ ඇගේ සමයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන භාර අධ්‍යක්ෂකවරයාව සිටි කණිෂ්ක ද සිල්වා මහතාටත් කාන්තා මත්ලෝලීන් වෙනුවෙන් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට මහත් ඇම්මක් ඕනෑකමක් තිබුණි. ඒ සඳහා අධ්‍යක්ෂකවරයා තැනක් පමණක් නොව ආරම්භ කරන දිනය පවා මාධ්‍ය තුළින් ප්‍රකාශ කොට තිබුණි. නමුත් කිව්වා පමණි කාන්තාවන් වෙනුවෙන් කළ ඉටි ගෙඩියක් නැත.

● කාන්තාවන්ට මතින් ගැලවීමට අපහසු ඇයි?

මත්ද්‍රව්‍යවලින් ගැලවීම යනු ලෙහෙසි පහසු දෙයක් නොවේ.

නමුත් මතින් සම්පූර්ණයෙන්ම නිදහස්වූ තරුණයන් සහ පුරුෂයන් අනන්තවත් මා දැක ඇති නමුත් සම්පූර්ණයෙන් මතින් නිදහස් වූ එකදු කාන්තාවක් හෝ මට අපේ රටේ සිටිනවා හමුවී නැත. එවන් අයෙක් ගැන මෙරටේ මා අසා නැත. (ඔබ දන්නා අයෙක් ඇත්නම් මට දන්වා එවන්න. අපි ඇයගෙනුත් උවදෙස් ගමු.) මතින් සම්පූර්ණයෙන් නිදහස් වූ කතුන් ලොව පුරා අනන්තවත් සිටී.

● ඇබ්බැහි විද්‍යාවට අනුව පුරුෂයන්ට වඩා ඉක්මනින් කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙයි. ඔවුනට දරා ගැනීමේ ශක්තියත් අඩුය. නිදහස්වීමේ වේගයත් හීනය. ඒ කාන්තා සිරුරේ පවතින ජල ප්‍රමාණය පිරිමින්ගේ සිරුරේ ජල ප්‍රමාණයට වඩා වැඩි නිසා යැයි මතයක් පවතී.

● අද පවතින සමාජ ක්‍රමය නිසා මතට ගොදුරු වන කාන්තාවන් සහ පවුලේ අය ඒ ගැන කතා කරන්නට ලැජ්ජාවක් බයක් දක්වයි. ඒ තමන් සමාජ අවමානයට ලක්වේය යන බිය සැකය නිසාය. එනිසා ඔවුන් තම ගැටලුව කාටත් නොකියා සඟවාගෙන සිටී.

● කාන්තාවක් දකින විට මළ මිනීවලට පවා පණ එන සංස්කෘතියක් ඇති ලංකාවේ කුඩු උරන ගෑණුන්ට ඕනි වෙලාවක බඩු සප්ලයි කිරීමට ඩීලර්ස්ලා සිටින නිසාත් මුදල් වෙනුවට අය කර ගත හැකි වෙනත් වටිනා දේවල් සහ සැපයිය හැකි සේවාවන් අනන්තවත් ගැහැනුන් ළඟ තියෙන නිසාත් මත්ද්‍රව්‍ය ලබා ගැනීමේ ගැටලුවක් කාන්තාවන්ට එතරම් නැත.

● අප දන්නා පරිදි බොහෝ කාන්තා මත්ලෝලීන් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා මුදල් සොයාගන්නේ ලිංගික කටයුතුවල යෙදීමෙනි. කර පපුව ඉලිප්පුනු සායක් සහ දෙකලවා පේන සායක් කොට කලිසමක් ඇඳගෙන පාරට බැස්ස විට සල්ලි ගලාගෙන එන ක්‍රමයට ඔවුන් හුරුය.

● බහුතරයක් මත්ලෝලී කතුන් වාණිජ්‍යමය ලිංගික ශ්‍රමිකාවන්ය. එමෙන්ම මත් ජාවාරම්කරුවන්ගේ ආසාවල් සංසිඳවීමෙන්ද සමහරු මුදල් සහ මත්ද්‍රව්‍ය සපයා ගනී. සාප්පුවලින් බඩු සොරාගන්නා, පිරිමින් රවටා ඉණ ඉහ අතගාගන්නා, පික් පොකට් ගසනා මත්ලෝලිනියන්ද එමටව සිටී. මේ සැමටම වඩා ගැටලුව වන්නේ නිවසේ වෙසෙන තම මහලු මව හෝ පියාට තර්ජනය කොට ඔවුන්ගෙන් මුදල් බලෙන් ලබා ගන්නා තරුණියන්ය. ඔවුන් පොලීසියට බය නැත. ඒ බහුතරයක් පොලිස් මහත්තුරුන් වද මායමක් දෙකක් දමා ඉල්ලන දේ දී බැලන්ස් කර ගන්නට දන්නා නිසාය.

මත්ලෝලී කාන්තාවන් ඉන් මුදා ගැනීමට කළ යුත්තේ මොනවාද?

● කාන්තා සහ කාන්තාවන්ට කැමැති මැති ඇමැතිනියන් රැසක් ඉන්නා අප රජය සහ අදාළ කාන්තා සහ පුනරුත්ථාපන අමාත්‍යාංශ මේ සඳහා වහා මැදිහත් විය යුතුය.

● මත්ලෝලී කාන්තාවන් සඳහා සේවය කිරීම පහසු නැත. ඒ ගැන ඉගෙන ගත යුතුය. මනා පුහුණුවක් ලැබිය යුතුය. කාන්තාවන්ට සේවය කරන්නට කැමති අයට, අත්දැකීම් සහ දැනුම ඇති පුද්ගල සහ ආයතනික දැනුම ලබා දීමට රජය ක්‍රියා කළ යුතුය.

● රට පුරා ක්‍රියාත්මක වන කාන්තා සංවිධාන මේ වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය. මතට යොමු වූ අය ගැන මෙන්ම උන් නිසා පීඩා විඳින අසරණබවට පත්වූවන් ගැනද සොයා බලා කටයුතු කළ යුතුය.

● රට පුරා කාන්තාවන් වෙුනවෙන් පමණක් වෙන්වුණු උපදේශන සේවා සහ ප්‍රතිකාර සේවා සපයන මධ්‍යස්ථාන ආරම්භ කළ යුතුය.

මේ සඳහා විශාල වගකීමක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට ඇත.

පසුගිය දිනවල පිහිට ඉල්ලා කාන්තාවන් අපට කතා කරද්දී අපට කළ හැකි එකම දේ වූයේ මණ්ඩලේ හිටපු සභාපතිනියට හෝ අධ්‍යක්ෂකවරයාට ඒ අයව ඍජුවම යොමු කිරීමයි. නැවත එසැනින් අපට එන ප්‍රතිචාරය වූයේ “අනේ සර් මං මැඩම්ටයි සර්ටයි දෙන්නටම කිව්වා. ඒ අය කියන්නේ එයාලටත් කරන්න දෙයක් නෑ” කියලයි.

මණ්ඩලේ නව සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා මේ වෙනුවෙන් කරන්නේ කුමක්දැයි අපි බලමු.

මිත්‍ර ශ්‍රී කරුණානායක
Internationally Certified Addiction Professional
National Trainer in Addiction Science

advertistmentadvertistment
advertistmentadvertistment