මටයි ගෝඨාභයටයි වුණේ එකම දේ

339

පාස්කු ප්‍රහාරයේදී සහ අරගලයේදී තමාට සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ද වූයේ එකම දේ යැයි හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවසීය.

එම සිද්ධි දෙකේදීම ආරක්‍ෂක අංශ විසින් නිසි තොරතුරු ලබාදී තමා මෙන්ම රාජපක්‍ෂ මහතාව ද දැනුවත් කළේ නැතැයි හෙතෙම ආරක්‍ෂක අමාත්‍යාංශ වැයශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් කීය.

පාස්කු ප්‍රහාරයට පෙර ඒ පිළිබඳව ආරක්‍ෂක අංශයේ ඉහළ නිලධාරීන් ඔවුන් අතර පමණක් කඩදාසි හුවමාරු කරගත් නමුත් දුරකථන ඇමතුමක් හෝ දී ඒ පිළිබඳ තමන් දැනුවත් නොකළ බවද ඒ මහතා සඳහන් කළේය.

එසේ කොට එම ප්‍රහාරයේ වගකීම තමන් මත පැවරූ බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ද අරගලය දා කොළඹට 25000 ක පමණ අඩු පිරිසක් පැමිණෙනු ඇතැයි දැනුවත්කොට ඇතැයි තමනට ආරංචි වූ බවත් සිරිසේන මහතා කීය.

එහෙත් බලාපොරොත්තු නොවූ පරිදි ලක්‍ෂ 04කට වැඩි පිරිසක් කොළඹට පැමිණ ජනාධිපති මැඳුරට ඇතුළු වූ බවත්, එම පිරිස කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර එල්ලකොට නවතා ගැනීමට නොහැකි වූ බවත් ඒ මහතා පැවසීය.

එබැවින් ජනාධිපතිවරයාට රටින් පිටවීමට ද අගමැතිට හැංඟීමට ද සිදු වූ බව ද ඔහු කීවේය. ඇමැතිවරුන්ට යන එන මං නැතිවී දින කිහිපයකට රටට නායකයකු නොමැති වූ බව ද හෙතෙම කීය.

එම අවස්ථා දෙකේදීම ජනාධිපතිවරුන් දෙදෙනාට නිසි පණිවුඩ නොලැබුණු බවත් එබැවින් දැන්වත් ආරක්‍ෂක අංශ පූර්ණ ප්‍රතිසංවිධානයක අවශ්‍යතාවය තිබෙන බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment