මටවත් මාධවීටවත් මේ ලෝකෙට හංගන්න කිසිම දෙයක් නෑ – කසුන් මහේන්ද්‍ර

375

හදිසියක් නෑ… වෙඩින් එක හෙමීට කියන්නම්…
කොන්දේසි විරහිතව මං ඈ ළඟ ඉන්නවා…

ඔහු නමින් කසුන් මහේන්ද්‍ර හීනටිගල. මේ දිනවල ඔහු හරි ජනප්‍රිය චරිතයක්. විටෙක ගී පද රචකයෙක්, තවත් විටෙක අධ්‍යක්‍ෂවරයෙක් වගේම පුවත්පත්වලට තීරු ලිපි ලියන්නෙක් ලෙස ඔබ හමුවට එන කසුන්ගේ ආදර කතාව ගැන සැබෑ තතු ඔබට කියන්නට අපි ඔහුට කතාකළා.

● කොහොමද කසුන්

කාර්යබහුලව නමුත් බොහොම සුව සේ ආදරෙන් ඉන්නවා.

● මොනවද මේ දවස්වල කරන්නේ?

අලුතින් මා ලියා අධ්‍යක්ෂණය කරන ගීත නිර්මාණ කිහිපයක රූප රචනාවන් සිදුකරමින් ඉන්නවා. ආසන්නම කාලයේ එසේ නිර්මාණය වූ ගීතයක් නුදුරේදීම මාධවී ඇන්තනීගේ හඬින් ප්‍රේක්ෂකයාට විඳගන්න පුළුවන්. ඊට අමතරව මා ඉදිරියේදී අධ්‍යක්ෂණය කරන ටෙලි නිර්මාණයක් සහ සිනමාපටයක් වෙනුවෙන් ෆුල්ටයිම් කාලය කැපකරලා තමයි ඉන්නෙ. මේ ඒ නිර්මාණ දරුවන් වෙනුවෙන් නිදිවරමින් වෙහෙසෙමින් මං වැදුම් වේදනා විඳින සමයයි.

● ළඟකදි ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණයට අතගැසුවා

ඔව්. ඒක වසර ගණනාවක දිගු මහන්සියක්. සමාජ දේශපාලනික කලාත්මක පර්යේෂණයක්. මම ම කතාව සහ තිරපිටපත ලියා අධ්‍යක්ෂණය කරන නිර්මාණයක්. මෙරට කලා ක්ෂේත්‍රයේ අති දැවැන්ත දක්ෂ ප්‍රවීණ නළු නිළි වරණයක් වගේම වේදිකාවෙන් බිහිවූ නවක සුදක්ෂයන් සම්බන්ධ කරගෙන සිදුකරන කලා කෘතියක්. ඒ ලස්සන මහන්සිය ප්‍රේක්ෂකාගාරයට ඉදිරියේදී දැකබලාගන්න හැකිවේවි.

මටවත් මාධවීටවත් මේ ලෝකෙට හංගන්න කිසිම දෙයක් නෑ - කසුන් මහේන්ද්‍ර

● කසුන් පත්තරවලටත් ලිව්ව කියල ආරංචියි

ඔව්. මම පාසල් සමයේ පටන් ලියන්නෙක්. ලංකාවේ ජනප්‍රිය බොහෝ පුවත්පත්වල සහ එම අතිරේකවල සඟරාවල තීරුලිපි, සාහිත්‍ය කලා ලිපි, කවි, කෙටිකතා, නවකතා ආදිය සතිපතා ලිව්වා. මේ මොහොතෙ නම් කලාකටයුතුවලට මූලිකත්වයක් දීලා තියෙන නිසා පුවත්පත් කටයුතුවලින් ඈත්වෙලා ඉන්නෙ. නමුත් ඉදිරියේදී වෙලාවක් සහ හරවත් යෝජනා ආවොත් බලමු නේද. මොකද මා තුළ සිටින ලියන්නා නිර්මාණකරණයට හරිම පෙරේතයි.

● second show චිත්‍රපටය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්

පැහැදිලිව ම. සෙකන්ඩ් ෂෝ කියන්නෙ පහුගිය වසරේ මෙරට තිරගත වුණ සිංහල දමිළ භාෂා ද්විත්වයෙන් ම නිර්මාණය වුණ ලාංකේය සහ දකුණු ඉන්දියානු සුසංයෝගයක්. මේ සෙකන්ඩ් ෂෝ සිනමාපටයේ ලාංකේය ගීත රචකයා හැටියට එම ඉන්දියානු නිෂ්පාදකවරුන් මාව තෝරාගත්තා. මං බොහොම ආසාවෙන් ආදරෙන් එම සිනමාපටයේ ඇතුළත් ගීත තුනම රචනා කළා. එම ගීත කසුන් කල්හාර, උරේෂා රවිහාරි සහ කුෂාණි සඳරේඛා ගායනා කළා. ඒ අනගි අවස්ථාව මගේ නිර්මාණ ජීවිතයට ලැබුණු වෙස් වලාගත් ආශීර්වාදයක්.

● මේ දවස්වල ඔබේ මුහුණ හරි ජනප්‍රියයි

මගේ ආදර කතාව, අපේ ආදර කතාව සමාජගත වීමත් එක්ක තමයි ඒ. මටවත් මගේ පෙම්වතීටවත් ලෝකෙට හංගන්න කිසිම දෙයක් නෑ. මොකද අපි අපිට අවංකයි. ලෝකෙට අවංකයි.

● කසුන්ගෙ ආදර කතාව ගැනත් හරියට කතාබහ වෙනවා

බොහෝ ආශීර්වාද ප්‍රශංසා සුබපැතුම් ලැබුණා සහ ලැබෙමින් පවතිනවා. ජීවත්වෙන ටික කාලෙට මිනිස්සු ගෑනු ආදරෙන් සතුටින් ඉන්නවා නම් කොච්චර දෙයක්ද නේද. මං විශ්වාස කරනවා මේ ලෝකෙ මිනිස්සු ගෑනු කවුරුත් නරක නෑ. හැම ගෑනිටම මවපු පිරිමියෙකුත්, හැම පිරිමියටම මවපු ගැහැනියකුත් ඉන්නවා. ජීවිතේ හරියට පසල් එකක් වගේ. අපි කිහිප වතාවක් උත්සාහ කරලා හරි අපේ කෑල්ලට ගැළපෙනම කෑල්ල ගළපගන්න ඕනි. එතකොටයි මැරෙනකන් සැනසීමෙන් හුස්ම ගන්න පුළුවන්.

● මාධවී මුණගැසෙන්නේ කොහොමද?

ඇය සහ මම එකම ක්ෂේත්‍රයක කටයුතු කරන නිසා අපි හමුවුණා. නමුත් අපි හමුවුණේ හුඟක් පරක්කු වෙලා. මං ලියපු කවියක පද පෙළක් තියෙනවා ‘වසන්තය වුණත් ලස්සන පරක්කු වෙලා එනකොට’ කියලා. ඒ වගේම ලෝක ප්‍රකට ලේඛක පාවුලෝ කොයියෝ කියනවා වගේ ‘හැම ආදරණීය හමුවීමක් ම මීට කලින් සැලසුම් කරලා තියෙනවා’ කියලා මං විශ්වාස කරනවා.

● ඔබ මාධවීගේ දකින විශේෂම ගුණාංග මොනවද?

මටවත් මාධවීටවත් මේ ලෝකෙට හංගන්න කිසිම දෙයක් නෑ - කසුන් මහේන්ද්‍ර

ඇය බොහොම මව්වත් ගැහැනියක්. ඒ වගේම ඉතාම ඉක්මනින් සංවේදී වන දුක හිතෙන හිනාවෙන හුරතල් වෙන ආදරේ හිතෙන රණ්ඩු වුණත් ඉක්මනින් යාළු වෙන හරිම ලස්සන ආත්මයක්. ඉතිං මං ඈ කෙරෙහි තදින් ආත්මීයව බැඳුණා.

● ඔබේ කලා වැඩවලට මාධවීගෙන් ලැබෙන සහාය ගැන සෑහීමකට පත්වෙනවාද?

මාධවී මා තුළ ඉන්න නිර්මාණකරුවව බොහොම හොඳින් තේරුම් ගන්නවා. මගේ ඔළුවෙ මැවෙන හැම නිර්මාණයක් ම මං හා හා පුරා කියලා බෙදාහදා ගන්නෙ ඈ එක්ක. ඇගේ ඇහුම්කන් දීම වගේම සබුද්ධික බව මාව විස්මිත කරපු අවස්ථාවන් බොහෝයි. මගේ නිෂ්පාදන ආයතනයට වගේම මගේ ජීවිතයටම ඇගෙන් ලැබෙන ප්‍රේමණීය ආශීර්වාදය ඉමහත්.

● ඇගේ වැඩවලට ඔබෙන් ලැබෙන උදව් මොනවද?

ඇයව මං දකින්න කැමතිම සුදක්ෂ ගායිකාවක් හැටියටයි. ඇගේ අප්පච්චිත් ඇයව දකින්න ආසම එහෙමයි කියලා මාධවී මට කියලා තියෙනවා. ඉතිං ඇගේ සංගීත ජීවිතේට වගේම නිර්මාණ ජීවිතේට මං මට පුළුවන් උපරිමයෙන් මගේ නිර්මාණශීලී දායකත්වය සහ මූල්‍යමය අනුග්‍රහය මා ලබාදී තිබෙනවා සහ මේ මොහොතෙත් නුදුරේදීම අපි දෙන්නගෙ එකතුවෙන් බිහිවන අලුත් නිර්මාණයකට මගේ පද රචනාවක් පිටපත් රචනාවක් වගේම අධ්‍යක්ෂණය ලබාදෙනවා. මාධවී වෙනුවෙන් හැම මොහොතකම කොන්දේසි විරහිතව මං ඈ ළඟ ඉන්නවා.

● මාධවීගේ තාත්තා ජැක්සන් ඇන්තනි ඔබ දකින්නේ කොහොමද?

ජැක්සන් ඇන්තනී මහත්මයා මං කුඩා කල පටන් ප්‍රිය කරපු දුර්ලභ රංගධරයෙක්. ඔහු අති විශිෂ්ට රංගනයක් ගෙනහැර පෑ ‘අකාල සන්ධ්‍යා’ ටෙලි නිර්මාණය මට අනුව මෙරට නළුවෙක් සිය තරුණ වියේදී එතරම් කැපවීමකින් කළ හොඳම රංගනයයි. ජැක්සන් ඇන්තනී මහත්මයා මගේ නිර්මාණ, පද රචනා සහ කුසලතා ගැන ඉතා පැහැදීමෙනුයි හිටියෙ. අපි එකට එක්කහු වෙලා නිර්මාණ කරලා නොතිබුණාට ඔහු ඔහුගේ ජීවිතයේ බිහිකළ ‘හොඳම නිර්මාණය’ වන ඔහුගේ එකම දියණිය මාධවී මගේ පෙම්වතිය වීම මට සැනසිලිදායක සතුටක්.

මටවත් මාධවීටවත් මේ ලෝකෙට හංගන්න කිසිම දෙයක් නෑ - කසුන් මහේන්ද්‍ර

● කසුන් මහේන්ද්‍ර හීනටිගල කලා පවුලකින් පැවතෙන චරිතයක්

ඔය ගැන හුඟක් කටකතා තැන තැන කියවෙනවා ලියවෙනවා මාත් දැක්කා. නමුත් ඇත්තටම මං තනියෙන් ගොඩනැඟුණු තනියෙන් බොහෝ දේ විඳදරාගෙන මගේම ස්වෝත්සාහයෙන් මේ අද ඉන්න තැනට පැමිණි කෙනෙක්. මගේ අධ්‍යාපනය පැත්තෙන් මං නීතිවේදියෙක්. එම නීතිවේදී ගෞරව උපාධිය අතේ තියාගෙනත් මං පූර්ණ කාලීනව කලා ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්නෙ මගේ ආත්මීය පිපාසාව නිර්මාණකරණය නිසා. මං පරම්පරාවකින් පැවත එන කෙනෙක් නෙමෙයි. පරම්පරාවක ආරම්භකයෙක්.

● අලුත් ගීත එහෙම ලිව්වෙ නැද්ද?

ලිව්වා ලිව්වා. මේ වසරේදිත් ගීත නිර්මාණ කිහිපයක්ම මගේ පද රචනාවන්ගෙන් සහ අධ්‍යක්ෂණයෙන් මෙරට දක්ෂ ජනප්‍රිය ගායිකාවන්ගේ ගායකයන්ගේ හඬින් රුවෙන් ප්‍රේක්ෂකාගාරයට ඉදිරියේදී දැකබලා ගන්න හැකිවේවි.

● දෙන්නාගේ ආදර කතාව නේද පසුගිය දවස්වල මාධවීගේ හඬින් එළිදැක්වූයේ.

මං ලියන හැම කවියක් ම ගීයක් ම මාව නියෝජනය කරනවා. ඒ කවි ගී වල මගෙ ආදරේ රළ ගහනවා. අපි තමයි අපිව දන්නේ අපි දෙන්නගෙ ආදර කතාව විතරක් නෙමෙයි. ඒක මේ සමාජයේ හුස්ම ගන්න සියලු ආදරවන්තයන්ගේ ආදරවන්තියන්ගේත් කතාන්දරයයි. මොකද ආදරය එහෙමයි.

● කවද්ද වෙඩින් එක

විවාහය කියන්නෙ නීතිමය ලියැවිල්ලක්. ආදරය ආත්මීය දෙයක්. අපි දෙන්නම විශ්වාස කරන්නෙ ඒක. ඉතිං අපේ ආත්මීය සැනසිල්ල සරසන්න ඉදිරියේදී නීත්‍යානුකූල විදිහට ඒ දේවල් සිද්ධ වෙයි. හදිසියක් නෑ. හෙමීට හැමෝටම කියන්නම්.

දිනේෂ් විතාන
ඡායා – සරසි නෙත්මිණි
හැඩගැන්වීම – ඩිලුක්‍ෂි නාරංගොඩ
අඳුම් සැපයීම – Mr.OLAK

advertistmentadvertistment
advertistmentadvertistment