මට්ටක්කුලියේ ඝාතනය – පාස්කු ප්‍රහාරයට ප්‍රශ්න කොට නිදහස ලැබූවෙක්

635

පෞද්ගලික කෝන්තරයකට කළාදැයි සැක
දුවගේ උපන්දිනය සමරන්න ඉඳලා
ඔහුට එදා එල්ල කළේ බොරු චෝදනා
කාටත් උදව් කරපු කෙනෙක්

පාස්කු ප්‍රහාරයට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන නිදහස ලැබූ පුද්ගලයකු ඊයේ (28 දා) දහවල් මට්ටක්කුලිය සාවියා පටුමග හෝටලයක් අසලදී මෝටර් රථයකින් පැමිණි දෙදෙනකු විසින් කපා කොටා ඝාතනය කර ඇත.

මොහොමඩ් බදිර්යුදීන් මොහොමඩ් පරහතම් නමැති 58 හැවිරිදි පුද්ගලයකු මෙසේ ඝාතනයට ලක්වී තිබේ.

බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

අධිකරණයේ පැවැති නඩුවකට සහභාගි වී වාහනයෙන් ආපසු නිවසට එද්දී මෝටර් රථයකින් ලුහුබැඳ පැමිණි දෙදෙනකු විසින් මෙම පුද්ගලයාට කඩුවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකර තිබේ. අවට පදිංචිකරුවකු විසින් තුවාලකරු රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලේදී මියගොස් තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසීය.

සිද්ධිය වූ ස්ථානයට සහ ඔහුගේ නිවසට ඊයේ දහවල් අප ගිය අවස්ථාවේ අසල්වැසියෝ අප සමඟ මෙසේ කියා සිටියහ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගත්තා කියලා ප්‍රචාරය වෙනවා.

මේවා අමූලික බොරු. ඔහු ඒවාට කිසිම සම්බන්ධයක් නැහැ. ඔහුට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. එක් දරුවකුගේ උපන්දිනය ළඟදී ගන්න සූදානම් වුණා. මේක තමයි ජීවිතය කියන්නේ. මෙයා හොඳ සමාජ සේවකයෙක්. මේ වැඩේ කවුරු කළා ද කියලා දන්නේ නැහැ.

මෙයාගේ ජීවිතය බේරාගන්න අසල්වැසියන් ලොකු උත්සාහයක් දැරුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු පොලිසිය දිගින් දිගටම සැකපිට පුද්ගලයන් ප්‍රශ්න කිරීමට පොලිස් භාරයට ගෙන පසුව නිදහස් කර තිබෙන බවයි.

සැකපිට ඇල්ලූ අය ඒවාට සම්බන්ධ නැති නිසා එසේ නිදහස් කර තිබෙන අතර මියගිය අයත් ඒ අතර සිටි බවත් හෙතෙම පැවසීය.
නෝමන් පලිහවඩන,ඡායා – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment