මට්ටක්කුලිය ඝාතනයට ලුතිනන් කර්නල් අත්අඩංගුවට

3207

ඝාතනයට ලක්වූ අකිල් සම්පත් සහ අත්අඩංගුවට පත්වූ ඔහුගේ බිරිඳ

මට්ටක්කුලිය ප‍්‍රදේශයේ ග‍්‍රාමනිලධාරිනියක සමඟ එක්වී ඇගේ සැමියා ඝාතනය කර සිරුර කැලණි ගෙඟ් ගිල්ලවීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බව කියන මට්ටක්කුලිය හයවැනි ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරි ලූතිනන් කර්නල්වරයා කොළඹ උතුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (29 දා) රාතී‍්‍ර අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අබිරහස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මට්ටක්කුලිය බුද්ධි කඳවුරේ සෙබළුන් 13 දෙනකු සහ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ වන ග‍්‍රාමනිලධාරිනිය ද මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔවූහු මේ වනවිට බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.

මෙම ඝාතනයට නියෝග දුන් බව කියන ලූතිනන් කර්නල්වරයා යුද හමුදා පොලිසිය මගින් මීට ඉහතදී අත්අඩංගුවට ගෙන සිටි අතර ඔවුන් සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ රඳවාගෙන ප‍්‍රශ්න කිරීම් කර තිබිණි.

ඊයේ (29 දා) සවස යුද හමුදා පොලිසිය මගින් සැකකාර ලූතිනන් කර්නල්වරයා පොලිසිය වෙත භාරදුන් අතර ඔහුගේ ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්නා ලදී.

ඝාතනයට ලක්වූ අකිල සම්පත් නමැත්තාගේ බිරිඳ වන ග‍්‍රාමනිලධාරිනිය සමග හමුදා නිලධාරියකු අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එය හෙළිවීමෙන් පසු මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය විය.

සැකකාර ලූතිනන් කර්නල්වරයා මට්ටක්කුලිය හයවන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරියා වන අතර මොහු තමන් යටතේ සිටින සෙබළුන් 13 දෙනකු යොදාගෙන අකිල සම්පත් පැහැරගෙන ගොස් මාදම්පිටිය ප‍්‍රදේශයේදී ඝාතනය කරවා ඇත.

පසුව ඔහුගේ සිරුර ගල් බැඳ කැලණි ගෙඟ් ගිල්ලවීමට කටයුතු කර තිබිණි.

අකිල සම්පත්ගේ සිරුර මෝදර කාකදූපතට ගොඩගසා තිබූ අතර මට්ටක්කුලිය පොලිසිය මෙම ඝාතනයේ මූලික විමර්ශන පැවැත්වීය.

පසුව මෙම ඝාතනයේ විමර්ශන කටයුතු කොළඹ උතුර විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති අනිල් ශි‍්‍රයන්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වෙත භාරදෙනු ලැබීය.

එම විමර්ශනයෙන් පසු අකිල සම්පත් මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ හමුදා සෙබළු 13 දෙනා සහ ඔහුගේ බිරිඳ වන ග‍්‍රාමනිලධාරිනිය අත්අඩංගුවට ගනු ලැබීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්‍ෂක නලින් ශි‍්‍රයන්ත, උප පොලිස් පරීක්‍ෂක ජයසිංහ ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment