මට අයි.එම්.එෆ්. විශ්‍රාම වැටුපක් නෑ: මගේ පඩිය ලක්‍ෂ 4 යි

335

තමාට මහ බැංකුවෙන් රුපියල් ලක්‍ෂ 25 ක වැටුපක් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලැබෙනවා කියන කතාව සම්පූර්ණ බොරුවක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙරේදා (23දා) මහ බැංකු මූලස්ථානයේදී පැවසීය.

තමා එය වගකීමෙන් ප්‍රකාශ කරන බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීවේය.

මහ බැංකුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී “දිවයින” ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

ඔහු මෙසේද පැවසීය.

මහ බැංකුවේ නිලධාරියෙක් ලෙස කළ දීර්ඝකාලීන සේවයට මට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ඒක ඔය කියනවාට වඩා ඉතාම අඩු මුදලක්. ඒක පළමු කාරණය, දෙවැනි කාරණය ලෙස මට මහ බැංකු අධිපතිවරයා ලෙස ලැබෙන්නේ මෙතෙක් හිටපු හැම මහ බැංකු අධිපතිවරයකුටම ලැබෙන වැටුප සහ පහසුකම් පමණයි. ඔබ අහපු නිසා මම කියන්නම් එය මහ බැංකු අධිපති ලෙස රජයේ නිලධාරියෙක් ලෙස මම එය කියන්න ඕන. මහ බැංකු අධිපති ලෙස මට ලැබෙන මාසික වැටුප ලක්‍ෂ හතරයි. ඊට අමතරව මට මහ බැංකුවේ කලින් සේවයට විශ්‍රාම වැටුපක් ලැබෙනවා.

මීට කලින් හිටපු අධිපතිතුමා එන විට එතුමා තමයි ලක්‍ෂ හතර දක්වා වැඩිකරගෙන ආවේ. ඊට කලින් මහ බැංකු අධිපතිවරයකුට පඩිය ලැබුණෙ රුපියල් ලක්‍ෂ එකහමාරයි. එතුමා එන විට ලක්‍ෂ හතරට වැටුප වැඩිකරගෙන, අර කැබිනට් මණ්ඩලයේ තනතුරකට ගැළපෙන ලෙස තත්ත්වය උසස් කරගෙන, ඒත් එක්කම භාණ්ඩාගාරයේ වියදමින් වෙනමම කාර්ය මණ්ඩලයක පිරිසක් පත්කරගෙන ඊටත් අමතරව තව අර කැබිනට් අමාත්‍යවරයකුටත් වඩා ආරක්‍ෂාවට තව හතර පස් දෙනෙක් අරගෙන තිබුණා. ඒ කිසිම දෙයක් මම අරගෙන නැහැ. මම ලබා ගන්නෙත් නැහැ. ඒ නිසා මට ලක්‍ෂ 25 ක වැටුපක් මහ බැංකුවෙන් ලැබෙනවා කියන කතාව අමූලික බොරුවක්. එසේම මහ බැංකු අධිපතිවරයා ලෙස විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ අපේක්‍ෂාවක්ද මට නැහැ. ඒ වගේම මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලැබෙන්නෙත් නැහැ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment