මට ඡන්දෙ දුන් අය කමිටුවලින් කපලා ඒ වැඩේ පිළිකුල්: ඩලස් අගමැතිට ලියයි

266

මිතුරන් ලෙස සිටි අයගේ කුහකකම් පස්සේ හෝ දැනගැනීමට ලැබීම සතුටක්
මේක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි ‘ජරාතන්ත්‍රවාදය’

නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත්කිරීමේ දී, ජුලි 20 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී තමා වෙත සෘජුවම සහාය පළ කළ සහ ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව වෙහෙසුණු මහජන නියෝජිතයන් බොහෝ දෙනකු නැවත පත් නොකිරීමට ආණ්ඩුව උනන්දුවෙන් ක්‍රියාකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමින් කියා ඇත.

එසේ අශිෂ්ට ලෙස දේශපාලන දණ්ඩණයට ගොදුරුව ඇති ඔවුන් සියලු දෙනා රජයේ වංචනික මෙන්ම අනීතික කටයුතු හෙළිදරව් කිරීම සඳහා කොන්දේසි විරහිතව පෙනී සිටි මහජන නියෝජිතයන් බැවින් ඒ පිළිබඳව තමාගේ කනගාටුව ද විරෝධය ද එයට උරුම වූ පිළිකුල ද පළමුවෙන්ම ප්‍රකාශ කරන බවද එහි සඳහන් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.

කථානායකතුමා විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවට අනාවරණය කරනු ලැබූ ලේඛනවලට අනුව, පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව (Business Committee) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (Public Finance Committee) සඳහා පත්වීම් සිදු කිරීමේ දී මෙහෙයුම් කමිටුවේ අඛණ්ඩව දශක ගණනාවක් සේවය කළ මා ඉවත්කොට තිබීම අශීලාචාර වුව ද අසංස්කෘතික දේශපාලන පරිසරයක එය තේරුම් ගත හැකි කරුණකි. එහෙත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මාගේ නම ස්ථිර කරනු ලැබූ මෙන්ම, මා මෙන්ම දිගු කාලයක් එම කමිටුව නියෝජනය කළ ජාත්‍යන්තරය පිළිගත් බුද්ධිමතෙකු වන පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. ඇල්. පිරීස් මැතිතුමා ඉවත් කිරීම මෙන්ම ජනාධිපතිවරණයේ දී මාගේ ගණන් කිරීමේ නියෝජිතයා වූ නීතිඥ ඩිලාන් පෙරේරා සහ මාගේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියකු වූ ආචාර්ය නාලක ගොඩහේවා යන මන්ත්‍රීන් දෙපළ ජාතික වගකීමක් සේ සලකා මහත් කැපවීමෙන් කටයුතු කළ ගිණුම් කාරක සභාවෙන් නෙරපා හැරීම නිසැකවම ස්වාභාවික යුක්තියේ මෙන්ම ජනතා පරමාධිපත්‍යයේ මූලධර්මයන් ද උල්ලංඝනය කිරීමකි.

කථානායකවරයා විසින් මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ ද, ඉහත සඳහන් කප්පාදු කිරීම්වලට අමතරව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කමිටුවේ (COPE) සභාපතිවරයා ලෙස දූෂණයන්ට එරෙහි අනම්‍ය පිළිවෙතක සිට කටයුතු කොට මහජන ගෞරවය ඉහළින් දිනාගත් මහාචාර්ය චරිත හේරත් මහතාගේ නම ද ආණ්ඩුවේ ලේඛනයෙන් උගුල්වා පාර්ලිමේන්තුව වෙත යොමු කොට ඇති බව ද, ඔහු මා නියෝජනය කරමින් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියකු ලෙස කටයුතු කළ බව ද ඔබතුමාට රහසක් නොවේ. එසේම, මෙම කමිටුව නියෝජනය කරනු ලැබූ ආචාර්ය ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරයා ද මාගේ සමීපතම ආධාරකරුවකු වීම හේතුවෙන් මෙහිදී ආණ්ඩුවේ උදහසට ලක්ව ඇත.

මේ අනුව, නිසැකවම පැහැදිලි වනුයේ මීට දින 21 ට පෙර ජනාධිපතිතුමන් විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස එළිදක්වා ඇත්තේ අරුත්සුන් හිස් ප්‍රලාපයක් බව පමණි. එම නිසා, ජනසම්මතවාදය සහ ලිච්ඡවී ප්‍රතිපත්ති පිළිබඳව උස් හඬින් කතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ උල්පත ලෙස සලකන පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ නිහඬව මේ ක්‍රියාත්මක කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ‘ජරාතන්ත්‍රවාදය’ ආදේශ කිරීමකි යි යන මාගේ නිර්වචනය කාරුණිකව පිළිගනු මැනවි.

අගමැතිතුමනි, පාර්ලිමේන්තුව තුළ මිතුරන් සේ අතට අත දෙන බොහෝ දෙනාගේ ඇඟිලිකරු අතර නිර්වස්ත්‍රව පෙනෙන කුහකකම පසුකාලීනව හෝ හඳුනාගැනීමට හැකිවීම සතුටට කරුණකි. එම සතුට අපට දිරිය, සවිය හා ආරක්ෂාව සපයන යෝධ බලයන් වනවාද ඒකාන්තය. එබැවින්, කුමන කෙණෙහිලිකම් මැද වුව ද අචලව අනාගතය දෙස පමණක් සුබවාදීව බැලීමට අපි ඒකමතිකව තීරණය කළෙමු.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment