මට තිබුණ සිනමා හෝල් 16 ක්ම විකුණුවා; එත් මම මැරෙණකල්ම චිත‍්‍රපටි හදනවා

1528

මෙරට සිනමා ක්ෂේත‍්‍රයට කොතරම් බාධක ආවද සිනමා ක්ෂේත‍්‍රය අත්නොහල ප‍්‍රවීණ චිත‍්‍රපට නිෂ්පාදකයකු වන්නේ සුනිල් ටී. පුනාන්දු ය. ‘‘ඒක පුදුම කතාවක්’‘ ඔහුගේ නවතම සිනමා නිර්මාණයයි. මේ වන විට රූගත කිරීම් ආරම්භ කර තිබෙන එම සිනමාපටය ගැන ඔහු පවසන්නේ මෙවැන්නක්.

‘‘මේ චිත‍්‍රපටයේ කතා කරන්නෙ මව්වරු සහ දරුවන් ගැන. දරුවන් නැති මව්වරු දරුවන්ව හොයනවා. දරුවෝ ඉන්න මව්වරු දරුවන්ව නැති කරන්න හදනවා. මෙන්න මේ තේමාව එක්ක තමා ඒක පුදුම කතාවක් චිත‍්‍රපටයේ කතාව ගලාගෙන යන්නෙ. ’’

මට තිබුණ සිනමා හෝල් 16 ක්ම විකුණුවා; එත් මම මැරෙණකල්ම චිත‍්‍රපටි හදනවා
‘ඒක පුදුම කතාවක්’

ස්වකීය 73 වැනි සිනමා නිර්මාණයේ කතා ගැන ඔහු එසේ පවසනවා. ‘‘මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීම සැළසුම් කර තිබුණේ කොවිඞ් වසංගතයට පෙර සිට බව පවසන ඔහු එය සිනමා ශලාවල ප‍්‍රදර්ශනය සඳහා පමණක් වෙන් නොවූවක් බව පවසමින් තවදුරටත් ඒ ගැන කතා කළා.

මේ චිත‍්‍රපටය නිෂ්පාදනය කරන්නෙ හෝල්වලට දාන්නම විතරක් බලාගෙන නෙවෙයි. රීකී ෆිලික්ස් කියන මගේ ඇප් එකේ තිරගත කිරීමටයි සැළසුම් කර තිබෙන්නේ. කොහොමත් ඞී. වී. ඞී. රයිට්ස් තියන නිසා ඒවටත් දාන්න පුළුවන්. ප‍්‍රදර්ශනය සිනමාශාලා විතරයි කියන තැන ඉඳන් දැන් වැඩ කරන්නෙ නෑ. චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සඳහා දැන් තවත් වෙනත් මාධ්‍යන් තියනවා.

මේ මොහොතේ සිනමා ක්ෂේත‍්‍රයේ ආයෝජනය කිරීම අවදානමක් නොවෙද?

මට කිසිම එහෙම අවදානමක් නෑ. මම මේ කරන්නේ 73 වැනි චිත‍්‍රපටය. ඇත්තටම මේක විතරක් නෙමෙයි ලොක්ඩවුන් කියන නමින් ලබන මාසයේ මම තවත් චිත‍්‍රපටියක් පටන් ගන්නවා. ඊට පස්සෙ සංගීතමය සිනමාපටයක් සහ තරුණ පරපුර ඉලක්ක කරගෙන සිනමා පටයක් ඇතුළු චිත‍්‍රපට කිහිපයකම වැඩකටයුතු ඉදිරියේදී ආරම්භ කරනවා.

ඒත් ඔබට තිබුණ සිනිමා ශාලා කිහිපයක්ම ඔබම පසුගිය කාලයේ වහල දැම්මනෙ?

ඔවු මට සිනමාශාලා 18 ක් තිබුණා. එයින් 16 ක්ම වහල දැම්මා පාඩු ලැබීම නිසා. දැන් මට තියෙන්නෙ එම් මොරටුව සහ කන්ට‍්‍රාස් දළුගම කියන හෝල් දෙක විතරයි. හැබැයි හෝල් වලින් එහෙම පාඩු ලැබුවත් මම දන්නවා මේ චිත‍්‍රපටිවලින් පාඩු නොලබන විදියට නිෂ්පාදනය කරන්න.

මම අවුරුදු 19 දී සිනමා ක්ෂේත‍්‍රයට ආවේ. ඒක මගේ තිබුණ ආශාවක්. මොරටුවේ වැලන්ටයින් මුදලාලි තමයි මගේ තාත්තා. එයාට මම කිව්වා මට චිත‍්‍රපටි නිෂ්පාදනය කරන්න ඕන කියල. ඒ අවස්ථාවේ තාත්තා මට සල්ලි දුන්නා. එකෙන් මම චිත‍්‍රපටි හතරක් නිෂ්පාදනය කළා. චණ්ඩි පැටව්, පුතුනි මට සමාවෙන්න, මද්දුම බණ්ඩාර, කෝ හතුරෝ කියන ඒ චිත‍්‍රපටි හතරම ෆේල් වුණා. අන්තිමේදී තාත්තා කිව්වා දැන් මට දෙන්න තියෙන්නෙ ගෙදර විතරයි. ඒක අරන් ඕන දෙයක් කරගන්න කියල. අන්තිමේදී ඒ ගේ අරගෙන තමයි සෝනියා දිසා එක්ක ජය අපටයි චිත‍්‍රපටිය හැදුවේ. එදා ඉඳන් ගහපු හැම චිත‍්‍රපටියක්ම සාර්ථක වුණා. දැන් ඒ ගමනේ ගොඩක් දුර මම ඇවිත් තියනවා. තව ටික කාලයයි, හිටියට වඩා ඉන්න තියෙන්නෙ. ඉතින් මම මැරෙනකල්ම චිත‍්‍රපටි හදනවා. මේ සිනමා කේෂත‍්‍රයේ ඉන්නවා. ඒකෙන් මම වගේම තවත් අය ජීවත් වෙනවනෙ.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment