මට දැන් පරණ පුරුදු විදියට කතා කරන්න බැහැ

320

හිරේ බිම හිටපු මට පැදුරු මෙට්ට දුන්නේ විපක්‍ෂ නායකතුමා
අර්ධ නිදහසට කැප වූ ජනපති ඇතුළු සැමට ස්තුතියි – රන්ජන් කියයි
ජාතික ලැයිස්තුවේ පළමු පුරප්පාඩුවට රන්ජන් – විපක්‍ෂ නායක සජිත් කියයි

භාෂණයේ නිදහස නොමැතිව තමන් වෙත ලැබුණු අර්ධ නිදහස වෙනුවෙන් කටයුතු කළ ජනාධිපති, විපක්‍ෂ නායක ඇතුළු සියලු දෙනාට තමා ස්තුතිය පළකරන බව නිදහස ලැබූ රන්ජන් රාමනායක මහතා ඊයේ (26 දා) පැවසීය.

හෙතෙම ඊයේ නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටත්ව මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කළේය.

එහිදී රාමනායක මහතා මෙසේද කීය.

මාව සිරගත කළේ 2021 ජනවාරි 12 දා. එදා සිට මට කතා කරන්න තහනම් වුණා. මම කතා කළා නම් එදා මා සමඟ සිටි බන්ධනාගාර නිලධාරීන්ගේ වැඩ තහනම් වෙනවා.

මට අද කොන්දේසි සහිතව නිදහසක් ලැබී තිබෙනවා. ඒත් මගේ අතින් යම් වැරැද්දක් වුණොත් නැවත හිරේ යන්න වෙනවා. දැන් මට පරණ පුරුදු විදිහට කතා කරන්න බෑ. අයුතු ජනරාශිය බෑ. මාව හදලා තියෙන්නේ ඇත්ත කතා කරන්න. නමුත් අද ඒක කතා කරන්න බෑ.

මට නිදහස ලබාදීමට කටයුතු කළ ජනාධිපතිතුමාට මම ස්තුතිය පළ කරනවා. හිටපු ජනාධිපති මට නිදහස දෙන එක මගහැරියා. මාව රස්තියාදු කළා. නැවතත් වත්මන් ජනාධිපතිතුමා මට නිදහස දෙනවා කියලා සාගල රත්නායක අතේ පණිවුඩයක් එව්වා. අද මට ඒ දේ ලැබිලා තියෙනවා. ඊට ජනාධිපතිතුමාට, අධිකරණ ඇමැතිතුමාට, විනිසුරුවන්ට, නීතිඥයන්ට, වගේම මට තීන්දුව සඳහා අනුමැතිය දුන් විනිසුරුවරුන්ටත් ස්තුතිය පළකරනවා.

ඒ වගේම විපක්‍ෂනායකතුමා මට අඟුනකොලපැලැස්සෙන් වැලිකඩට එන්න උදව් කළා. මාව හිරේ බිම දාලා තිබුණේ. විපක්‍ෂනායකතුමා මට පැදුරක් දීලා, පසුව මෙට්ටයක් දීලා, පුටුවකුත් දෙන්න කටයුතු කළා. මට ඉගෙනගන්න උදව් කළා. ඒ වගේම මනූෂ, හරීන් ජිනීවා යවන්න මෙතුමා කටයුතු කළා.

මාව බලන්න ගොඩක් අය ආවා. මාව ටොයිලට් හෝදන්න, අතුගාන්න දාලා තිබුණේ. එහෙම වෙලාවක මාව බලන්න බත් පැකට් එකක් අරන් ආවා. ඒ අයට ස්තුතියි. අද මට භාෂණයේ නිදහස අහිමි වෙලා තියෙනවා. මම බයවෙලාලු. පක්‍ෂ මාරු කරයිද කියලා සමහරු අහනවා. නමුත් මම වෙනස් වෙලා නෑ. මම මැරෙන්නෙත් මේ විදියටම තමයි.

මෙම මාධ්‍ය හමුවේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අදහස් දැක්වීය.

එහිදී ඔහු කියා සිටියේ සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවේ ඇතිවන පළමු පුරප්පාඩුව සඳහා රන්ජන් රාමනායක මහතා පත් කරන බවය.

ඒ සඳහා පූර්ණ නිදහස ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ද ඒ වෙනුවෙන් පෙනී සිටින බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment