මට නින්දා අපහාස කළ පොදු පෙරමුණට ජනපති සහ අගමැති ධුරය අහිමිවීම දෛවෝපගත සිද්ධියක්

154

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන

තමන්ට නින්දා අපහාස කළ පුද්ගලයන්හට සිදු වූ දෛවෝපගත සිද්ධියක් ලෙසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, ජනාධිපති ධුරය සහ අග්‍රාමාත්‍ය ධුරය අහිමි කර ඇති බවත්, ජාතික සමගිය ගොඩනැඟීම සඳහා යම් පියවරක් ගන්නේ නම් ඒ පිළිබඳ පවතින නීතිමය තත්ත්වයන් සොයා බලා ඊට සහාය ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පෙරේදා (14 දා) සවස අනුරාධපුර පිහිටි ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

ප්‍රථමයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව හිටපු ජනාධිපති වරයා මෙසේද කීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිවම සන්ධානගත වනවා. ඒ සම්බන්ධ සාකච්ඡා මේ වනවිටත් සිදුකර අවසන්. මේ වනවිට ඉතිරිවෙලා තිබෙන්නේ ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාව දැනුවත් කිරීම පමණයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගතවන පක්ෂ පිළිබඳව මේ වනවිට ප්‍රකාශ කිරීමට නොහැකියි. එම සන්ධානය එළිදැක්වීම සිදු කරන විට ඒ පිළිබඳව මුළු රටටම ප්‍රකාශ කරනවා.

නිෂ්පාදන ආර්ථිකයක් මගින් රට ගොඩනැඟීම තමයි නව සන්ධානයේ, පක්ෂයේ අරමුණ. අධ්‍යාපනය සහ සෞඛ්‍යය පිළිබඳව මේ වනවිටත් ඉතා හොඳ වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වූ තනතුරු සඳහා පරිණත බුද්ධිමත් නව පුද්ගලයන් මේ වන විට පත්කර තිබෙනවා. එළැඹෙන ජනවාරි මාසයේදී පක්ෂයේ නව වැඩපිළිවෙළ එළිදැක්වීමට නියමිතය.

මට නින්දා අපහාස කළ පුද්ගලයන්ට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ධුරය අහිමි වීම දෛවෝපගත සිද්ධියක්“ යැයි පැවසීය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment