මට ලකුණු ගන්න බැරි වෙන විදිහට ඔවුන් තණතීරු හදල තිබුණා – පාකිස්තාන සංචාරය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි කතා කරයි

293

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය සිතූ තරම් රසඳුන් එකක් නොවිණි‘ පැරදුම් බහුල විණි‘ සත්කාරකත්වයේ වාසිය මොනවට උපයෝගී කර ගත් පාකිස්තාන ක්‍රීඩිකාවෝ පන්දු වාර 20-20 තරගාවලිය 3-0ක් ලෙස ජය ගත්හ. එක්දින තරගාවලිය ද 3–0ක් ලෙස” එලෙස ජය ගැනීමේ හීනයක ඔවුහු සිටියහ. එහෙත් ලොව

 ප්‍රවේගකාරී පිතිකාරිණියන් අතර අගතැන්පත් රුවැත්තියක් හමුවේ ඒ සිහින බොඳ විණි‘ එදා පාකිස්තාන කණ්ඩායමේ සිහින බින්ද ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු” පන්දු 123කට ලකුණු 101ක් ලබා ගත්තාය. එය ඇයගේ 6 වන ජාත්‍යන්තර එක් දින ක්‍රිකට් ශතකය විය. පන්දු යැවීමෙන් ද විශිෂ්ට දස්කම් දැක්වූ චමරි ලකුණු 20කට කඩුලු දෙකක් දවා ගැනීමට අමතරව පන්දු රැකීමෙන් දුවද්දී දවා ගැනීමකට ද සම්බන්ධ වූවාය. එවැනි තුන් ඉරියව් දක්ෂතාවලින් පිරිපුන් චමරි සමග මීවිත කළ පිළිසඳරක සටහනයි මේ.

 ‘අවසන් තරගයට එන විට අපි ලොකු පීඩනයක හිටියේ. කණ්ඩායමේ නායිකාව ලෙස ඒ පීඩනය මට අනෙක් අයටත් වඩා දැනුණා. ඒ විතරක් නෙවෙයි” කණ්ඩායමට මගෙන් ලැබිය යුතු දායකත්වය මුල් තරගවලදී ලබා දෙන්න නොහැකිව තිබුණා. මගේ පිතිහරඹය ඒ තරගවලදී සාර්ථක වුණේ නැහැ. ඒත් අවසන් තරගයේ දී සියල්ල වෙනස් වුණා. මට ලකුණු අතරට එන්න හැකි වුණා. ඒ නිසා තරගය ජය ගැනීමට පුළුවන් වුණා. අන්තිමේදී ඒ තරගය හෝ ජය ගැනීමට හැකි වීම ගැන ලොකු සතුටක් තිබෙනවා..

 පාකිස්තාන සංචාරයට පිටත් වන විට ඔබ ඉතා හොඳ රිද්මයක සිටියා. බොහෝ දෙනා ඔබගෙන් එක් ජග්‍රහණයකට” එක් ශතකයකට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ඉටු කරන්න ඔබට නොහැකි වුණේ ඇයි?

 පාකිස්තාන කණ්ඩායම මාව හොඳින් අධ්‍යයනය කරලා තිබුණේ. කොටින්ම ඔවුන් තණතීරු පවා නිර්මාණය කරලා තිබුණේ මට ලකුණු ලබා ගැනීමට අපහසු වන විදියටයි. ඔවුන් දන්නවා වේගවත් සහ පන්දුව ඉපිලී එන තණතීරුවලදී මම පහසුවෙන් ලකුණු ලබා ගන්නා බව. ඒ අනුව පන්දුව සෙමෙන් සහ පහතින් එන තණතීරු ඔවුන් නිර්මාණය කරලා තිබුණා. ඊට අනුගත වීමට මට කාලයක් ගත වුණා. ඒ අතරතුර ඔවුන් අප තරගාවලියෙන් පරාජය කර තිබුණා. එම පරාජයන් ගැන ගොඩක් කනගාටුයි. පාකිස්තානය දක්ෂ කණ්ඩායමක් බව ඇත්ත. ඒත් අපි අපේ උපරිමය කරා නම් අපිට තරගාවලිය ජය ගැනීමට පුළුවන්කම තිබුණා. ඒ දෙය මම ඇතුළු අපේ කණ්ඩායමෙන් ඉටු වුණේ නැහැ.

මට ලකුණු ගන්න බැරි වෙන විදිහට ඔවුන් තණතීරු හදල තිබුණා  - පාකිස්තාන සංචාරය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි කතා කරයි



 පාකිස්තාන සංචාරයට සහභාගී වුණේ මොන වගේ බලාපොරොත්තුවකින්ද?

 හැමදාම වගේ ජයග්‍රහණය තමයි එකම අරමුණ වුණේ. මම දන්නවා කණ්ඩායමේ වැඩි බරක් මට දරන්න වන බව. මේ සංචාරයට පෙර හොංකොං හි පැවති ෆෙයාර්බ්‍රේක් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය වීමට ද මට හැකියාව තිබුණා. ලෝකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාවන් හැමදෙනාම වගේ සහභාගි වූ එවන් තරගාවලියක වැඩිම ලකුණු ලාභීනිය වීමත් රටට විශාල ගෞරවයක්. අපි ලෝකයේ කොතැනක ක්‍රිකට් ක්‍රීඩා කළත් ඒ ගෞරවය එන්නේ රටට. ජයග්‍රහණයම අරමුණ වුණත් ප්‍රතිවාදී කණ්ඩායම හැම අතින්ම ප්‍රබල වී අපේ එක් දුර්වල ස්ථානයක් නිසා පරාජය උරුම වෙන්න පුළුවන්. පාකිස්තාන සංචාරයේදී එවැනි දුර්වල ස්ථාන කිහිපයක්ම ඉස්මතු වුණා.

 ශතකය කරා යන ගමනේදී පාකිස්තාන ක්‍රීඩිකාවන්ගෙන් ඔබට මොනවගේ පීඩනයක්ද එල්ල වුණේ?

 මුලින්ම ඔවුන් හිතුවේ නෑ මම ඒ තරගයේ ශතකයක් ගනියි කියලා. මොකද අපි හොඳටම වැටිලා හිටියේ. ඔවුන්ගේ උපාය උපක්‍රම හමුවේ අපි පරාජය වෙලා තිබුණේ. ඒත් මම ලකුණු විස්ස” තිහ යන සීමාවන්වලට අවතීර්ණ වන විට ඔවුන් දැන ගත්තා අද මාව නවත්තන්න බැරි බව. ඔවුන් දන්නවා ඕනෑම අවස්ථාවක මට තරගයක් කණපිට හරවන්න පුළුවන් බව. එසේ මම ලකුණු අතරට එන විටම ඔවුන් දැන ගත්තා මේ තරගය ඔවුන් පරාජය වන බව.

 ප්‍රතිවාදීන්ගේ ග්‍රහණයට හසු නොවී එම ශතකය ලබා ගැනීම සඳහා ඔබ විශේෂ සැලසුමක් අනුගමනය කළා ද?

 මම පිතිකරණ ඉරියව්ව පවා තරමක් වෙනස් කළා. තණ තීරුව හොඳින්ම අධ්‍යනය කළා. වැරදුණු දැන් සිහියට ගත්තා. ඒ අනුව හයේ පහර සඳහා යෑම අඩු කරන්න තීරණය කළා. මුල් තරඟ කීපයේදීම මම දැවී ගොස් තිබුණේ හයේ පහර කරා යොමු වීමෙන්. සාමාන්‍යයෙන් මම හයේ පහරවල් වලට පෙළඹෙනවා වැඩියි. ඒත් මේ ශතකය පුරාම තියෙන්නේ එක් හයේ පහරක් පමණයි. බොහොම සීරුවට තමයි මේ ශතකය ලබා ගත්තේ.

මට ලකුණු ගන්න බැරි වෙන විදිහට ඔවුන් තණතීරු හදල තිබුණා  - පාකිස්තාන සංචාරය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි කතා කරයි



 මෙම ශතකය ඔබගේ ජාත්‍යන්තර ශතක ලැයිස්තුවේ හය වැනි ශතකයයි. අනෙක් ශතක සමග මෙම ශතකය ශ්‍රේණිගත කළොත් කීවෙනි ස්ථානය දෙන්න පුළුවන්ද?

 ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රබල ඕස්ටේ්‍රලියාවට එරෙහිව මං ලකුණු 178ක් ලබා ගත්තා. එය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕනෑම තරගයක වැඩිම දෙවැනි ලකුණු සංඛ්‍යාවයි. අයර්ලන්තයට එරෙහිව මම පළමු ශතකය ලබා ගත්තේ ලංකාවේ පළමුවන ක්‍රීඩිකාව ලෙසයි. ඒත් එම හැම ශතකයකටම වඩා මේ ශතකය අංක එකේ ස්ථානයේ තියන්න පුළුවන්. මෙය එතරම්ම පීඩනයක් දරාගෙන ලබාගත් ශතකයක්. අපව 3–0ක් ලෙස පාකිස්තානය පාගලා දාන්න හදද්දි ඒ අතරින් නැගිට ලබා ගත් ශතකයක්.

 ශතකය ලබා ගැනීමෙන් පසුව ඔබ පිත්ත විසිකරමින් එය සමරන ආකාරය දක්නට ලැබුණා. මෙය අපි වෙනදා ඔබගෙන් දකින්නට නොලැබෙන දෙයක්?

 ඔව්. මගේ පීඩනය එදා එහෙම තමයි මුදා හැරුණේ. ඒකෙන්ම පේනවා නායිකාව ලෙස මම කොතරම් පීඩනයක හිටිය ද කියන එක. ඒත් මම අදටත් කනගාටු වෙනවා” කල්පනා කරනවා බැට් එක විසි නොකර හිටිය නම් කොච්චර හොඳයිද කියලා. ජීවිතයේ අමාරුවෙන් ම ලබාගත් ශතකයකට පසුව මනුෂ්‍යයෙකු ලෙස මා අතින් ඒ දෙය එදා සිදුවුණා වෙන්න පුළුවන්. ඒත් දැන් නම් මතක් වෙනකොටත් දුකක් දැනෙනවා.

 ශතකය කරා යන ගමනේදී හර්ෂිතා මාධවී ක්‍රීඩිකාවගෙන් ඔබට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම ඇය තමාගේ මංගල එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයත් එහිදී ලබා ගත්තා. මේ දක්ෂතා පිළිබඳව නායිකාව ලෙස ඔබ මොකද කියන්නේ?

 නව යොවුන් ක්‍රීඩිකාවක් ලෙස ඇය දක්වන දක්ෂතා ප්‍රශංසනීයයි. මම ඇයට හදවතින්ම සුබ පතනවා. ඇය හොඳ අනාගතයක් සහිත ක්‍රීඩිකාවක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගත නායකත්වයට පවා අවශ්‍ය තරම් දක්ෂතා ඇය තුළ තිබෙනවා. මෙම ශතකය කරා යන ගමනේදී ඇය ලබා දුන් සහයෝගය විශිෂ්ටයි.

 එම තරගයේදී පන්දු යැවීමෙන්ද ඔබ කඩුලු දෙකක් ලබා ගත්තා ඔව්. තරගාවලියේ එතෙක් වැඩිම ලකුණු ලාභිනිය වූ පාකිස්තාන කණ්ඩායමේ නායිකාවගේ කඩුල්ල ද දවා ගැනීමට මට හැකි වුණා. ඒත් මම දැන් වැඩිපුර පන්දු යවන්නේ නැහැ. මොකද විශේෂ පන්දු යවන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම දැන් කණ්ඩායම සතුයි.


 කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment