මට ලැබුණේ ඝාතනය කළ ආර්ථිකයක්

452

විනිමය අනුපාතය ‘ෆික්ස් කිරීම’ හා දැන් තියන
‘ක්රෝලින් පෙග්’ කියන එක එකක් නොවෙයි
මහ බැංකු අධිපතිවරයකුට දේශපාලනය කිරීමට අදහසක් නොතිබිය යුතුයි
ඒ අය ආර්ථිකය ඝාතනය කළේ බලය බෙදන්නද?
උද්ධමනය අඩුවීමත් සමඟ පොලී අනුපාත අඩුවෙනවා
දේශපාලනය කිරීමට මගේ කිසිම අදහසක් නෑ!

මේ වනවිට දේශපාලනඥයන් කෙරෙහි වන මහජන විශ්වාසය බරපතළ ලෙස පළුදු වී ඇත. වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගනු ඇති බවට බහුතර ජනතාව විශ්වාස කරන ප්‍රමුඛතම පුද්ගලයා බවට පත් වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතායි. මෙය අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතා එහි මූල්‍ය පහසුකම අපේක්‍ෂාවෙන් ද සිටින තීරණාත්මක මොහොතකි. එසේම ආචාර්ය වීරසිංහ මහතාට රටේ ණය පැහැරහැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද නොයකුත් චෝදනා එල්ල වී ඇත. දේශපාලන පරිසරයෙන් ද ඔහුට ඇතැම් චෝදනා එල්ල වී ඇත. මෙකී සියලුම කරුණු කාරණා ගැන අපි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් කෙළින්ම ප්‍රශ්න කළෙමු. පහතින් සටහන් වන්නේ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ඇසූ ප්‍රශ්නවලට ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ලබාදුන් පිළිතුරුයි.

ප්‍රශ්නය – ඔබතුමා මහ බැංකු අධිපති ධුරයට පත්වෙලා මේ වනවිට මාස අටක් පමණ ගතවෙලා තියනවා. ඒ අවස්ථාවේ සිට මේ වනවිට ආර්ථිකයේ මොනවගේ පරිවර්තනයක් වෙලා තියනවද?

පිළිතුර – ජනාධිපතිතුමා ආරාධනය කරල මම වැඩ භාරගත්තෙ අප්‍රේල් 07 හෝ 08 වැනිදා. ඊට කලින් අවුරුද්දෙ ඉඳලම අපි හැමෝම දන්න දෙයක් තමයි අපේ රජයේ ණය තිරසාරභාවය සම්පූර්ණයෙන්ම නැතිවෙලා, රටට කිසිම ආකාරයකින් විදේශ ණය ගන්න බැරි තත්ත්වයට පත්වෙලා රජයේ ආදායම අඩුවෙලා. කොවිඩ් එක විශේෂයෙන් බලපෑවා 2020 වසරේ. නමුත් පළමුවෙනිම අවස්ථාව තමයි 2020 මාර්තු මාසෙ රජය විසින් ඉල්ලා සිටියම රැපිඩ් ෆයිනෑන්ස් ඉන්ස්ටෘමන්ට් කියල රටවල් 90 ගානකට ලැබුණ මූල්‍ය අරමුදලෙන්. කොවිඩ් වසංගතය නිසා කිසිම කොන්දේසියක් නැතුව ලැබෙන්න තිබුණු මුදලක්. ඒක අපිත් ඉල්ලුම් කරා. ඒ වෙලාවෙ මම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති විදියට අයි එම් එෆ් සාකච්ඡාවලට මැදිහත් වුණා. එතනදි තමයි පළවෙනි වතාවට ණය තිරසාරභාවය පිළිබඳ විශ්ලේෂණය කරල දැනුම් දුන්නෙ ශ්‍රී ලංකාවේ රජයේ ණය තිරසාර නැහැ. ඒක නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒ ආර්එෆ්අයි (RFI) කියන පහසුකමවත් දෙන්න ක්‍රමවේදයක් නැහැ. ඒගොල්ලො යෝජනා කරා දෙන්න නම් ණය තිරසාරභාවයට පත්කර ගන්න ඕන කියල.

ප්‍රශ්නය – ඒ කොයි කාලයේද?

පිළිතුර – ඒ 2020 මාර්තු අප්‍රේල් කාලෙ. මාර්තු පටන් ගත්තෙ මට මතක විදියට අප්‍රේල් වෙනකොට ඒගොල්ල දැනුම් දුන්න ණය තිරසාරභාවය නැති නිසා ණය තිරසාර කරගන්න අවශ්‍ය පියවර ගන්න කියල. ඒක සිදුවුණේ පළවෙනි වතාවට. සමහර අය කියනව මේ තිරසාරභාවය නැති වුණේ මීට කලින් කියල. එහෙම නෙවෙයි. උදාහරණයක් ගත්තොත් 2019 වසරෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලින් තිබුණු වැඩසටහන යටතේ රජයට ණය ලබා දුන්නා. එතකොට තිරසාරභාවය නැති වුණා නම් මීට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නීති රීති අනුව ණයක් ලබාදෙන්න බැහැ. ඒක නවත්තන්න ඕන වහාම. එතකොට 2020 කොවිඩ් එකෙන් පසුව ඉල්ලනකොට තමයි ණය තිරසාරභාවය ගැන විශ්ලේෂණයක් කරල කිව්වෙ තිරසාරභාවය නැහැ කියල. ඒ නිසා කරන්න තියන පළවෙනි පියවර තමයි ඒ තිරසාරභාවය නැවත ඇතිකර ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍ය වෙනව. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික වශයෙන් උපදේශකයො පත් කරල ඒ ක්‍රියාවලිය පටන්ගන්න කියල යෝජනා කරා. නමුත් ඒ වෙලාවෙ තිබුණු රජය, මුදල් අමාත්‍යාංශය ඒක ප්‍රතික්‍ෂේප කරා. අපට ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ නිසා ඒ ක්‍රමයට යන්න ඕන නෑ කියල එය ප්‍රතික්‍ෂේප කරා. ඒ පළවෙනි අවස්ථාව. හැබැයි එහෙම කිව්වට ඊට පසුව යම් කිසි ආකාරයක අවබෝධයක් කොහොම වුණත් රජයට තියෙන්න ඇති. ණය ගෙවන්න අපහසු තත්ත්වයක් තිබුණු නිසා. ඒ නිසා තමයි ඔබට මතක නම් කීප වතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඉල්ලීම් කරා ඉන්දියාව, චීනය, ජපානය සහ ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව වගේ ආයතනවලට ණය ප්‍රතිව්‍යුහගත කරන්න හෝ සහන කාලයක් දෙන්න කියල අඩුම ගානේ අවුරුදු තුනක් විතර යනකම්. එතකොට රජයටත් දැනුමක් තිබුණ. නමුත් ඒ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දැක්කෙ නෑ. හේතුව ඒ ආයතන එතකොටත් අපේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් පහළට ඇවිත් ඒ අයත් අයි එම් එෆ් එකෙන් ඇහුවම ණය තිරසාර නෑ කියල ඒ නිසා ඒ අය ණය ප්‍රතිව්‍යුහගත කරන්න බෑ කිව්ව ඒ වෙලාවෙ.

ප්‍රශ්නය – අධිපතිතුමනි ඔබ සඳහන් කළ පරිදි හිටපු ජනාධිපතිතුමා ඉල්ලීම් කරා ඔබතුමා සඳහන් කළ චීනය ඇතුළු රටවල් කීපයකින්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නිවැරැදි ක්‍රියාවලිය ඒකද? මේ අවස්ථාවෙදි වෙන්නෙ උපදේශක සමාගම් පත්කරල ණය ප්‍රතිව්‍යුහගත කිරීමනෙ. රටේ නායකයා ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියල ඉල්ලීම නිවැරැදි පිළිවෙතක් ද ඒ අවස්ථාවෙදි?

පිළිතුර – ඒක සාමාන්‍යයෙන් ඉල්ලීම් කරලත් ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස ගත්තොත් සුනාමිය වෙලාවෙදි එහෙම රටේ නායකයා ඉල්ලීමක් කරා ඒ වෙලාවෙදි. ඒ අනුව ඒ වෙලාවෙදි ඒගොල්ල අවුරුද්දක සහන කාලයක් වගේ දුන්න. මේ කාලෙදි ගෙවන්න ඕන නෑ. ඒක පසුව ගෙවන්න කියල. ඒ වෙලාවෙ ඉල්ලීම් කළේ මම හිතන්නෙ එහෙම එකක්. හැබැයි එතකොට ණය තිරසාරභාවය ගැන ප්‍රශ්න තිබුණෙ නෑ. මේ වෙලාවෙ වුණේ ඉල්ලීම කරාට ඒ ඉල්ලීම ඉටුකරන්න ගියහම ණය දීපු පාර්ශ්වයන් බලනව මේක ගෙවන්න තියෙන හැකියාව තියෙනවද කියල. තිරසාරභාවය නෑ කියන්නෙ ණය ගෙවන්න පුළුවන් හැකියාව නෑ. ඒ හැකියාව නැති වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විතරක් නොවෙයි අනිත් පාර්ශ්වයන්ටත් අලුතින් ණය දෙන්න අමාරුයි. ඒ නිසා තමයි ඒගොල්ලො ඒ වෙලාව මම හිතන්නෙ ඒක භාර ගත්තේ නැත්තෙ. කරන්න තියන නියමිත ක්‍රමවේදය තමයි අර උපදේශකයො පත්කරල සාකච්ඡා පටන් අරගෙන ණය තිරසාරභාවය නැවත ළඟාකර ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහතිකය ඇතිව. ඊට පසුවත් දිගටම සංචිත අඩුවෙන විට මගෙ ළඟ දැන් ලේඛන තියෙනව. මට කලින් හිටපු අධිපතිවරයාත් ලියුම් ලියල තියෙනව ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඉල්ලීම් කරල. නමුත් ඒවට ඇහුම්කන් දීල නෑ. ඒකම තමයි හේතුව. මොකද අපි ඉල්ලුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනව නම් අපේ ණය තිරසාරභාවය නෑ කියල එතකොට ඒක කෙරෙන්නෙ නෑ. ඒ තත්ත්වය තමයි 2020, 2021 වසරෙ තිබිල ඔය විදියට අර බිලියන 7.6ක තිබුණු සංචිත ප්‍රමාණය ඉවරවෙනකම්ම ගියා. 2022 ජනවාරි වෙනකොට භාවිතා කළ හැකි සංචිත ප්‍රමාණය හොඳටම අඩු වුණා. අර 2022 ජනවාරි 18 දින ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ගෙවන්න තිබුණනේ. ඒ වෙලාවෙත් ඒ මිලියන 500ත් ගෙවන්නවත් ද්‍රවශීල සංචිත තිබුණෙ නෑ. එතකොට කරල තිබුණේ ඒ වෙලාවෙ අර ඒසීයූ ගෙවීම් පමාව දික්කරල තිබුණ මාස දෙකකට මිලියන 500ක් විතර තිබුණා. ඒක තව මාස දෙකකට දික්කරල, අවසාන මොහොතෙ ඉන්දියානු සංචිත බැංකුව කැමති වුණා ඒකට. ඒ මිලියන 500 භාවිතා කරල අර ගෙවන්න තිබුණු ඩොලර් මිලියන 500 ගෙවල දැම්මා. එතකොට එතන ඉඳල ආයෙමත් සැරයක් දිගටම පාවිච්චි කළ හැකි සංචිත තිබුණු ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ තත්ත්වයට එන විට කලින් තිබුණු මිලියන ප්‍රමාණයත් 0 ටම වගේ ඇවිල්ල. චීන මහජන බැංකුවෙන් ලැබුණු පාවිච්චි කළ නොහැකි ප්‍රමාණය තමයි ලොකු ප්‍රමාණයක් තිබුණෙ.

ප්‍රශ්නය – ඊට අමතරව මිලියන 20ක්, 30ක් වගේ තිබුණ?

පිළිතුර – ඒ වගේ ප්‍රමාණයක් තමයි භාවිත කළ හැකි ප්‍රමාණය වගේ දිගටම තිබුණෙ. එක එක වෙලාවට අපනයනවලින් මුදල් ලැබුණු විට ඒව භාවිත කරනව. නැත්නම් බැංකුවලට කියනව. එනම් මහජන බැංකුවට ලංකා බැංකුවට කියනව අන්න ඕගොල්ලන්ගෙ සල්ලි වලින් දෙන්න කියල. එහෙම කියලත් ඇත්ත වශයෙන්ම 2022 මාර්තු මාසෙ වෙනකොටම මහජන බැංකුව මුලින්ම විදේශ විනිමයෙන් ගෙවීමක් ඩිෆෝල්ට් කරේ එනම් ණය ගෙවීමක් පැහැරහැරියේ මහජන බැංකුව විසින් 2022 මාර්තු 23. ඒ වගේම මාර්තු 25 සහ අප්‍රේල් 01 වැනිද වනවිට ඒගොල්ලන්ගෙ අර එල්සී විවෘත කරල තියෙනවනේ. ඒව ගෙවා ගන්න බැරි වුණා. මොකද මහ බැංකුවෙන් ඒගොල්ලන්ටත් කියල පුළුවන් තරම් එල්සී ඕපන් කරන්න කියල මහජන බැංකුවට ගෙවන්න බැරි තත්ත්වයක් වුණා. අප්‍රේල් 12 වනවිට ලංකා බැංකුවටත් එහෙම වුණා. එතකොට මම එන්න කලින්ම රාජ්‍ය බැංකු විදේශ විනිමය ඩිෆෝල්ට් කරල තිබුණා. ඇත්ත වශයෙන්ම එය ප්‍රතිව්‍යුහගත කිරීම නෙවෙයි කෙලින්ම ගෙවන්න බෑ කියල තිබුණ.

ප්‍රශ්නය – ඒ කියන්නෙ නොකියාම ගෙවන්න බැරි වුණා?

පිළිතුර – නොකියම ගෙවන්න බැරි වුණා. ඒක නිසා තමයි විශේෂයෙන්ම රාජ්‍ය බැංකුවලට අර එල්සී ඕපන් කරන්න සහ දේශීය ණය සමග විදේශ විනිමයෙන් ගනුදෙනු කිරීම සම්පූර්ණයෙන් නැවැත්තුවා. ඊට පසුව එනම් කියන්නේ නැතුව ඩිෆෝල්ට් කරොත් ඕක තමයි තත්ත්වය. අදත් මහජන බැංකුව, ලංකා බැංකුව වගේ ඒවට විදේශ විනිමයෙන් ඒ බැංකුවලට ගනුදෙනු කරන්න බෑ. ඒ කට්ටිය විදේශ විනිමයෙන් කිසිම ගනුදෙනුවක් කරන්නෙ නෑ. මොකද අර කියන්නෙ නැතුව ඩිෆෝල්ට් කරපු නිසා. ඒක තමයි මම එන්න කලින් වෙච්ච තත්ත්වය.

ඊට පසුව ඔබට මතක ඇති මම එන්න කලින් අප්‍රේල් මාසෙ මුලදී අර ලොකු කලබලයක් වෙලා ජනාධිපතිතුමාගෙ නිවස ළඟ අරගලයක් කරල, මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙලා. එතකොට මට මතකයි මම එන්න කලින් නම් පැය 13ක් විදුලිය තිබුණෙ නෑ. තෙල් පෝලිම් තිබුණ. ගෑස් පෝලිම් තිබුණ. ඒ නිසා තමයි ජනතාව පාරට ඇවිත් මේ උද්ඝෝෂණ කරල මේ කලබයක් කරේ ඒ වෙලාවෙ. ඒ තිබුණු තත්ත්වය ඒකයි. එතකොට මම එන අවස්ථාව වනවිට පැහැදිලිවම පෙනුණ මිලියන 182ක් ගෙවන්න තිබුණ 2022 අප්‍රේල් 18 දින වනවිට. එතකොට අපේ ළඟ ගෙවිය හැකි සංචිත ඒ දිනයේ තිබුණෙ මිලියන 24ක් වගේ ප්‍රමාණයක්.

ප්‍රශ්නය – අප්‍රේල් 11 දින වනවිට?

පිළිතුර – ඔව් මිලියන 24ක් වගේ ගානක් තිබුණෙ. එහෙම වුණාම ඉතාම පැහැදිලියි මම මුලින්ම කරේ මේ කරුණු බලල, මම ඒ වෙලාවෙ හිටපු ජනාධිපතිතුමාට, මුදල් ඇමැතිතුමාට සහ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ට ගිහින් පෙන්නුම් කරල දුන්න මෙන්න මේකයි තත්ත්වය කියල. මෙහෙම අපි දැන් මොනවහරි කරේ නැත්නම් ඉදිරියට වෙන්න පුළුවන් තත්ත්වය පැහැදිලි කරල දුන්න. දැන් මම ආවේ අප්‍රේල් 07 වැනිදා. මම කිව්ව 2022 අප්‍රේල් 18 දින ගෙවන්න තියෙන මිලියන 182 එක්කෝ ගෙවන්න කාලය ඉල්ල ගන්න ඕන. එහෙම නැත්නම් කිසිවක් නොකියා ඩිෆෝල්ට් කරන්න වෙනවා. ඩිෆෝල්ට් කරොත් අර මහජන බැංකුවට බැංකුවක් විදිහට වූ දෙය රටට වෙන්න පුළුවන්. ඒක තමයි ‘රට ණය පැහැර හැරීම’ කියන්නෙ. ඇත්ත වශයෙන්ම අපි යෝජනා කරේ කතා කරල, මුදල් අමාත්‍යාංශ ලේකම් කතා කරල ණය පැහැර හැරීම වෙනුවට ණය ගෙවීම තාවකාලිකව නවත්තල අපිට කාලයක් දෙන්න ණය ප්‍රතිව්‍යුහගත කරල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරල ඊට පසුව සහනයක් අනුව අපි ඉදිරියට අවුරුදු 10ක් විතර යනකම්ම සහනදායී ක්‍රමයකට ගෙවන්න ක්‍රමවේදයක් කරන්න කියල. මාධ්‍ය හුඟක් කියන්නෙ මේක ණය පැහැරහැරීමක් කියල. මම කියන්නෙ ඒකෙ වෙනස මහ බැංකුවෙ සේවය කරපු කෙනෙක් ලෙස තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන ණය පැහැරහැරීම සහ ඩෙබ්ට් ස්ටෑන්සිල් (ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම) කියන්නෙ දෙකක්. ණය පැහැරහැරීම කියන්නේ, කියන්නෙ නැතුව ණය නොගෙවා පැහැරහැරීම. ඒක නෙවෙයි අපි කරල තියෙන්නේ. මේක ණය ගෙවීම යම්කිසි තාවකාලිකව නතර කරල සහනයක් දෙන්න සාකච්ඡා කරල අලුතින් දීර්ඝකාලීනව ගෙවීම සඳහා. ගෙවීමට අපට උනන්දුව තියෙනව. ඒක තමයි ණය පැහැරහැරීමේ සහ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමේ වෙනස. ඉතිං මේ දෙකවත් තේරුම් ගන්න බැරි සමහර පුද්ගලයො ඉඳන් කියනව මේ කරේ ණය පැහැර හැරීමක් (ඩෙබ්ට් ඩිෆෝල්ට් කිරීමක්) කියල.

ප්‍රශ්නය – ඔබ කියන්නෙ නොකියා ණය නොගෙවා සිටිනවාට වඩා මෙතන කරේ සහන ක්‍රමවේදයකට ණය ගෙවීමට කල් ඉල්ලා ගැනීමක් කියල?

පිළිතුර – එහෙම කරේ. හැබැයි ඒක ඒ තරම්ම සරල නෑ රටක් ගත්තහම. ඔබ කියපු එකේ සරල තත්ත්වය අර ක්‍රිබ් එකට ගියා කියන එක. ක්‍රිබ් එකට යන්නෙ ණය පැහැරහැරියොත්. නමුත් ප්‍රතිව්‍යුහගත කළොත් ක්‍රිබ් එකට යන්නෙ නැහැ. ඒක තමයි වෙනස. එතකොට ණය පැහැරහැරීම නෙවෙයි කරේ. ණය ප්‍රතිව්‍යුහගත කරන්න සාකච්ඡා ආරම්භ කරපු එක තමයි කරේ. ඒකට තව එක කරුණක් එකතු කරන්න තියෙනවා. මම එනකොටත් මාර්තු මාසෙ 18 වැනිද ඒ හිටපු ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහයෝගය ඕන කියල නිල වශයෙන් ඉල්ලීමක් කරල ඉවරයි. එතකොට දැන් සමහරු කියනවනේ අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕන නැහැ, ඒකට ගියොත් අමාරුවේ වැටෙනව කිව්වට ඒ හිටපු කට්ටිය ඉන්න කාලෙදීම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිල වශයෙන් ඉල්ලීම කරේ. මෙතන අධිපති වශයෙන් හිටියා. එතන ජනාධිපතිතුමා හිටියා. එතකොට මහ බැංකුවේ අධිපතිවරයා විසින් ලියපු ලියුම ඩ්‍රාෆ්ට් කරපු ලියුම තමයි ජනාධිපතිතුමා අත්සන් කරල මාර්තු 18 දින යැව්වෙ. මුලින්ම නිල වශයෙන් ඒ ඉල්ලීම කරේ.

ප්‍රශ්නය – 2022 මාර්තු 18 වැනිද?

පිළිතුර – ඔව් මාර්තු 18 වැනිද, එතකොටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීම මහ බැංකුවේ රෙකමන්ඩේෂන් එක මත ඒක කරල ඉවරයි. එතකොට දැන් කියනව නම් කවුරුහරි ඒ කාලෙ ඒකට යන්න ඕන නැහැ කියල හැබැයි කියන පුද්ගලයම තමයි මේක රෙකමන්ඩ් කරල ජනාධිපතිතුමා අත්සන් කරල ලියුම යවල තියෙන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. මගේ අදහසේ විදියට අර 2020 දිම ඔය වැඩේ කළා නම් අපට මේ ආර්ථික අර්බුදයක් වෙන්නෙ නෑ.

ප්‍රශ්නය – එහෙමනම් අප එම ක්‍රියාවලියේ සෑහෙන දුරක් පසුකරගෙන ගිහින්?

පිළිතුර – පසුකරගෙන ගිහින් එහෙනම් අපට සංචිත අතේ තියනව. එතකොට ඒක මැනේජ් කරගෙන යන්න තිබුණ. මගෙ අදහස ගියපු එක හරි. යන්න තිබුණ. පරක්කුවෙලා හෝ ගියපු එක හොඳයි. නමුත් පරක්කු වූ නිසා තමයි අපි මේ තත්ත්වයට ආර්ථිකය පත්වෙලා තියෙන්නේ. එතකොට එතන ඉඳල තමයි අපට පටන් ගන්න වෙලා තියෙන්නේ. අපි කොතනද හිටියේ? ඇයි මේක පරක්කු වුණේ? දැන් කියනවනම් කවුරු හරි මේකට යන එක වැරදියි කියල. අයිඑම්එෆ් එකට යන එක පටන් අරන් තිබුණෙ එතකොටත්. මම ඇවිත් කරේ ඒක ඉදිරියට ගෙනිහින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට. පැහැර හරින්නෙ නැතුව ඉල්ලීම ඉදිරිපත් කරපු එක. රජයට නිර්දේශ කරා රජය ඒ තීරණය පිළිඅරගෙන ඒක දිගට අරගෙන ගියා.

ප්‍රශ්නය – ඔබතුමා කියන විදිහට අයිඑම්එෆ් එකට නිල වශයෙන් සහය ඉල්ලීමේ තීරණය අරන් තිබුණ ඔබ පැමිණෙන්නත් කලින් හිටපු ජනාධිපතිතුමා විසින්ම. ඔබතුමා කියපු කරුණුවලින් පැහැදිලි වුණා අපට තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම නොකර සිටීමට බැරි තත්ත්වයට අප පත්ව සිටියා කියන එක. ඒක හැර වෙන කිසිම විකල්පයක් තිබුණෙ නැද්ද? මොකද ඇතැම් අය කියනවනේ අපට සල්ලි ලැබෙන්න තිබුණ කියල. ගණන් හදල කියනව මෙච්චර මුදල් ප්‍රමාණයක් විදේශ විනිමය ගලා ඒම් තිබුණ කියල. එහෙනම් තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම හැර අපට වෙන විකල්පයක් තිබුණෙම නැද්ද?

පිළිතුර – ඇත්ත වශයෙන්ම තිබුණ විකල්පය තමයි ණය පැහැරහැරීම. ඒක අපි කරේ නෑනෙ. අපි කරේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම, ඩෙබ්ට් ස්ටෑන්සිල් එක. ඉතාම කෙටිකාලයයිනෙ මෙතන තිබුණෙ. අප්‍රේල් 18 දින ණය පැහැර හරිනවද? එහෙම නැත්නම් කාලයක් ඉල්ලල ණය ප්‍රතිව්‍යුහගත කරන්න ක්‍රියාකරනවද කියන එකයි. ඒක තමයි තිබුණ කෙටිකාලීන විසඳුම. ඊට පසුව ඒ පියවර ඇතුළත අන්තර්කාලීන මූල්‍ය පහසුකම් ගැන සාකච්ඡා කිරීමටත්, තව කට්ටියගෙන් ගන්න පුළුවන් දේ ගන්න, අපනයන වැඩිකර ගන්න. ආනයන අඩු කරල මේක පාලනය කරන්න. ඊට පසු තව ඔප්ෂන් ගොඩක් තිබුණා. ඒ කරපු නිසා අද මේ තත්ත්වයේ ඉන්නෙ. ඒක විතරක් නෙවෙයි ඒක කරන ගමන් අනෙකුත් දේවල් කරන්න තිබුණ. ඒ අනුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරා. ආනයන සීමාකිරීම් කරා. ඕපන් එකවුන්ට් බෑන්ඩ් කරා. ආනයන ප්‍රමාණය අඩුකර ගත්තා. ඒ පියවර තුළින් තමයි වෙනත් විකල්ප අනුව මේක අරගෙන ගියේ.

ඔබ අර කියපු ඩොලර් බිලියන 10.7ක් එන්න තිබුණ කියන කතාව මම කලිනුත් කියල තියෙනව ඒක සම්පූර්ණ අසත්‍යයක්. අපි ඔය කියන නොම්බර දාගෙන හිටියනම් ඔබට මතක ඇති හිටපු අධිපතිතුමා ඇවිත් මාස 6ක රෝඩ් මැප් එකක් කියල එකක් කරානේ. ඒ රෝඩ් මැප් එකේ මගෙ ළඟ තියනව 81 වන පිටුව. සහ 82 පිටුව. ඒකෙ තියෙනව නව විදේශ විනිමය ලැබීම්.

ප්‍රශ්නය – 2021 ඔක්තෝබර් 01 දින ඉදිරිපත් කළ රෝඩ් මැප් එක?

පිළිතුර – ඒකෙ රජය සහ මහ බැංකුවට ලැබිය යුතු බලාපොරොත්තු වෙච්ච ඉලක්කගත විදේශ විනිමය ලැබීම් තියෙනවා. මේකෙ විවිධ අයිතම තියෙනවා. බිලියන 10.7 තිබුණ ඒවගෙ ඒකෙ ගොඩක් තියෙන්නේ මේකෙ එතකොට 10.7 තුළ තියෙන ඒවත් තියෙනවා. ඒකෙ බැලුවම 2021 අන්තිම මාස තුනේ මිලියන 3900 යි. ඊළඟ මාස තුනේ මිලියන 5350 යි. එතකොට මහ බැංකුවට විතරක් ඒ මාස හය තුළ ලැබිය යුතු එකතුව මෙතන තිබෙන විදියට බිලියන 10ක් ඉදිරි කාලය තුළ ලැබෙන්න තිබුණා. හැබැයි ජනවාරි සහ මාර්තු මාසෙ අග වනවිට මේවායින් කිසිම දෙයක් ලැබිල නැතුව තිබුණා. ඊට අමතරව බැංකු පද්ධතියට මේකෙ 82 පිටුවෙ ඉලක්ක ගත විදේශ විනිමය ලැබීම්වල කාලරාමු සාරාංශයේ විදේශ විනිමය වෙළෙඳපොළ කියල තියෙනවා. අපේ බැංකුවලට ලැබෙන්න තිබුණ ටික එතන තියෙන අයිතම්වල එකතුව 2021 අන්තිම මාස තුනේ සහ 2022 පළමු මාස තුන කියන මාස 6 තුළ එතකොට එතුමා පුරෝකථනය කරල තිබුණ රට තුළට අලුතින් ඩොලර් බිලියන 25ක් එනවයි කියල. ඒ අනුව තමයි අර ණය දිගටම ගෙවා ගන්න පුළුවන් කියල හිතාගෙන ණය ගෙවනව කියල සහතික දිදී හිටියෙ. හැබැයි අපි දැන් දන්නව ඒ මාස 6 අවසන් වනවිට තත්ත්වය. දැන් මම ඔබට විස්තර කළා. ඒකෙන්ම පේනව මේ කියන බිලියන 25න් කිසි දෙයක් ආවෙ නැත්නම් මේ වගේම තව බිලියන 10.7ක් එන්න තියෙනවා කියල තියෙනවනම් ඒක ලැබීමට තිබෙන ප්‍රවණතාවය, ලැබීමට තිබෙන හැකියාව දශම බිංදුවයි. ඒකෙන් පෙන්නුම් කරන්නේ ඒ කියන කතාවෙ කිසිම ක්‍රෙඩිබිලිටි එකක් නෑ. ඒක බොරු කතාවක්.

ඊළඟට තව ඉලක්ක රාශියක් මේකෙ තියෙනවානෙ. මේකෙ තියනව මූර්ත දළ දේශීය නිෂ්පාදිතයෙ වර්ධනය එතුමා ඉන්න කාලෙම ඇවිත් කියන්නේ ඊළඟ කාර්තුවෙදි සියයට 6.5කින් වර්ධනය වෙනව කියල. ඇත්තටම අපි දන්නව වර්ධනය ඍණ 1.5යි. ආර්ථිකය සංකෝචනය වෙන්න පටන් ගත්තෙම එතනදි. අර විදේශ විනිමය අර්බුදය තිබුණා. ඒ නිසා ආනයන කරන ඒවයෙ හිඟයක් තිබුණ ආර්ථික ක්‍රියාකාරකම් අඩුවෙලා තිබුණෙ. ලයිට් කැපීම් තිබුණා. ඒ නිසා ආර්ථිකය සංකෝචනය වෙන්න පටන්ගත්තෙ එතුමා ඉන්න කාලෙම පළවෙනි කාර්තුවෙ ඉදලම. සියයට 6.5කින් වර්ධනය වෙනව කව්වට ඒ කාර්තුවෙ ඍණ 1.5ක වර්ධනයක් වෙලා තිබෙන්නේ. ඒක තමයි ඔය ලැබෙනව කියන ඩොලර් බිලියන 10.7 කතාවට කියන්න තියෙන්නේ.

ප්‍රශ්නය – අධිපතිතුමනි ඒ ලැබෙනව කියන කරුණුවල කීපයක් තියෙනවා ස්ථිර වෙලා තිබුණ කියල. එකක් තමයි ඉන්දියාවෙන් මිලියන 500 ක් තෙල් වලටයි, තව මිලියන 1000 ක් භාණ්ඩවලට ක්‍රෙඩිට් ලයින් එකක්. ඒවා මුදල්මය වශයෙන් ලැබෙන්නේ නැහැ. හැබැයි හිටපු අධිපතිතුමාගෙ තර්කය ඒව ලැබුණෙ නැත්නම් ඒව ගන්න විදේශ විනිමය අවශ්‍ය වෙනව කියන එක. ඊළඟට චීනයෙන් ලැබෙනව කියන බිලියන 2.5 ඒකත් ස්වැප් එකක් සහ මිලියන 1500ක භාණ්ඩ ගැනීමට වශයෙන්. ඒව හිටපු අධිපතිතුමා සඳහන් කරනව ලැබීම ස්ථිර වී තිබුණ කියල?

මට ලැබුණේ ඝාතනය කළ ආර්ථිකයක්

පිළිතුර – ඔය ඉන්දියාවෙ බිලියන 1.5න් යම්කිසි සහනයක් වුණා. ආනයන ප්‍රශ්නයට. ඒ දවස්වල තෙල් වලට මාසෙකට මිලියන 500ක් යනව. එතකොට ඔය මිලියන 500 මාසෙකට තෙල්වලට විතරයි ප්‍රමාණවත් වෙන්නේ. ඔය මිලියන 500න් තමයි ඒ තෙල් ආනයනය කිරීමට සහයක් ලැබුණෙ. එතකොට අනිත් බිලියන එක අනිකුත් භාණ්ඩවලට ගත්තා. තාමත් ඒක භාවිතා කරනව. මිලියන 800ක් විතර පාවිච්චි කරල තියනව. නමුත් රටේ අවශ්‍යතාවට වඩා ඉතාම අඩුයි. එතකොට ඒකෙන් යම්කිසි සහනයක් ලැබුණ ආනයන හිඟය යම්කිසි දුරකට පියවගන්න ලැබුණට ඒකෙන් ණය ගෙවීමේ හැකියාව වැඩි වෙන්නෙ නෑ, මොකද දැනටම හිඟයක් තියන එකක හිඟය අඩුවීම මිසක් අලුතින් අතිරික්තයක් එන්නෙ නෑ ඒකෙන්.

ඒ කියන්නෙ වෙළෙඳ හිඟයක් තිබුණා. ජංගම ගිණුමේ හිඟයක් තිබුණා. එහෙම තියෙද්දි ඒ හිඟය මූල්‍යකරණය කරමින් යම්කිසි සහනයක් ලැබීම මිසක් ඒ හිඟය මුළුමණින්ම මූල්‍යකරණය කරල අලුතින් මුදල් ඉතුරු වන ක්‍රමයක් ඒකෙන් එන්නෙ නෑ. ඒක වෙන්න තිබුණ එතුමා කිව්ව බිලියන 25 ආව නම්. එහෙම නම් අපට ඉතිං ක්‍රයිසිස් එකක් නෑ.

ප්‍රශ්නය – වත්මන් ආර්ථික අර්බුදයට නොයෙකුත් අය නොයෙකුත් ආකාරයේ හේතු පැහැදිලි කරනවා. එහිදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වගේම තවත් ඇතැම් අය කියන දෙයක් තමයි යහපාලන රජය කාලේ අර ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් විතර ණයට ගත්තෙ. මහින්ද රාජපක්‍ෂ රජය අග වනතෙක් අරන් තිබුණෙ බිලියන 5 ක් පමණ. යහපාලන රජය කාලෙ ඔබතුමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස සිටියා. ආචාර්ය ඉන්‍ද්‍රජිත් කුමාරස්වාමි මහතා අධිපතිතුමා ලෙස සිටියේ. ඇතැම් අය කියනවා ඔබතුමා තමයි උපදෙස් දුන්නේ අයිඑස්බීවලට වැඩි වශයෙන් යන්න කියල. ඒ නිසා තමයි අපි මේ වෙලාවේ ණය ගෙවා ගන්න බැරුව හිරවුණේ කියලත් කියනවා. ඒ ගැන ඔබේ අදහස?

පිළිතුර – ඇත්ත වශයෙන්ම නියෝජ්‍ය අධිපති ලෙස මට බලතලයක් නැහැ. මෙතන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. රජය ණය ගැනීමේදී මොකක්ද මහ බැංකුවේ සහ රජයේ කාර්යභාරය කියලා. ඒකත් ඇත්ත වශයෙන්ම අවාසනාවන්ත තත්ත්වයක් හිටපු අධිපතිවරයෙක්ට හරි අනිත් අයට හරි මේක තේරුම් ගැනීමට බැරිවීම. දැන් රජයට පාර්ලිමේන්තුවේ අනුමත කළාම මෙතරම් ප්‍රමාණයක් ණය ගන්නව කියල යම් වර්ෂයක් ඇතුළත පාර්ලිමේන්තුව අනුමත කරන්නෙ ණය ගැනීමේ සීමාවයි. එනම් බරෝවින් ලිමිට් එකයි.

භාණ්ඩාගාර බිල්පත්වලට ලිමිට් එකක් තියෙනවා. සම්පූර්ණයෙන් ම රජයට ගන්නා දේශීය හා විදේශීය ණයට ලිමිට් එකක් තියෙනවා. මේ සීමාව පාර්ලිමේන්තුව අනුමත කළාට පසුව මහ බැංකුවේ කාර්යභාරය තමයි මේ ණය ටික කොහොමද අරන් දෙන්නේ කියන එක. දේශීය වෙළෙඳපොළෙන් සහ විදේශීය වෙළෙඳපොළෙන්. ඒක තමයි අපේ කාර්යභාරය. එතකොට යම්කිසි කෙනෙක් කියනව නම් මහ බැංකු අධිපති තමයි මේ ණය ගත්තෙ කියලා. මහ බැංකුව නෙවෙයි ඇත්ත වශයෙන් ම පාර්ලිමේන්තුව අනුමත කළ ණය ප්‍රමාණය මහ බැංකුව නියෝජිතයා වශයෙන් මහ බැංකුවේ රාජකාරිය තමයි මුදල් නීති පනත අනුව පාර්ලිමේන්තුව අනුමත කළ එක. ඊට පසුව ඇමැති මණ්ඩලයේ අනුමැතිය ඇතිව එක එක වෙලාවට කොහොමද රේස් කරන්නේ කියන එක. ඒක අයිඑස්බී එකෙන් ගන්නවද දේශීය වෙළෙඳපොළෙන් ගන්නවද, නැත්නම් ජපානයෙන් ගන්නවද වෙනත් තැනකින් ගන්නවද කියන එක තීරණය කරන්නෙ කැබිනට් මණ්ඩලය. මෙහෙන් නිර්දේශ යනවා. නමුත් බලය තියෙන්නේ කැබිනට් මණ්ඩලයට. මහ බැංකුවට කියනවා මෙහෙම කැබිනට් අනුමැතියක් තියෙනවා මෙච්චර අයිඑස්බී ප්‍රමාණයක් මේ අවුරුද්දේ මෙච්චරක් රේස් කරල දෙන්න. මේ අවුරුද්දෙ වෙන ක්‍රමවේදයකට රේස් කරන්න එතකොට ඒක තමයි ක්‍රමවේදය.

ප්‍රශ්නය – රජයට ණය රැස්කරන ක්‍රමවේදයටත් කැබිනට් අනුමැතිය ගන්නවද අයිඑස්බීවලින් මෙපමණ රැස් කරනව කියල?

පිළිතුර – අනිවාර්යයෙන්ම අයිඑස්බී එකක් නිකුත් කරන්න කැබිනට් අනුමැතියක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. කැබිනට් එක තමයි කියන්නෙ මේක රේස් කරන්න කියලා. ඊට පස්සෙ තමයි අපේ කාර්යය. ඒකෙ තියන ක්‍රමවේදය අනුව අර බැංකු පත් කරල රේස් කරන එක. ඒක රජයේ තියන ණය අවශ්‍යතාවය අනුව කරන දෙයක්. රජයක් අය -වැය හිඟයක් විශාල ලෙස පවත්වාගෙන යනකොට ඒක මූල්‍යනය කරන්න එක එක ක්‍රමවලට ණය ගන්නව. එතකොට මේක මම දකින්නේ වර්ෂ 2005 – 14 මෙහෙමයි සහ වර්ෂ 2014 – 19 මෙහෙමයි කියල. දේශපාලන කෝණයකින් බැලීම සම්පූර්ණයෙන් වැරදි කතාවක්. ඒක මහ බැංකු අධිපති කෙනෙක් ලෙස නොකළ යුතු දෙයක්. මම දකින්නේ මේකට හේතුව, දැන් රජයක අය -වැය හිඟය වැඩි නම් එතකොට ඒක මූල්‍යනය කරන්න යම්කිසි ආකාරයකට ණය ගන්න ඕන.

අපි අයිඑස්බී නිකුත් කරන්න පටන් ගත්තේ 2007 දී. හැබැයි ඊට අමතරව වාණිජ ණය වශයෙන් විශාල ලෙස ඊට අමතරවත් ගත්තා. ඒක තමයි අපේ භාණ්ඩාගාර – බැඳුම්කරවලට විදේශ පුරවැසියන්ට එන්න කිව්වනේ. වර්ෂ 2013 – 14 වෙනකොට මේකෙන් බිලියන 3.5 ක් අරන් තියෙනවා. ඊට අමතරව කෙටිකාලීනව මහජන බැංකුව, ලංකා බැංකුවට සහ එන්එස්බී එකට කිව්ව මාකට් එකට ගිහින් රේස් කරන්න කියල ඒවත් රජයට ගත්තා. එතන තව බිලියන දෙකක් විතර ගත්තා. අතන බිලියන 3.5 යි, මෙතන බිලියන 2 යි බිලියන පහමාරක් විතර. ඊට පසුව ඔය කාලෙ වනවිට ස්වොප් (විදේශ විනිමය හුවමාරු පහසුකම්) තිබුණා බිලියන දෙකක් විතර. ඔය වාණිජ ණයවලින් අයිඑස්බී කියන්නේ එකක් විතරයි. අයිඑස්බී අපි හිතමු ඒ කාලෙ බිලියන පහක් ගත්තෙ කියලා. ඒ ඔක්කොමවලින් ඩොලර් බිලියන 12.5 ක් විතර රේස් කරල තිබුණෙ. ඒ බිලියන 12.5 න් අන්තිමට කියපු තුනේ ඒව ඊළඟ අවුරුදු කිහිපය තුළ කල් පිරෙන්න තිබුණු ඒවා. ඒ කියන්නේ බැංකුවල ස්වොප්ස් වැඩිම වුණොත් අවුරුද්දයි දෙකයි. භාණ්ඩාගාර බිල්පත් පිටරටින් ගෙනාපුවා එක පාරටම ගියා ඇමෙරිකාවෙ පොලී අනුපාත වැඩි කරපු වෙලාවෙ. එතන ඩොලර් බිලියන 3.5ක් විතර සම්පූර්ණයෙන්ම ගියා. ඒ වාණිජ ණය අඩුවීම, එතකොට අපි දකින්නේ මෙතන උපකරණ අනුව ගත්තාම වාණිජ ණය හැම කාලෙම අරන් තියනවා. ඒක ඒ කාලෙයි මේ කාලයෙයි කියල නෑ විවිධ ක්‍රමවලින් අරන් තියෙනවා. කලින් වාණිජ ණය ගන්න උපකරණ (ක්‍රම) වැඩිය තිබුණෙ ස්වොප්ස් වලිනුයි. භාණ්ඩාගාර බැඳුම්කර වලිනුයි,රාජ්‍ය බැංකු වලිනුයි. ඊට පස්සෙ කාලෙ වුණේ අරව ටික අඩු කරා. එතකොට භාණ්ඩාගාර බැඳුම්කරවල තියන ණය අඩු කරා. ස්වොප්ස් අඩු කරා. වාණිජ බැංකුවලට කිව්වෙ නෑ ගන්න කියල. ඒ වෙනුවට එම ප්‍රමාණය ස්වෛරීත්ව බැඳුම්කරවලින් රැස් කරා. මොකද කල්පිරෙන ඒව ගෙවන්න ඕනනෙ ගෙවන්න අලුතින් ගන්න ඕන. එහෙම නැත්නම් ඒක ඩිෆෝල්ට් කරන්න ඕන. එහෙම තමයි මේ ණය චක්‍රය ගියේ.

එතකොට සියලුම කාලවල වාණිජ ණය ප්‍රමාණය ඔබට මතක නම් 2007 විතර පටන් ගන්න විට මුළු විදේශ ණයවලින් සියයට 5කට අඩුයි වාණිජ ණය. ඒක වැඩිවෙලා වැඩිවෙලා 2014 – 15 වනවිට සියයට 55ට ගියා. ඊට පස්සෙ ඒ මට්ටමේ තමයි දිගටම තිබුණෙ. එතකොට මේ වාණිජ ණය වැඩිවීම එක රජයකට ලඝු කිරීම වැරදියි. රජයේ අයවැය හිඟ්‍ය වැඩිවෙලා වාණිජ ණයත් ගන්න වුණා. ඒ අරන් ණය ගෙවන විට වාණිජ ණය වැඩි වුණා.

තව ඉතාම මෝඩ තර්කයක් දැක්කා ඔබගේ පසුගිය සාකච්ඡාවෙ තිබුණු එකක්. ඒකෙ තියෙනව 2014 අන්තිම වනවිට බිලියන 8.2ක් තිබුණලු. ඊට පසුව බිලියන 12ක් අලුතින් අයිඑස්බීී ගත්තලු. සංචාරක කර්මාන්තයෙන් බිලියන 4ක් ආවලු. තව ලැබුණු ඒවත් එකතු කරහම ඔක්කොම බිලියන 32.5ක් තියෙන්න තිබුණලු සංචිත විදිහට. ඒක නිකං විනාශ කරල වගේ කියන්නේ. ඒක කොච්චර ලාබාල බොළඳ තර්කයක්ද කියනවනම් සාමාන්‍ය උ/පෙළ කරන ළමයකුට වුණත් තේරෙනවා මේක.

ඒ තර්කය හරිනම් අපි මෙහෙම හිතමුකො දැනට බිලියන 51ක් වගේ විදේශ ණය ශුද්ධ වශයෙන් තියනවා. ඒ 51 වෙන්නෙ බිලියන 25ක් විතර දැනට ගෙවලනේ. එතකොට ගත්ත මුළු ණය ප්‍රමාණය බිලියන 75ක් විතර. ඒ තර්කය හරි නම් අපට දැන් බිලියන 75ක් තියෙන්න ඕන මේ සංචිතවලට. ඉතිං ඒක ඉතාම මෝඩ තර්කයක්නේ. ආර්ථිකයක් ගත්තහම ණයක් ගන්න හේතු තියෙනවානේ. එතකොට ණයක් අලුතින් ගන්නේ එකක් පරණ ණය ගෙවීමට තියන ඒව. දෙවන කාරණය අපේ රටේ තියෙන්නේ විදේශ අංශයේ ජංගම ගිණුමේ හිඟයක්. එතකොට ජංගම ගිණුමේ හිඟයක් තියන විට ඒ හිඟය පියවන්න විදේශීය ණය අරන් රජය හෝ පුද්ගලික අංශයේ ඒකට සෑහෙන කොටසක් යනව. ඊට අමතරව අර පරණ ණය ගෙවීමට තව කොටසක් යනවා. ඒ නිසා කිසිම රටක කවදාවත් ණය ගත්ත ඒව එකතුවෙලා සංචිත හැදෙනවා කියන තර්කය වෙන දෙයක් නෙවෙයි. ඒක ඉතාම පුහු මෝඩ බොළඳ තර්කයක්. ඒ නිසා තමයි මම ඕවට වැඩිය උත්තර දෙන්න කැමති නැත්තේ. මේ කියන තර්ක මෝඩ තර්ක කියන එක තමයි කියන්න තියෙන්නේ.

ප්‍රශ්නය – ණය ශ්‍රේණිගත කිරීම් පහළ වැටීමත් සමග අපට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ගිහින් ණය ගැනීමේ හැකියාවත් නැති වුණා. ඒක සිදු වුණේ කොයි කාලෙද? ඊට ප්‍රධාන වශයෙන් හේතු වුණේ මොනවාද?

පිළිතුර – අර 2019 රජය ආපු හැටියෙ බදු අඩු කරානෙ විශාල වශයෙන්. බදු අඩු වුණහම පෙනුනා අයවැය හිඟය විශාල වශයෙන් වැඩිවීගෙන යනව. කොවිඩ් එකත් එක්ක අයවැය හිඟය වැඩිවීගෙන යනකොට ඒත් එක්කම අයිඑම්එෆ් එකෙන් හදිසි මූල්‍ය පහසුකමක් (ආර්එෆ්අයි) ඉල්ලල නොලැබුනම වෙළෙඳපොළ දැන ගත්තා අපේ ණය තිරසාර නැති බව. ඒ පණිවුඩයේ එකක් ශ්‍රේණිගත කිරීම් පහත දැමීම. ඒකට ප්‍රධාන හේතුව පටන්ගත්තෙ ඇත්තටම ආදායම් නැතිකර ගැනීම තුළින් රජයේ අයවැය හිඟය වැඩිකර ගැනීමයි. කොවිඩ් නිසා රජයේ වියදමත් වැඩි වුණා. ලෝකෙ රටවල් 90 ගාණක් ආර්එෆ්අයි එක ගනිද්දි අපට ගන්න බැරි වුණා. ඒ වගේම මට මතකයි ඒ වෙලාවෙ ප්‍රතිපත්තියක් වශයෙන් ම රජය තීරණයක් ගත්තා විදේශ ණය ගන්නෙ නැහැ කියල. දැන් ණය වැඩිවෙලා කියල තේරුම් ගත්තනෙ. ඒක තේරුම්ගෙන ඒ අවදානම දැක්කහම තේරුම් ගත්තා තවදුරටත් ණය ගන්න බෑ ඉස්සරහට කියල. ඇත්ත වශයෙන්ම කියන්න තිබ්බෙ අපි විදේශ ණය ගන්නේ ගෙවන්න තියන ණය ප්‍රමාණයට විතරයි කියන එක. මේක අඩුගානෙ මැනේජ් කරගෙන යන්න පුළුවන් වෙනව. අපි කිව්වොත් අපිට බිලියන 7.6යි සංචිත තියෙන්නේ අවුරුද්දකට බිලියන 6 ගානේ ණය ගෙවන්න තියෙනවා. එහෙම වෙලාවක රජය ප්‍රතිපත්තියක් හැටියට ප්‍රකාශ කළොත් විදේශ ණය ගන්නෙ නෑ කියල එවිට ජාත්‍යන්තර අයට පැහැදිලියි මේ රට තවත් ණය ගන්නෙ නැත්නම් ණය ගෙවන්නත් බෑ කියල. එක්කො ඩිෆෝලිට් වෙනව. එහෙම නැත්නම් ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කියන මැසේජ් එක ගියේ එකක් අයවැය හිඟය වැඩිවීමෙන් අනිත් විදේශ ණය තවදුරටත් ගන්නෙ නෑ කියල ප්‍රකාශ කිරීම සහ වුවමනා වුණත් ණය ගන්න නොහැකිවීම. ඊට පසුව දැඟලුවනේ ණය ගන්න. කෙටිකාලීනව සල්ලි නැතිවෙනකොට ණය ගන්න දැඟලුවට එතකොට වැඩේ වෙලා ඉවරයි. ණය දෙන්න කෙනෙක් නැති වුණා අන්තිමට. ඒක තමයි අවසානයේ වුණේ. ඒක කෙටිකාලීනව ස්වොප්ස් වලින් ගන්න ගියේ. ඒසීයූ ගෙවීම් කල්දාගන්න වුණේ. එවිට දීර්ඝකාලීනව කිසිම කෙනෙක් ණය දුන්නෙ නෑ.

ප්‍රශ්නය – ඔබ සඳහන් කළ පරිදිම ඔක්තෝබර් මස සිටම උද්ධමනය අඩුවීමට පටන් ගත්තා. නමුත් තාම පොලී අනුපාත ඉහළයි. පොලී වැඩි නිසා ව්‍යාපාර ප්‍රජාව වගේම සාමාන්‍ය ජනතාවත් බොහොම අමාරුවෙන් ඉන්නෙ ඉදිරියේදී පොලී අනුපාත අඩුවීමේ ඔබතුමාගේ දැක්ම කුමක්ද?

පිළිතුර – ඇත්ත වශයෙන්ම උද්ධමනය අඩු වන බව සහතික වුනහම බැංකුවලට අපි පළමුවෙන්ම මැසේජ් එක දුන්න උද්ධමනය අඩුවෙනව කියල. ඒ නිසා පොලී අනුපාත ඉස්සරහට අඩුවෙන්න ඕන. අපේ රටේ තියන ප්‍රශ්නයක් තමයි පොලී අනුපාත වැඩි කරාට පස්සෙ වැඩිවෙනව ඉක්මනට. අඩුවන විට හරිම අමාරුයි අඩුකර ගන්න. ඒ අය තරගකාරීව තැන්පත් එකතු කරනව එක එක බැංකුවලින්. වැඩි පොලී ලබාදෙමින්. එහෙම තරගකාරීව තැන්පත් එකතු කර ගත්තම බැංකු පද්ධතිය තුළ ඒ අයට අඩු පොලියට ණය දෙන්න බෑ. අපි සති දෙකකට පමණ කලින් කිව්ව වහාම ඕක නවත්තන්න. දැන් ඒ අනුව තැන්පත් පොලී අනුපාත අඩුවෙලා තියෙන්නේ. දෙවැනි එක ණය ගන්න අයට සතිපතා මින් ඉදිරියට බැංකුවලට ගිහින් නෙගෝෂියේට් කරන්න පොලී අනුපාත අඩුවන වාතාවරණයක තැන්පත් පොලිය අඩුවෙන් තියෙන්නෙ ඒක නිසා ගිය සතියෙ ගත්ත ගානට වඩා අඩුවෙන් බැංකුවලින් ණය ඉල්ලන්න. ණය ගන්න අවශ්‍යම නම් විතරක් ණය ගන්න. ඒකෙන් අපි උත්සාහ කරන්නේ වෙළෙඳපොළ පොලී අනුපාතය පුළුවන් තරම් පල්ලෙහාට තල්ලු කරන්න. ඒක මම බලාපොරොත්තු වෙනවා ඉදිරියට වෙයි කියල.

උද්ධමනය සියයට 60 – 70 ට තියෙන විට පොළිය වැඩි කරන්න ඕන බව අපි දන්නව. 2009 කාලෙ ඔබට මතක ඇති උද්ධමනය සියයට 28 ට ගියානෙ. ඒ වෙලාවේ පොලී අනුපාත වැඩි වුණා. සියයට 22 – 23 ට යනකම්. දැන් මේ සියයට 70 ට උද්ධමනය වැඩි වූ වෙලාවේ පොලී අනුපාත සියයට 30 ට ගිය එක ගත්තොත් උද්ධමනයට සාපේක්‍ෂව පොලී අනුපාත තාමත් අඩුයි මම හිතන්නේ. මේ අනුපාතවලට අරන් ව්‍යාපාර කරන්න අමාරුයි. විශේෂයෙන් ආර්ථිකය සංකෝචනය වන වෙලාවක එච්චරම දැඩි ප්‍රතිපත්තියක් අපට ගෙනියන්න බෑ. පළමුවැනි කාරණය උද්ධමනය අඩු වුණහම පොලී අනුපාතය අඩු වෙන්න ඕන. ඒක අපිට නොතේරෙනව නෙවෙයි. ගොඩක් අයට අමාරුයි. නමුත් ව්‍යාපාර කරන්න තියෙන ප්‍රධානම සාධකය පොලී අනුපාතය නොවෙයි. උද්ධමනය. අමුද්‍රව්‍ය මිල වැඩියි. ශ්‍රම පිරිවැය වැඩියි. ප්‍රවාහන වියදම් වැඩියි. විදුලි බිල වැඩියි. මේ සියලු දේ වැඩිවෙන්නෙ උද්ධමනයනෙ. යම් කිසි නිෂ්පාදනයක හෝ කර්මාන්තයක හෝ නිෂ්පාදන වියදමේ සියයට 10 ට අඩුයි මූල්‍යමය පිරිවැය කියන එක. සියයට 90 ක් ම තියෙන්නේ අනෙකුත් නිෂ්පාදන පිරිවැය. ඒව වැඩිවෙන්නෙ උද්ධමනයත් එක්ක. ඒ නිසා ඒව පාලනය කිරීම තුළින් තමයි ව්‍යාපාරයක් අඩුගානේ සාර්ථකව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහට උද්ධමනය අඩුවන විට පොලී අනුපාත අඩු කරගෙන යන්න පුළුවන්.

ප්‍රශ්නය – ඔබතුමාටත් චෝදනා කරනව දැනුත් ස්ථාවර අගයක විනිමය අනුපාතය පවත්වාගෙන යනව කියල. හිටපු අධිපතිතුමත් කියන්නේ ඔබතුමා කරන්නේ ඔහු අනුගමනය කරපු ප්‍රතිපත්තියමයි කියලයි?

පිළිතුර – එතුමා පත්තරේකටත් කියල තිබුණා නන්දලාල් කරන්නෙත් මම කරපු දේමයි කියලා. ඒකත් ඇත්තටම අර එතුමාගේ තේරුම් ගැනීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීමක්. අපි බැලුවොත් 2020 – 21 කාලෙ විනිමය අනුපාතය රු. 203 ස්ථාවර කළා. ෆික්ස් කළා. සංචිතවලින් කොටසන් ණය ගෙවන්න ගත්තෙ. ඉතුරු සංචිත ටික රු. 203 තියාගෙන බිංදුව කර ගත්තා. ඒක තමයි ඒ කරපු වැඩේ. ඒක බැහැ කියල තේරෙනකොට එතුමාම තමයි රුපියල ෆ්ලෝට් කරේ. නිදහසේ පාවෙන්න ඇරිය එකපාරටම. 2022 මාර්තු 18 දින තමයි අයිඑම්එෆ් එකට ලියුම ලිව්වේ. හැබැයි මාර්තු 07, 08, 09, ඉඳල මේක පා කරල ඇරිය. ඒකත් වැරදී ප්‍රතිපත්තියක්. එතකොට ප්‍රතිපත්තියක් වශයෙන් රු. 203 ෆික්ස් කරල ගොඩක් කල් ඉදලා එකපාරටම මේක පාවෙන්න ඇරියම පාලනයක් නැතුව මෙක යනව නිදහසේ කඩාගෙන කාටවත් නවත්තන්න බෑ. මාර්තු 09 දින හිටපු අධිපතිතුමා බැංකු ප්‍රධාන විධායක නිලධාරීන්ට මීටින් එකක් තියල කිව්ව මේක ඕන ගානකට යන්න. ඒක ඕගොල්ලන්ගේ මතය අනුව විනිමය අනුපාතය තීරණය කරන්න කිව්වම එදා ඉඳල තමයි මේක අර නූල කැඩිච්ච සරුංගලය වගේ යන්න ගියේ. අනිත් දේවල් නොකර රුපියල විතරක් අතහැරියම ඒක යන්නෙ කොහෙද කියල කාටවත් කියන්න බෑ, ඒක කඩාගෙන යනව. මම එනකොටත් ඔහොම තමයි තිබුණු තත්ත්වය.

ප්‍රතිපත්තිය ආයිත් එකපාරට වෙනස් කරන්න බෑ. සංචිත නැති වුණාට පස්සෙ අතේ සල්ලි නැතුව කොහොමද මේක ෆික්ස් කරන්නෙ. මම ආවට පසු මුදල් මණ්ඩලය සාකච්ඡා කරා කොහොමද මේක නවත්වන්නෙ කියලා. දවසින් දවස රු. 5 රු. 10 යනව. අපට සංචිත ඇත්තෙත් නෑ. රටේ පෝලිම් තියෙනවා. තෙල් ඇත්තෙත් නෑ. ණය ගෙවීමත් නතර කරල තියෙනවා. විනිමය අනුපාතය නවත්තන්න ක්‍රමයක් නෑ. ඒ පාර තමයි අලුතින් සාකච්ඡා කරල මේක කළේ. ඇත්ත වශයෙන්ම වර්ෂ 2000ට කලිනුත් මේක කරල තියෙනවා. මේ අලුත් ක්‍රමය ‘ක්රෝලින් පෙග්’ (crawling Peg) කියල කියන්නේ. මෙහිදී කිසියම් පරාසයක් ඇතුළේ වෙළෙඳපොළට එහා මෙහා යන්න පුළුවන්. මේකෙ නම්‍යභාවයක් තියෙනවා. මේකෙ විචල්‍යතාවය අඩුයි. එතකොට මේක පැහැදිලිවම විනිමය අනුපාතය රු. 203 ෆික්ස් කරල සංචිත නැති කර ගත්ත එකයි මේ පරාසය දීල ඒකෙ ඇතුළෙ දවසින් දවස රේට් එක වෙනස් වෙලා වෙළෙඳපොළට අනුකූලව ක්‍රමානුකූලව විනිමය අනුපාතය වෙනස්වීමයි දෙකක්. ඕකත් යම්කිසි ආකාරයක හැකියාවක් තියෙන්න ඕන තේරුම් ගන්න. අපි ඒ අතරම ආනයන පාලනය කරන්න පියවරත් ගත්තා. ඒ අනුව ආනයන ඉල්ලුම අඩු වුණා. ඒ අනුව දැන් මේක ස්ථාවර වෙලා තියෙන්නේ. යම්කිසි ආකාරයකෙට වැඩිපුර විදේශ විනිමය එන්න ගත්තොත් මේක අනිත් පැත්තට යන්නත් (අධිප්‍රමාණය වෙන්නත්) පුළුවන්. එහෙම යන්න ඉඩකඩ දීලා තියෙන්නේ අපි. ඒ නිසා කිසියම් පරාසයක් තුළ විචල්‍යය වීමක් තමයි මෙහි තිබෙන්නේ. සංචිත කොහොමත් අවම මට්ටමේනේ තියෙන්නේ. ඒවායින් තෙල් ටිකට දීල මැනේජ් කරගෙන යනවා. ඒ කාලෙ සංචිත තිබිල අඩු වුණේ.

ප්‍රශ්නය – අයිඑම්එෆ් වැඩසටහනට ඇතුළත් වූ පසු ඔබතුමා කියන පරාසයක් තුළ විචල්‍යවීමේ ක්‍රමවේදය කරගෙන යන්න බැරිවෙයිද?

පිළිතුර – එහෙම කොන්දේසියක් නෑ. ඒක පැහැදිලිවම කියන්න ඕන. අයිඑම්එෆ් එක කියල තියෙන්නේ සංචිත ගොඩනගාගැනීම ගැනයි. එතකොට විනිමය අනුපාත ප්‍රතිපත්තිය අපේ වැඩක්. ඒකට අයිඑම්එෆ් එකේ කොන්දේසියක් නෑ. ඒක මට පැහැදිලිව කියන්න පුළුවන්.

ප්‍රශ්නය – ඔබ ආර්ථිකය ඝාතනය කරල මේ රටේ බලය බෙදන්න කටයුතු කරන්න ආපු ඉත්තෙක් විදිහටත් ඇතැම් අදහස් දේශපාලන පරිසරයෙන් ඉදිරිපත් වෙනවා.?

පිළිතුර – මහ බැංකු අධිපති විදිහට හෝ වෙන කිසිම ආකාරයකට මගේ කිසිම වෙලාවක කිසිම කලෙක පක්‍ෂ දේශපාලනයක හෝ මොනම දේශපාලනයකවත් යෙදෙන්න කිසිම බලාපොරොත්තුවක් නෑ. එහෙම අදහසක් මගේ ඇත්තෙම නෑ. මගේ අදහස මහ බැංකු අධිපතිවරයෙකුට ඒ වගේ අදහසක් නොතිබිය යුතුයි. මහ බැංකුවත් ස්වාධීන වෙන්න ඕන. ඒ පත්කරන පුද්ගලයාත් ස්වාධීන වෙන්න ඕන. ඊළඟ කරුණ ආර්ථිකය ඝාතනය වෙලා තිබුණේ මම එන්න කලින්. එහෙමනම් ඒක කියන අයගෙන් අහන්න ඕන ඔබලා ආර්ථිකය ඝාතනය කළේ ඒ බලාපොරොත්තුවෙන් ද කියන එක.

සාකච්ඡා කළේ – ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment