මට හැම දෙයක්ම අහිමි වුණා : නිදහස ලැබූ රන්ජන් දිවයින ඉරිදා සංග්‍රහයට කළ හෙළිදරව්ව

474

“මම හැමදාම ඉන්නේ මහජනතාවගේ පැත්තේ. නඩු තීන්දුවෙන් පස්සෙ මට සේරම නැතිව ගියා. ජනතා ආදරය සිරගත කරන්න බැරි බව මම තේරුම් ගත්තෙ සිරගත වුණාට පස්සෙ” යැයි ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පෙරේදා (26දා) සවස ප්‍රකාශ කළේය.

බන්ධනාගාරයේදී තමන් අනේකවිධ වේදනාවන්ට ලක් වූ බවත්, ඇතැම් බන්ධනාගාර නිලධාරීන් තමාව දැඩි මානසිකව සහ ශාරීරිකව පීඩාවට ලක්කළ බවත් රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කොනදේසි සහිතව ජනාධිපතිවරයා විසින් ලබාදුන් නිදහස ලැබීමෙන් පසු පෙරේදා සවස 2.45 ට පමණ රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයෝ රැසක් ඔහු සමග එහි සිටියහ.

රාමනායක මහතා පිළිගැනීමට විවිධ දේශපාලනඥයන්, කලාකරුවන්, පාක්‍ෂිකයන් සහ රසිකයන් විශාල පිරිසක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණ සිටියහ.

රැස්ව සිටි ජනතාවගේ උණුසුම් පිළිගැනීම් මධ්‍යයේ බන්ධනාගාරයෙන් පිටතට පැමිණි රාමනායක මහතා රැස්ව සිටි පිරිසට ආචාර කරමින් ඔවුන් සමග සුහද පිළිසදරේ නිරත විය.

නඩු තීන්දුවෙන් පස්සෙ මට හැම දෙයක්ම නැතිවුණා. කොටින්ම මට ඉන්න හිටින්න තැනක් නැහැ යැයි බන්ධනාගාරයෙන් පිටතට පැමිණි රාමනායක මහතා කියා සිටියේය. ඉකුත් 2017 වර්ෂයේ අගෝස්තු මස 21 වැනිදා ජනාධිපති මන්දිරයෙන් පිටතට පැමිණි රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ අධිකරණය විවේචනය කරමින් ප්‍රකාශයක් කර තිබිණි.

මෙම ප්‍රකාශයට එරෙහිව පැවති නඩු විභාගයෙන් අනතුරුව ඉකුත් 2021 වර්ෂයේ ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ඔහුට නියම කෙරිණි.

අරගලයෙන් පසුව නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසු රාමනායක මහතාට නිදහස ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරිනි.

ඒ අනුව රාමනායක මහතා විසින් අධිකරණයෙන් සමාව ලබාගත් අතර ජනාධිපතිවරයා විසින් කොන්දේසි සහිතව සමාව ප්‍රදානය කරන ලදී.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment