මඩකලපුව මුහුදේදි ජපනුන් ගිල්වූ ලොව ප්‍රථම ගුවන් යානා ගෙන යන එච්.එම්.හර්මිස් නෞකාව

953

නැගෙනහිර මුහුදේ පමණක් ගිළුණු නැව් පහක්…..
හර්මිස් බලන්න විදේශීය සංචාරකයන් රැසක් කිමිදෙයි…..
මුහුදු පතුළේ සැඟව ගිය හර්මිස් සොයා ගත් අපූරු කිමිදුම්කරුවා පිලිසියස්…..
අප්‍රේල් 9 වැනිදා මුහුදු පතුලේ තැන්පත් කරන අරලිය මල් කළඹ…..
නාවිකයන් 307 ක් මිය ගියා…..

එදා දවස 1942 අප්‍රේල් 09 වැනිදාය. යෝධ උකුස්සන් සේනාවක් සේ මඩකලපුව අහස් කුස වසා ගනිමින් ජපන් ගුවන් යානා පිරිවර පියඹා යන්නට වූහ. මොහොතක් ගත වෙද්දි එම ගුවන් යානා රෑන දිගට හරහට මුහුදේ ගමන් කරමින් තිබුණු නැවකට බෝම්බ දමා පහර දෙද්දි නැගෙනහිර වෙරළ තීරයම ගිණියම්ව ගිගුම් දෙන්නට වූහ. ජපන්නු ඇවිල්ලා අන්න නැවකට බෝම්බ දානවා යැයි මඩකලපුව වෙරළ තීරයේ සිටි ජනතාව පුදුමයට සහ බියට පත්ව කෑ ගසන්නට වූහ.

මෙලස බ්‍රිතාන්‍ය හමුදාව අන්දමන්ද කරමින් ජපනුන් එල්ල කළ ගුවන් ප්‍රහාර නිසා බ්‍රිතාන්‍ය හමුදාව සතුව තිබූ නැව් පහක් නැගෙනහිර මුහුදු තීරයේ සීත ගැඹුරු පතුල සිඹ සැතපෙන්නට වූහ. ඒ අතර ලොව ප්‍රථම ගුවන් යානා ගෙනයන එච්. එම්. එස්. හර්මිස් නෞකාවද විය.

මඩකලපුව මුහුදේදි ජපනුන් ගිල්වූ ලොව ප්‍රථම ගුවන් යානා ගෙන යන එච්.එම්.හර්මිස් නෞකාව

මෙම සමයේ දෙවන ලෝක යුද ගිනිදැල් දරුණුවට ඇවිළී යන්නට විය. ඒ වන විට ජපනුන් තම ශක්තිය වර්ධනය කරමින් ඇමරිකාවේ පර්ල් වරායට පහරදුනි. මේ සඳහා ප්‍රධාන අණදෙන නිලධාරි ඉයුරිකෝ යමොටොසාගේ අණ පරිදි වයිස් අද්මිරල් නගුමෝ ගුකි මෙහි නායකත්වය ගෙන ජපන් නෞකා මෙහෙයවන්නට විය. අකාගි නමැති ගුවන් යානා ගෙන යා හැකි යුද නැව පෙරටු කරගනිමින් ඉරියු සහ සුරියු ඇතුළු යුද නෞකා පහක් මේ සඳහා සටන් වදින්නට වූහ. මෙම නෞකා පිරිවර තායිලන්තය, මැලේසියාව, හොංකොන් සහ පිලිපීනය ඇතුළු විරුද්ධවාදීන්ගේ නෞකා දියබත් කරමින් ජයග්‍රාහී ලීලාවෙන් නොනැවතී සටන් වැදුනි. 1941 දෙසැම්බර් 12 වන දින ප්‍රින්සස් ඔප් වේල්ස් සහ රිපයිස් යන බ්‍රිතාන්‍ය නෞකාවන් දෙකද ටෝර්පිඩෝ බෝම්බ හෙළමින් ජපනුන් විනාශ කරන්නට වූහ.

1942 මාර්තු 28 වැනිදා එවකට ලංකාවේ හිටපු නාවික හමුදා ප්‍රධානි සර් ජේම්ස් සෝමවිල් හට අප්‍රේල් 01 වැනිදා ජපනුන් විසින් ලංකාවට පහර දෙන බවට තොරතුරු ලැබුනි. ඊට පසුදින බෙංගාල බොක්ක ප්‍රදේශයේදි පී. බී. වයි. කැටරිනා වර්ගයේ දිය මතුපිට ගොඩ බෑමට හැකි යානයකින් ගමන් ගනිමින් සිටි බලඝන නායක ලෙනාඩ් බර්චිල් ජපන් යාත්‍රා සමූහයක් ලංකාව දෙසට ගමන් කරන අයුරු දැකීමෙන් තැති ගැන්මට පත් වූවේය. ඔහු ඒ බව සැණෙකින් රත්මලාන රාජකීය ගුවන් හමුද මූලස්ථානයට දැනුම් දෙන්නට විය.

නමුත් මොහොතකින් ගුවන්ගත වූ ජපන් ගුවන් යානා සමූහයක් විසින් කැටරිනා යානය බිම දමා ලෙනාඩ් බර්චිල්ව අත්අඩංගුවට ගන්නා ලදී.

මඩකලපුව මුහුදේදි ජපනුන් ගිල්වූ ලොව ප්‍රථම ගුවන් යානා ගෙන යන එච්.එම්.හර්මිස් නෞකාව
හර්මිස් නැවේ කපිතාන්වරයා

අද්මිරාල් නගුමෝ සැලසුම වූයේ අප්‍රේල් 05 වැනිදා ලංකාවට පහර දීමටය. එදින රත්මලාන රේඩාර් යන්ත්‍ර නඩත්තු කටයුතු සඳහා වසා දමන හෙයිනි. 05 වැනිදා ජපන් ප්‍රහාරය හමුවේ කොළඹ වරායේ තිබුණු ටෙන්ඩර්ස් නමැති යුද නැව ගිල්වා විනාශ කරන්නට විය. මේ ආකාරයෙන් ජපන් ප්‍රහාර දිගින් දිගටම වර්ධනය වෙද්දි බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ මානසික මට්ටම හීන වන ලදි. ඒ මොහොතේ සර් ජේම්ස් විසින් යාත්‍රා සියල්ලම මාලදිවයිනේ ගැන් දූපතට ගෙන යන ලෙස අණ දෙන්නට වූවේය. ඒ අනුව එංගලන්තයේ නැව් රැසක් ගැන් දූපතට යාත්‍රා කරන්නට වූහ. නමුත් ඒ වන විට ත්‍රිකුණාමලයේ නවතා තිබුණු එච්. එම්. එස්. හර්මිස් නෞකාවේ නඩත්තු කටයුතු නිසා මාලදිවයින බලා පිටත්වූයේ අප්‍රේල් 09 වැනිදා උදේය.

මෙම හර්මිස් නෞකාව ගුවන්යානා ගෙන යා හැකි ප්‍රථම යුද නැවය.

1918 ජනවාරි 15 වැනිදා නිපදවන්නට පටන් ගත් අතර 1919 සැප්තැම්බර් 11වන දින නිපදවා අවසන් වී 1923 දී යුද්ධයට සම්බන්ධ වන්නට විය. ටාසන් වර්ගයේ එංජින් දෙකකින් යුත් මෙම නැවෙහි බර ටොන් 11085කි. අශ්ව බල 40,000ක ජවයකින් යුත් මෙම නැවෙහි වේගය පැයට සැතපුම් 25ත් හෙවත් කි.මී. 47කි. අවි වර්ග කිහිපයකින් සමන්විත මෙම නෞකාව දිග මීටර් 182.9කි. මෙහි ගුවන් යානා පර්යන්තය අඩි 570කි. ගුවන් යානා 20ක් ප්‍රවාහනය කිරීමට හැකි නාවික භටයින් 700ක් පමණ සිටින හරමිස්ට පහරදීම ජපනුන්ගේ ඉලක්කයක්ව තිබුණි.

අප්‍රේල් 09 වැනිදා ජපන් ගුවන් යානා 100කට ආසන්න ප්‍රමාණයක් ගොදුරු සොයා වේගයෙන් ශ්‍රී ලංකාව දෙසට පියඹා එන්නට වූහ. ත්‍රිකුණාමලයේ නැව් ගිල්වා ත්‍රි මලේ තෙල් ටැංකිවලට ද පහර දී හානි සිදුකරන්නට ජපනුන්ට හැකිවූහ. නමුත් හර්මිස් එහි නොමැති වීම ගැන ජපනුන් මවිතයට පත්වූහ. දකුණ දෙසට යාත්‍රා කරන හර්මිස් නෞකාව එක් ජපන් ගුවන් යානාවක් විසින් දකින ලදී.

රාත්තල් 250 බරැති බෝම්බ රැගෙන යා හැකි අයිඩ් ඩී3 ඒ 1 හෙවත් පසු කාලයේ ගයි ලෙසින් හැඳින්වූ ජපන් ගුවන් යානා පිරිවරෙන් නැගෙනරහිර අහස් කුස වැසී යන්නට විය. හිරු නැඟෙන දිශාවෙන් පැමිණි නිසා හර්මිස් නාවිකයන්ගේ දර්ශනයට එකවර හසු නොවන ලදි. ඒ වන විට පෙරළා ජපනුන්ට පහරදීමට ඔවුන් කිසි සූදානමක් නොමැතිව සිටියහ.

දිගින් දිගටම අනුකම්පා විරහිතව ජපනුන් එල්ලකළ බෝම්බ ප්‍රහාර වලින් බෝම්බ 40ක් පමණ හර්මිස් නැවට පතිත වන්නට විය. හර්මිස් දුම්රොටු නංවමින් ගිනි ඇවිලී යන්නට විය. දරුණු ප්‍රහාරය හමුවේ තව මොහොතකින් නැව ගිලීයන බව වැටහුණු නැව භාර කපිතාන් ආර්. ජී. ඔන්ස්ලෝ තමන්ගේ නැවියන්ට නැව අත්හැර යන ලෙස පවසා සිය අවසාන නියෝගය දී ඔහු තම නියමු කුටියට ඇතුළුව දිවි පුදන්නට විය. ප්‍රහාරය ආරම්භව විනාඩි 20ක් යද්දි හර්මිස් සාගර පත්ලට ගිලී යන්නට විය. නාවික නිලධාරීන් 19 දෙනෙක්ද සහ නාවික භටයින් 282 සමගින් 307ක් එම ප්‍රහාරයෙන් මිය යන්නට වූහ. 23 දෙනකු ගොඩබිමට මහත් වෙහසක් දරමින් පිහිනා යාන්තමින් දිවි බේරාගන්නට වූහ. ඉතිරි පිරිස සාගර ජලයේ පාවමින් පැය ගාණක් තිස්සේ පණ රැකගන්නට මහත් උත්සාහයක දරන්නට වූහ. මෙම පහරදීම සිදුවන විට ඊට මඳක් දුරින් තිබුණු විටා නමැති රෝහල් නෞකාව පැමිණ මුහුදේ පාවෙමින් සිටි 400ක් පමණ බේරා ගන්නා ලදි. බ්‍රිතාන්‍යන් විසින් හර්මිස් රැකගැනීමට 273 බලඝනයෙන් යානා 06ක් සහ 806 බලඝනයෙන් තවත් ගුවන යානා 06ක් පිටත් කර යැව්වද ඔවුන් ඒ වන විටත් ප්‍රමාදවී තිබුණි. එම සටනේදි හර්මිස් නාවිකයන්ගෙන් ප්‍රහාර වලින් ජපන් ගුවන් යානා පහක් විනාශව තිබුණි.

ඒ සමගම හර්මිස්ට ආරක්ෂාව දෙමින් පැමිණි වැම්පයර් නැව, හොලිහොක් නමැති යුද නැවත් සමග මෙම ප්‍රහාරය හමුවේ සාගර පතුළට කිඳා බසින ලදි. බ්‍රිටිස් සාර්ජන් සහ ඇතැල්ස්ටින් නමැති තෙල් නෞකා දෙකද ජපනුන්ගේ ගොදුරක් බවට පත්ව මුහුදු පතුලේ සැඟවෙන්නට වූහ. ජපනුන් නැගෙනහිර වෙරළේ නෞකා 05ක් මොහොතකින් ගිල්වා දමන්නට වූවේ තම යුද ශක්තියේ බලය ලොවටම විදහා පාමිනි.

හඊමිස්ට පහර දී දින තුනකින් පසුව මඩකලපුව නාවල්අඩි වෙරළට මෙම නාවිකයන් තිදෙනකුගේ මළ සිරුර පාවී එන්නට වූහ. ඉන් දෙදෙනක්ගේ සිරුරු හඳුනාගන්නා ලදි. ඒ. බී. ලූවිස් සහ ආර්. බී. වැච යන අයගේ දේහයන් සහ හඳුනාගැනීමට නොහැකි වූ අනෙක් නාවික සෙබළාගේ දේහයද ත්‍රිකුණාමාලයේ කොමන්වෙල්ත් සුසාන භූමියේ මිහිදන් කරන ලදි.

සිදුවූ මෙම ප්‍රහාරය නිසා බ්‍රිතාන්‍ය හමුදාව කම්පනයට පත්වන්නට වූහ. 1983 වසරේදී මෙම හර්මිස් නැවේ නිල ජායාරූප ශිල්පි චාල්ස් මෝර්ගන් මහතා හර්ලිස් ඇඩ්වෙන්චරි නම් ග්‍රන්ථයට ජායාරූපයක් ගන්නට ලංකාවට පැමිණෙන්නට වූවේය. මේ සඳහා ඔහුට සහාය දී ඇත්තේ දක්ෂ කිමිදුම්කරුවෙකු වූ රොඩ්නි ජොන්ක්ලස් මහතා සහ ඔහුගේ සගයා වූ සෙඩ්රික්ය. මෙහිදී චාල්ස් මෝර්ගන්ට හර්මිස් නැවට යෑමට යකඩ කූඩුවක් සකස්කර ඒ හරහා යෑමට කටයුතු කරන ලදි. ඒ මෝරුන්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙතැයි බියෙනි.

මෙම චාල්ස් මෝරගන් මිය යන්නට පෙර අවසන් ඉල්ලීමක් කර තිබුණි. ඒ මිය ගිය පසු ඔහුගේ භස්මාවශේෂ මෙම හර්මිස් නැව මතුපිටට දමන ලෙසටය. ඒ අනුව 1986 වසරේදී චාල්ස් මෝගන් මහතාගේ පුතා ලංකාවට පැමිණෙන්නේය. මේ කටයුත්ත නාවික හමුදාවේ ක්‍රිස්ටි ජයවර්ධන නම් නිලධාරිවරයාට පැවරෙන්නට විය. ඉන්පසුව යුද කලබල පැවති හෙයින් මෙම නැවට පිවිසීමට තිබුණු විස්තර අමතක වීම නිසා මේ නැවට පිවිසීම ගැටලුවක්ව තිබුණි. සංචාරක මාර්ගෝපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරන මීගමුවේ ෆිලිෂියස් ප්‍රනාන්දු මහතා පිහිනීමට මෙන්ම කිමිදීමටද මහත් දස්කමක් දක්වන්නට වූ අයෙකි. මුහුදු පතුලේ අසිරියට පෙම් බැඳි හෙතෙම ගිලුනු නෞකාවක් සොයා කිමිදෙන්නට රුචිකත්වයක් දැක්වූවෙකි. 1986 වසරේදී සංචාරක කර්මාන්ත බලපත්‍රය ලබා ගැනීම සඳහා අවුරුද්දක කිමිදුම් පුහුණු පාඨාමාලාවක් පී. ටී. පෙරේරා මහතා යටතේ හදාරන්නට විය.

මේ වන විට හර්මිස් නැව ගිලී තිබෙන තැන කිසිවෙකුත් දැන නොසිටියහ. ත්‍රස්තවාදී කලබල ඇතිවීමත් එයට හේතුවක් වන්නට විය. ෆිලිසියස් මහතාටද හර්මිස් නෞකාව පිළිබඳව දැනගන්නට ලැබුණි. ඒ පිළිබඳව සෙවීමට ෆිලිසියස් මහතාට මහත් ආශාවක් ඇතිවන්නේය.

1992දි ඔහු මෙම හර්මිස් නැව සෙවීම ආරම්භ කරන්නට වූවේය. පැවති යුද වාතාවරණය ඒ සඳහා දැඩි බාධාවක් ගෙන දෙන්නට විය. මාන්කර්නි මුහුදු සීමාවේ ගොඩබිම සිට කි. මී. 07ක් දුරින් නැවක් ගිලී තිබෙන බව ඔහුට දැනගන්නට ලැබිණි. ඒ අනුව එම නැව සොයා ගිය ඔහුට දැක ගන්නට ලැබුනේ බ්‍රිට්ස් සාර්ජන්ට් නමැති යුද නැවය.

එය දිගින් මීටර් 122ක් සහ බර ටොන් 5868කි. ඉන්ධන සැපයුම් නැවක් වන මෙය වේගය නාවික සැතපුම් 10කි. ඉතා අලංකාරවත් නෞකාවක් වන මෙය ජපනුන්ගේ ප්‍රහාර හමුවේ දෙකට කැඩී මීටර් 25 ගැඹුර මුහුදු පතුලේ තැන්පත්ව ඇත. එම නෞකාවේ මුහුදු පතුලේ මීටර් 15ක් පරතරයකින් වෙන්ව තිබෙන බවත් එම ප්‍රදේශයේ ධීවරයන් ඩයිනමයිට් දමමින් මසුන් මරන බවද ෆිලිසියස් මහතා පවසා සිටියේය.

ඇතැල්ස්ටින් ඉන්ධන පිරවුම් නෞකාව සහ හොලිහෝක් නමැති යුද නැව කල්මුනේ මුහුදු වෙරළේ සිට කිලෝ මීටර් 15 දුරකින් තිබියදී ධීවරයන්ගේ මග පෙන්වීමෙන් ෆිලිෂියස් මහතාට හමුව තිබේ. එම නැව්දෙකද මීටර් 42 ගැඹුරේ කිමිද ලෝකයාගෙන් වසන්ව කොරල්පරවලින් වැසි යමින් තිබේ. නමුත් ෆිලිෂියස් මහතාගේ ඉල්කකය වූ හර්මිස් නැව සොයා ගැනීම ඉතා අපහසු කටයුත්තක් විය.

ඉරිදා දිවයිනත් සමග දොඩමළු වූ ෆිලිෂියස් මහතා මෙසේ පැවසුවේය.

190ක් ගැඹුරු සාගර පතුලේය. එම නිසා මෙම නැවට කිමිදීම ඉතා අපහසු කාර්යයකි. ඒ සඳහා ෆිලිසියස් මහතා උපක්‍රමයක් භාවිතා කරන්නට වූවේය. මීටර් 57ක් වන ගැඹුරු සාගර පතුලේදි ඔක්සිජන් විෂ වන නිසා එම කිමිදුම් උපකරණවලට නයිට්‍රජන් අඩු කරමින් හීලියම් 35%ක් පමණ මිශ්‍ර කරමින් කිමිදෙන්නට විය. පසුව ඒ ආකාරයෙක් මීටර් 57ක් කිමිදුනු කල ගිලී ගිය හර්මිස් නැවේ ජනෙල් තුළින් මිය ගිය අයගේ ඇට සැකිලි පෙනෙන්නට විය. ඊට අමතරව නැවෙහි තිබුණු ආයුද බෝම්බ පෙනෙන්නට විය. ඒ නැව වසා ගනිමින් කොරල්පර පැතිර තිබුණි. මත්සයින් බෝවන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙන බව ෆිලේසියස් මහතාට වැටහෙන්නට විය.

2012 වසරේ අප්‍රේල් 09 වැනිදා මුහුදු පතුලේ ඇති හර්මිස් නැව මත ෆිලිෂියන් ප්‍රනාන්දු මහතා පුත් සෂා ප්‍රනාන්දු සමගින් ගොස් අරලිය මල් කළඹක් තබා මෙම මිය ගිය අය වෙනුවෙන් ගෞරව දක්වන්නට විය. එතැන් සිට ඔවුන් වාර්ෂිකව මෙම කටයුත්ත සිදු කරන්නට වූහ. 2015 වසරෙදි බ්‍රිතාන්‍ය ජාතික මාක් ෆචල් නමැති කිමිදුම් උපදේශකයා චාට්ස් මවුස් නමැති නාවික පුහුණු මධ්‍යස්ථානයෙන් මෙම ගිළුනු හර්මිස් නැවේ රැඳවීමට බ්‍රිතාන්‍ය ධජයක් ලබාදුන් අතර එය 2015 අප්‍රේල් 09 වන දින ෆිලියස් මහතා හර්මිස් නැවේ රඳවන්නට කටයුතු කරන ලදි.

එංගලන්ත සහ ඔස්ටේ්‍රලියා ජාතිකයන් මේ සඳහා වැඩි උනන්දුවක් දක්වන්නට වූයේ මෙම නෞකාවේ මිය ගිය පිරිස් අතරේ ඔවුන්ගේ ඥාතීන් වූ බැවිනි. ෆිලිෂියස් මහතාගේ මඩකලපුව නාවල් අඩි වෙරළ තීරය පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා ඩ්‍රයිවින් ටුවර්ස් ආයතනය හරහා මේ වන විට 800ක පමණ වුන බොහෝ විදේශිකයන් පිරිසක් ෆිලිෂියස් මහතාගෙන් අවශ්‍ය නිසි පුහුණුව ලබා මෙම හර්මිස් නෞකාව දැක බලා ගැනීම සඳහා මඩකලපුව සාගරයේ කිමිදී තිබුණි.

ලොව ගුවන් යානා යාත්‍රාංගණ සහිතව ගිළුණු නැව් 03ක් ඇත. 1947 වසරෙදි න්‍යෂ්ටික අත්හදා බැලීමකට යූ. එස්. එස්. සරටෝකා නෞකාව පැසිපික් සාගරයේ බිකිණි ඇටෝල් ප්‍රදේශයේ ගිල්වන ලදි. එය නැරඹීම සඳහා අවසර දෙනු ලැබුවේ වසර 20කට පසුවය. රේඩියම් වල බලපෑමක් නොමැති බව තහවුරු කිරීමෙන් පසුවය. යූ. එස්. එස්. ඔරිස් නමැති ඇමරිකානු නැව ප්ලොරිඩා මුහුදේ ගිල්වනු ලැබුවේ කෘතිම ගල් පර්වතයක් නිර්මාණ කිරීමටය. ඒ අතරින් සටනකදි ගිල්වනු ලැබූ ගුවන්යානා යාත්‍රාංගනයක් සහිත යුද නැව වන්නේ එච්. එම්. එස්. හර්මිස්ය. මේ වන විට කිමිදීම සඳහා සංචාරකයන් පැමිණෙන ස්ථාන වලින් ලංකාව 10 වන ස්ථානයටවත් නොපැමිණ ඇත. නමුත් ගිළුනු නැව් සම්බන්ධයෙන් ලංකාව ඇත්තේ අංක එකේය.

සියලු දෙනාගේ දෙනෙතින් වසන්ව සාගර පතුලේ සැඟව තිබුණ මෙම හර්මිස් ගැන අපි ද මේ ආකාරයෙන් කථා කිරීමට පටන් ගත්තේ ෆිලිෂියස් ප්‍රනාන්දු මහතා මහත් පරිශ්‍රමයක් දරා මෙම නෞකාව සොයා ගත් නිසාය. සාගර පතුළට ගොස් ඒ අසිරිමත් යුද නෞකාව දැක බලා ගන්නට ඔබටත් අවශ්‍ය නම් තාක්ෂණික ගෑස් මිශ්‍ර කර කිමිදීමට පුහුණුවලත් සහ එසේ පුහුණු කිරීමට බලපත්‍රලාභී පුහුණු ආයතනයක් වන ෆිලිෂියස් මහතාගේ ශ්‍රී ලංකා ඩ්‍රයිවින් ටුවර්ස් ආයතනය හරහා ඔබට හැකිවෙනු ඇත. නමුත් ඒ සඳහා රජයෙන් නිසි අවධානයන් යොමු නොවීම කනගාටුවට කරුණකි.

සුසන්ත අමර බන්දු

advertistmentadvertistment
advertistmentadvertistment